හිතයි කටයි හොඳ අයට නොහැදෙන රෝගය

පෙබරවාරි 16, 2024

හිසරදය, ක්ලාන්තය, ඔක්කාරය, බඩ පිපුම, පිටිකොන්දේ වේදනාව, බඩේ දැවිල්ල, පපුවේ වේදනාව, පපුව හිරකරනවා වගේ දැනීම ආහාර ගත් විට ඒවා ඇඹුලට් රහට උගුරට එනවාසේ දැනීම, බඩේ ඉහළ කෙළවරේ උදරයේ වේදනාව ආදී රෝග හටගැනීම අම්ලපිත්ත රෝගයේ ලක්ෂණ කීපයකි.

ආයුර්වේදයේ අම්ලපිත්ත රෝගය ලෙස හඳුන්වන මේ ගැස්ට්‍රයිටිස් රෝගය පිත ඇඹුල් බවට පත්වීමෙන් ඇතිවන්නකි. ආමාශයේ ඇති පිත යම් යම් ආහාර වැරැදි නිසා ප්‍රධාන කොට හටගන්නා වූ රෝගයකි. ආමාශයේ ඇති පිත රෝගයට ප්‍රධාන වේ. රෝගයෙන් වැඩියෙන්ම පීඩාවට පත්ව ඇත්තේ යොවුන් වියේ සහ මැදි වියේ අයයි. පාසල් දරුවන්ට දැන් සිටම රෝගීන් වීමට අවශ්‍ය කරන නොයෙක් විදියේ ආහාර පාන ලබාදීමට දෙමවුපිය වැඩිහිටියන් විසින්ම කටයුතු කිරීම කනගාටුවට කරුණකි.

දරුවන්

පාසල් යාමට නිවෙසෙන් පිටවන දරුවාට සමහර දෙමවුපිය වැඩිහිටියෝ උදේ කෑමක් ලබාදීමට කටයුතු නොකරති. දරුවාගේ ඉල්ලීම මත දරුවාට කැන්ටින් එකෙන් හෝ කඩේකින් කැමැති දෙයක් ගන්න කියා මුදල් අතට දෙයි. මුදල් අතේ තිබෙන නිසා සමහර දරුවෝ පාසල අවට වෙළෙඳාමේ නියුතුව සිටින අයගෙන් ලොවි, අන්නාසි, අඹ, ඇඹරැල්ලා වැනි අච්චාරු කෑම ජාති ගෙන කෑමට පුරුදුව සිටිති. සමහර දරුවන් උදේ ආහාරයට කිසිවක් නොගෙන විවේක කාලයේ දී මොනවා හරි කෑම බලාපොරොත්තුවෙන් සිටිති. උදේට කිසිම ආහාරයක් නොගන්නා සමහර පාසල් දරුවෝ විවේක කාලයේ දී අයිස්පලම්, අච්චාරු වර්ග, තෙල් බැදුම් කෑම, අන්නාසි වැනි උෂ්ණාධික පලතුරු වර්ග චොක්ලට්, පැණි බීම වර්ග හා තෙලෙන් බදින ලද කට්ලට්, පැටිස්, වඩේ වැනි ආහාර වර්ගත් කෑමට දැඩි ආශාවක් දක්වති.

මේ නිසා සමහර දරුවන්ට නිතර නිතර බඩ රිදුම, බඩේ දැවිල්ල, මළපහ කිරීමේ අපහසුව වගේම හිසේ කැක්කුම ඇති වේ. මෙවැනි තත්ත්වයන් හේතුවෙන්ද අම්ලපිත්ත රෝගයට ලක්වීමට බෙහෙවින් ඉඩ පවතී. සෑම මවුපියකු වගේම වැඩිහිටියන් ද නිතරම බලාපොරොත්තු වන්නේ තම දරුවන් නීරෝගිව හදාවඩා ගැනීමටයි. දරුවන්ට උණක්, සෙම්ප්‍රතිශ්‍යාවක් හැදුණත් දෙමවුපියන් මහත් සේ වෙහෙසට පත්වන්නේ දරුවා ඉන් සුව අතට ගැනීමටයි. එහෙත් රැකියාවට යන දෙමවුපියන් දරුවන්ට උදේට දෙන කෑම ගැන එතරම් සැලකිලිමත් වීමක් වන්නේ නැති නිසා දරුවන් රෝගීවීම වැළැක්විය නොහැකිය. උදේට පාසලට යන දරුවාට වෙළඳසැලෙන් ක්ෂණික කෑමක් හෝ කෙටි කෑම වර්ගයක් අරන් දීමට මවුපියෝ පුරුදුව සිටිති. විශේෂයෙන් ගැඹුරු තෙලේ බදින ලද කෑම, නැතහොත් ජෑම් පාන්, බිත්තර පාන්, රොටී හෝ වෙනත් කෑමක් ලබාදෙයි. මේවා හිස්බඩ කෑමෙන් දරුවන්ට ඇතිවන රෝගාබාධ බොහෝය.

උදේ ආහාරය

දරුවන්ට උදේ ආහාරයට දිය හැකි ආහාර වර්ග බොහෝය. ඒවායෙන් දරුවාගේ වැඩීමටත් නීරෝගිභාවයටත් ඥානශක්තියට ලැබෙන සහාය අපමණය. උදේ ආහාරයට දිය හැකි ධාන්‍ය වර්ග අතරින් මුං ඇට, කවුපි වඩාත්ම ගුණදායකය. රතු කැකුළු බත්, ඉඳිආප්ප වැනි ආහාර ගුණදායකය. නිතරම නැතිවුණත් ඉඳහිට හෝ උදේවරුවට කොළකැඳ කෝප්පයක් ලබාදිය හැකිය. එය දරුවාගේ සෞඛ්‍ය වර්ධනයට බෙහෙවින් ප්‍රයෝජනවත් වේ. නිතර දරුවා ගන්නා කෑම බීම ගැන සොයා බැලිය යුතු ය. තෙල් බැදුම් කෑම හැකිතාක් දුරට සීමා කළ යුතුය. අම්ල පිත්ත රෝගයේ දී සමහර අයට ඇතිවන හිස කරකැවිල්ල සමඟම පපුවේ වේදනාවක්ද ඇතිවේ.

එමෙන්ම කකුල්වල පතුල්වල වේදනාවද හට ගනී. ගැස්ට්‍රයිටීස් රෝගයෙන් පීඩාවට පත්ව සිටින සමහර රෝගීහු කිසිදු තැකීමක් නොකර හිතුමතේට ආහාර ගැනීමට පුරුදුව සිටිති. එය රෝගය උත්සන්නවීමට තවත් හේතුවකි. ආහාරවලට වැඩිපුරම තුනපහ වර්ග යෙදීම බෙහෙවින් අහිතකරය. විශේෂයෙන් මිරිස් යෙදූ ආහාර වර්ග මෙන්ම තෙල් සහිත ආහාර කරවල, මස්, මාළු තෙලෙන් බැද ආහාරයට ගැනීම මෙන්ම ඇඹුල් අධික ආහාර සුදුසු නැත. උෂ්ණාධික කෑම වර්ග කොහෙත්ම සුදුසු නැත. මේ රෝගයේදී ගනු ලබන විවිධ ආහාර වර්ග නිසා ආමාශයික තුවාල ඇතිවීමට ද හේතු වේ. කෝපි පානය, තක්කාලි අන්නාසි, මිරිස් අච්චාරු, දෙහි, දොඩම් වැනි ආහාරවලින් වැළකී සිටීම ගුණදායකය.

ආමාශයේ හා අන්ත්‍රවල තුවාල

මද්‍යසාර හා දුම්පානය නිසාද ආමාශය හා අන්ත්‍රවල තුවාල ඇතිවේ. නියමිත වෙලාවට ආහාර නොගෙන කුසගින්නේ සිටීම බොහෝ දෙනකුට අම්ලපිත්ත රෝගය ඇතිවීමට හේතුවකි. මේ තත්ත්වය බෙහෙවින් පාසල් දරුවන් අතර පවතී. පරණ වූ ආහාර කෑමට ගැනීම, ශීතකරණයේ දින ගණන් තිබූ ආහාර කෑමට ගැනීමත් සුදුසු නැත. ඌර්ධවගත අම්ලපිත්තය අධොගත අම්ලපිත්තය ලෙසින් ප්‍රධාන වශයෙන් අම්ලපිත්ත දෙකක් ගැන සඳහන් කරන ආයුර්වේදය වාතය අධික අම්ල පිත්තය, සෙම අධික අම්ලපිත්තය, වාතය හා සෙම අධික අම්ල පිත්තය ආදී ලෙසින් විග්‍රහ කර දක්වා ඇත. අම්ල පිත්තයට විවිධ හේතූන් බලපාන අතර ප්‍රධාන හේතු කාරකය ලෙස ආහාර පානාදිය බලපායි.

සමාජය

වර්තමාන සමාජයේ කාර්යබහුලත්වය හේතුකොට ගෙන ආහාර පාන හා ජලය නිසි වේලාවට නොගන්නා තත්ත්වයක් හේතු වී ඇත. එමෙන්ම අවශ්‍ය නින්ද නොලැබීම අවිවේකීභාවය, බිය සැක ක්‍රෝධය, වෛරය, ඊර්ෂ්‍යාව ආදී සිත් දූෂ්‍යවන්නාවූ සිතිවිලි ද අම්ලපිත්ත රෝගයට සාධක වී ඇත. දිගින් දිගටම නැති වුවත් ඉඳහිට හෝ සමහරුන්ට බාධාගෙන දෙන අම්ලපිත්ත රෝගය හටගත්විට ඇල්වතුර වීදුරුවක් පානය කිරීම සුවදායකය. බෙලි ගැට තම්බා බීම, බෙලි මද මී පැණි සමඟ කෑම, බෙලි දියකර මී පැණි සමඟ බීම, බෙලි දලු පවනේ වියළා කුඩුකර සීනි සමඟ හිස්බඩ බීම, රෝගයට හොඳම ප්‍රතිකාරයකි. කෙසේ වෙතත් ගැස්ට්‍රයිටීස් රෝගයේ මූලික ලක්ෂණ ඇති ව ූ බව දැනුණ විට ආයුර්වේද වෛද්‍යවරයකු වෙත ගොස් ප්‍රතිකාරවලට යොමුවීම වැදගත්ය.

ආමාශය ආශි‍්‍රතව ඇතිවන මේ රෝග තත්ත්වයේ දී ආහාර ගැනීමෙන් පසුවත් උදරයේ වේදනාව ඇතුළු රෝග ලක්ෂණ මතුවිය හැකිය. ගලනාළය ආශි‍්‍රතව අම්ලපිත්තය ඇතිවූ විට ප්‍රධාන වශයෙන් උගුරට ඒම සිදුවේ. විශේෂයෙන් දිය එළවළුවලින් විශේෂ ගුණයක් ඇතිවේ. වැටකොළු, පතෝල, පිපිඤ්ඤා, මුකුණුවැන්න, ගොටුකොළ, නිවිති යන පලා වර්ගත් ඇඹුල් කෙසෙල් මෙන්ම හාල්මැස්සා, තෝරා පරා වැනි මාළුවර්ගද ලුණු කැඳ හා මුං ඇට ද ගුණදායකය.

බත්තරමුල්ල පැලවත්ත
රාජපුර වෙද මැදුරේ
ප්‍රධාන ආයුර්වේද වෛද්‍ය
සුමිත් එම්. පී. රාජපුර

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.