උරහිස පනින්නේ වයස බලා නොවේ

පෙබරවාරි 16, 2024

සන්ධි වර්ග කිරීමට අනුකූලව කුහර ගෝල වර්ගයේ සන්ධියක් වන උරහිස සන්ධිය මානව දේහයේ ඉහලම චලන පරාසයක් සහ ප්‍රමාණයක් පවතින සන්ධිය ලෙස දක්වන්නට පුළුවන්. මේ නිසා එදිනෙදා ජීවිතයේ වැඩකටයුතුවලදී උරහිස සන්ධිය අධික වශයෙන් ක්‍රියාකාරී වෙනවා.

මේ ඉහළ චලන පරාසය නිසා උරහිස සන්ධිය අශ්‍රිත ස්ථාවරතාවය සාපේක්ෂව අඩුයි.යම් සන්ධියක ස්ථාවරතාවය අඩුවන විට එය විස්ථාපනය (Dislocate )වීමට වැඩි ඉඩකඩක් පවතිනවා.

උරහිස සන්ධිය විස්ථාපනය සාමාන්‍ය භාවිතයේදී උරහිස පැනීම ලෙස හඳුන්වනවා.උරහිස සන්ධිය පැනීමකදී සාමාන්‍ය අවස්ථාවේදී උරපත්ත අස්ථියේ Gelnoid cavity  නම් අවපාතනයේ පිහිටා ඇති ප්‍රගණ්ඩ අස්ථියේ හිස කොටස (Head of humerus ) , පිටතට ගමන් කිරීම සිදුවෙනවා. එහිදී සමහර විට උරහිස සන්ධිය ආශ්‍රිතව පවතින අනෙක් මෘදුපටකවලට ද හානි සිදුවන්නට පුළුවන්.

උරහිස සන්ධියේ පැනීම්, ඒවා සිදුවීමට හේතුවන කරුණු අනුව ප්‍රධාන කොටස් දෙකකට වෙන් කර දක්වන්නට පුළුවන්.

1.උරහිස සන්ධියට කෙලින්ම එල්ලවන පීඩනයක් නිසා ඇතිවන විස්ථාපන හෙවත් Traumatic Shoulder Dislocations

2.කාලයක් තිස්සේ පවතින උරහිස සන්ධියේ අවස්ථාවරතාවය හෙවත් Chronic Shoulder Instability

මේ අවස්ථා දෙක පිළිබඳව වෙන වෙනම විමසා බලමු

**1. වැදීමක්, වැටීමක් හෝ ඒ ආශ්‍රිත අනතුරක් නිසා සිදුවන Traumatic Shoulder Dislocations **

උරහිස සන්ධියට කෙලින්ම එල්ල වන බලයක් නිසා ප්‍රගණ්ඩ අස්ථියේ හිස කොටස අදාළ ස්ථානයෙන් ඉවතට පැනීම / විස්ථාපනය වීම මෙහිදී සිදුවනවා. මෙය ක්‍රීඩා සහ ව්‍යායාම ආශ්‍රිත අනතුරුවලදී ද බහුල වශයෙන් සිදුවනවා. මෙහිදී ඇතිවන රෝග ලක්ෂණ ලෙස ,

*වේදනාව

*ඉදිමීම

*උරහිසෙන් අත චලනය කළ නොහැකි සේ අත හිරවීම හෝ තදවීම.

*පැනීමට ලක්වූ උරහිස ආශ්‍රිතව සාමාන්‍යයෙන් පවතින වක්‍ර ස්වභාවය අඩුවීම හෝ වෙනස්වීම .

දක්වන්නට පුළුවන්. වෛද්‍යවරයාගේ අවශ්‍යතාවය මත සිදුකරන X-ray  ඡායාරූපකරණය මගින්ද විස්ථාපනයේ සිදුවී ඇති ප්‍රමාණය සහ දිශාව නිවැරදි තීරණය කිරීමට පුළුවන්. මේ ආකාරයේ උරහිස් සන්ධියේ සිදුවන ස්ථාපනවලදී, ප්‍රගණ්ඩ අස්ථියේ හිස කොටස ප්‍රධාන ආකාර තුනකට විස්ථාපනය වන්නට පුළුවන්

* පිටුපසට

* පහළට

* පහළට සහ ඉදිරියට

මේ අතරින් පහළට සහ ඉදිරියට ආකාරයට සිදුවන විස්ථාපන/පැනීම් සුලභ වනවා.

මේ ආකාරයේ රෝගියකු ප්‍රතිකාර සඳහා පැමිණි විට, අනතුර සිදුවී ඇති ආකාරය විමසා බලා ඒ පිළිබඳව නිවැරදි අවබෝධයක් ලබා ගන්නා වෛද්‍යවරයා, ඉදමී සහ චලන අවහිරව තද වී ඇති උරහිස සන්ධියට පාරම්පරික තෙල් ප්‍රතිකාර ආරම්භ කළ යුතු වෙනවා. මෙහිදී රෝගියාට සහ වෛද්‍යවරයාට යන දෙදෙනාටම පහසුවක් වන පරිදි රෝගියාව ඉරියව්ගත කිරීම ( වාඩි කරවීම හෝ දිගා කරවීම) ඉතාම වැදගත්. වෛද්‍යවරයාගේ දක්ෂතාවය මත සිදු කරනු ලබන තෛල ප්‍රතිකාර මඟින් අදාළ සන්ධියේ මාංශ පේශිවල තද භාවය(Muscle spasm ) ලිහිල් වූ විගස නැවත උරහිස් සන්ධිය ප්‍රතිස්ථාපනය(Relocation ) කළ යුතු වනවා. මේ වන විටත් රෝගියා වේදනාවෙන් පෙළෙන නිසා ඔහුව හෝ ඇයව ස්ථාවරව තබා ගැනීම සඳහා පුද්ගලයකුගේ හෝ දෙදෙනෙකුගේ හෝ සහාය අවශ්‍ය වන්නට පුළුවන්. ඉහතින් සඳහන් කර ඇති පරිදි ප්‍රගණ්ඩ අස්ථියේ හිස විස්ථාපනය වී ඇති දිශාව සහ ප්‍රමාණය අනුව නිවැරැදි ශිල්පීය ක්‍රම භාවිත කරමින් එක් වරකදීම නැවත මුල් පිහිටුමට ගෙනා ආ යුතුයි.

එක් වරකදීම සන්ධිය ප්‍රතිස්ථාපනය කිරීම අත්‍යවශ්‍ය වන්නේ, කිහිප වරක් ඒ සඳහා උත්සාහ කරන විට සන්ධියට යොදන පීඩනය නිසා ආශ්‍රිතව පවතින මෘදු පටකවලට වැඩිපුර හානි සිදුවිය හැකි නිසාය.

ප්‍රගණ්ඩ අස්ථියේ හිස නැවත මුල් පිහිටුමට ගෙන ආ පසු අදාළ අත වැලමිටෙන් නමා ශරීරයට ඉතා ළඟින් සිටින සේ මැණික්කටුව ප්‍රදේශයට යොදන වෙලුම් පටියක් මඟින් ගෙලෙහි එල්ලා තැබීම සිදු කළ යුතුයි. රෝගියාගේ ස්වභාවය අනුව සති 2 සිට සති 6ක කාලයක් දක්වා මෙලෙස එල්ලා අදාළ උරහිස ස්ථාවර තැබිය යුතු අතර ප්‍රතිකාර කරනු ලබන වෛද්‍යවරයාගේ දක්ෂතාවය සහ ප්‍රතිකාර ක්‍රමවේදය මත මෙය වෙනස් වන්නට පුළුවන්. අදාළ කාලය සම්පූර්ණ වූ පසු තවදුරටත් වෙළුම් පටියක් තැබීම අවශ්‍ය නොවුණත්, උරහිස් සන්ධිය සාමාන්‍ය තත්ත්වයට පත්වීමට සාමාන්‍යයෙන් මාස තුනක පමණ කාලයක් ගත වෙනවා. එම කාලය තුළ නිවැරැදි පාරම්පරික ප්‍රතිකාරවලට යොමු වීම අත්‍යවශ්‍යයි.

**කාලයක් තිස්සේ පවතින උරහිස සන්ධියේ අස්ථාවරතාවය හෙවත් Chronic Shoulder Instability **

මෙහිදී උරහිස සන්ධිය එක එල්ලේම පැනීමකට ලක් නොවුණත්, සන්ධියට එල්ල වන ඉතා කුඩා පීඩනයකදී වුවත් සන්ධිය පැනීමකට ලක්වීමට ඉඩකඩ පවතිනවා. එසේ නොමැති නම් එදිනෙදා ජීවිතයේදී ඔබ සිදු කරන ඉතා සුළු වැඩකටයුත්තකදී වුවත් මේ තත්ත්වය යටතේදී උරහිස සන්ධිය පැනීමකට ලක්වන්න පුළුවන්. මේ තත්ත්වය ඇතිවීමට හේතු ලෙස,

*ටික කලකට ඉහතදී උරහිස සන්ධියට තදින් ඇතිවන වැදීමක් හෝ වැටීමක්

*රැකියාවේදී, ක්‍රීඩා සහ ව්‍යායාම කටයුතුවලදී හෝ වැඩ කටයුතුවලදී අත ඔසවා සිදුකරන චලන වැඩි වාර ගණනක් තොරව සිදුකිරීම.

*විවිධ හේතු නිසා උරහිස සන්ධිය ඇතුළෙහි පවතින මෘදු පටකවල සිදුවන ඉරීම් සහ ලිහිල්තාවයන්.

*උපතින්ම පැමිණෙන බන්ධනී ලිහිල්වීමේ තත්ත්වය හෙවත් Hyperlaxity තත්ත්වය දක්වන්නට පුළුවන්.

පුද්ගලයෙකු මේ තත්ත්වයෙන් පීඩා විඳීන විට කාලාන්තරයක් තිස්සේ පහත රෝග ලක්ෂණ පවතින්නට පුළුවන්

*උරහිසේ පවතින ලිහිල් ස්වභාවය සහ බර දැරීමේ අපහසුතාවය.

*උරහිස සන්ධියේ චලන සමඟ වේදනාව උත්සන්න වීම.

*උරහිස සන්ධිය ආශ්‍රිත මාංශ පේශි දුර්වල වීම.

*උරහිස සන්ධියේ චලන අවහිරතාවය.

*සමහර අවස්ථාවලදී සුළු වශයෙන් ඇති වන ඉඳීමීම හෝ අදාළ ප්‍රදේශයේ සම කළු හෝ නිල් පැහැ වීමක්

මෙවැනි රෝගියෙකු ප්‍රතිකාර සඳහා පැමිණි විට වෛද්‍යවරයා පළමුවෙන්ම රෝග ඉතිහාසය විමසා බලා, රෝගියා නිවැරදිව පරීක්ෂා කිරීමෙන් පසුව උරහිස සන්ධිය ආශ්‍රිතව කාලයක් තිස්සේ පවතින අවස්ථාවරතාවයක් තිබේද යන රෝග විනිශ්චයකට පැමිණිය යුතු යි. මීට හේතුව වන්නේ උරහිස සන්ධිය ආශ්‍රිතව පවතින වෙනත් රෝග තත්ත්වයන් නිසාද මේ හා සමාන රෝග ලක්ෂණ ඇති වීමේ හැකියාවයි.

මේ තත්ත්වයේදී පවතින වේදනාව සහ මාංශ පේශි දුර්වලතාවය සඳහා පාරම්පරික තෛල ප්‍රතිකාර ආරම්භ කළ යුතු වනවා. අදාළ සන්ධිය මීට කලින් කිහිප වතාවක්ම පැනීමකට ලක් වී තිබේ නම්, පිහිටීම ස්ථාවර කිරීම සඳහා වෙළුම් පටි ආධාරයෙන් ගෙලෙහි එල්ලා තැබීම සිදු කළ යුතුයි. වේදනාව සහ ඉදිමීම අඩුවී, මාංශ පේශිවල ශක්තිය වැඩිවීමත් සමඟ නිසි පරිදි ව්‍යායාමවලට යොමුවීම මඟින් වඩාත් නිවැරැදිව සුවය ලබාගන්නට පුළුවන්.

අනතුරකින් සිදුවන උරහිස් සන්ධියේ පැනීමකදි සහ කාලාන්තරයක් තිස්සේ පවතින උරහිස සන්ධියේ අස්ථාවර භාවය යන අවස්ථා දෙකෙහිදීම ඉහත ආකාරයේ ප්‍රතිකාර මගින් සම්පූර්ණ සුවයක් ලබා ගැනීමට හැකි වුවත් සන්ධිය පැනීමත් සමඟ සන්ධි කැප්සූලය (Joint Capsule) හෝ ඒ ආශ්‍රිත මෘදු පටකවල ඉරීමක් හෝ හානියක් සිදුවී ඇත්නම් විශේෂ පත්තු ආශ්‍රිත පාරම්පරික ප්‍රතිකාර ක්‍රමයකට යොමු විය යුතුයි. මෘදු පටක ආශ්‍රිතව සිදු වී ඇති ඉරීම් සහ අනෙකුත් ආබාධ පැහැදිලි කර ගැනීම සඳහා අවශ්‍ය පරිදි X-ray හෝ MRI  පරීක්ෂණ භාවිත කරන්නටද පුළුවන්.

ඇතිවිය හැකි සංකූලතාවයන්

* මාංශ පේශීවලට හානි පැමිණීම :

මෙහිදී උරහිස සන්ධියේ ස්ථාවරතාවය පවත්වා ගැනීමට හේතුවන සහ චලන පවත්වා ගැනීමට හේතුවන මාංශ පේශීන් ඉරියාමකට හෝ හානි වීමකට ලක්වන්නට පුළුවන්. විශේෂ පාරම්පරික තෛල ප්‍රතිකාර මඟින් මේ තත්ත්වය පාලනය කරන්නට පුළුවන්කම පවතිනවා.

*ස්නායුවලට හානි සිදුවීම :

උරහිස සන්ධිය පැනීම්වලදී ප්‍රගණ්ඩ අස්ථියේ හිස ආශ්‍රිතව පවතින ඇක්සිලරි ස්නායුවට සහ අකු ඇටයට පහළින් පවතින බ්‍රැකියල් ප්‍රථානය නම් ස්නායු ගොමුවටද හානි සිදුවන්නට පුළුවන්. මෙහිදී සිදුවී ඇති හානියේ ප්‍රමාණය අනුව පාරම්පරික ප්‍රතිකාර සහ චීන කටු ප්‍රතිකාර මඟින් සුවය ලබා ගැනීමේ හැකියාව පවතිනවා.

 

*අස්ථි බිඳීම් :

උරහිස් සන්ධියට එල්ල වන දැඩි පීඩනයකදී විස්ථාපනය /පැනීම සහ ප්‍රගණ්ඩ අස්ථියේ බිඳීම් යන දෙකම එකවර ඇතිවන්නට පුළුවන්. එවැනි අවස්ථාවලදී සිදුවී ඇති අස්ථි බිඳීම නිවැරැදි කිරීම සහ උරහිස් සන්ධිය නැවත ප්‍රතිස්ථාපනය කිරීම යන ප්‍රතිකාර වර්ග දෙකම එකවර සිදු කළ යුතුයි. වෛද්‍යවරයාගේ දැනුම සහ පළපුරුදුකම මත මේ තත්ත්වයේදී ඉතා නිවැරදිව ප්‍රතිකාර කළ යුතුයි. නිවැරදිව නොකරන ලද හෝ මඟ හැරුණු ප්‍රතිකාර නිසා පසුකාලීනව උරහිස සන්ධියේ හිරවීම සහ චලන අවහිරතාවයද ඇතිවන්නට පුළුවන්.

 

පාරම්පරික දේශීය කැඩුම් බිදුම් සහ

චීන කටු වෛද්‍ය

ජෙනාඩ් භානුක ධර්මප්‍රිය

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
15 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.