ගල් තැලුම්

ජනවාරි 19, 2024

නිතරම බර වැඩවල නිරත වන පුද්ගලයන් අතරේ බහුලව දක්නට ඇති තත්ත්වයක් ලෙස ගල්තැලුම් හැඳීන්විය හැකිය. ඇවිදින විට වේදනාව ඇතිවන, සම මතුපිට පෘෂ්ඨය ඝනවීමක් මෙහිදී දක්නට ලැබේ. කකුල්වල යටි පතුල්වල සමෙහි ඇතිවන ඝනවීමක් ගල්තැලුම් ලෙස හැඳීන්විය හැකිය. මෙහිදී සිදුවන්නේ කෙරටීන් ඝනවීමකි. එය මතුපිට රවුම් ආකාරයට ඝන වී ඇතුළට කේතු ආකාරයෙන් ගිලා බසී. මෙය ආකාර දෙකකින් පවතී. එකක් මතුපිට සම පමණක් ඝන වී පවතී. එය එතරම් වේදනාකාරී නැත. අනිත් ආකාරය කේතු ආකාරයට ගිලා බසින වේදනාකාරී අවස්ථාවයි.

මේවා ඇති වෙන්නේ ගල්වලට තැලීමෙන්ම නොවේ. සමේ ඇතිවන වෛරස් ඉන්නන් ද ගල් තැලුමක් ආකාරයට දිස්වෙයි. මිනිස් ශරීරයේ බර පොළව මතට යන්නේ කකුලේ යටි පතුල හරහායි. පුද්ගලයකුගේ යටි පතුල ශරීරයේ බර එක හා සමානව පොළවට විහිදෙන ආකාරයට සකස්වී ඇත. නමුත් යම් කෙනකුගේ යටි පතුලේ අස්ථි සැකිල්ලේ වැරැදි පිහිටීමක් තිබූ විට පතුලේ සමහර ස්ථානවලින් ශරීරය බරින් වැඩි කොටසක් පොළවට යන අතර මේ අස්ථිවලට සම්බන්ධ සම නිතරම වැඩි පීඩනයකට ලක්වේ. එවැනි තැන්වල සම ඝනකම් වන අතර මේවාත් ගල් තැලුම් ලෙස හඳුන්වයි.

පාවහන් නොමැතිව ඇවිදීම, යටිපතුල් නිතරම රළු පෘෂ්ඨ සමඟ ගැටීම, උස් අඩි පාවහන් පැලඳීම, අධික ලෙස ඇවිදීම හා දිවීම මෙන්ම අධික තරබාරු බවත් ගල්තැලුම් සඳහා හේතුකාරක වේ.

ඒ වගේම ඉතාම කලාතුරකින් අස්ථිවල ඇතිවන යම් වර්ධක නිසාද, පාද පතුලේ පටකවල ඇතිවන ඝනවීම් නිසාද මෙවැනි තත්ත්ව ඇතිවේ.

ගල් තැලුම් ප්‍රධාන වශයෙන් පාදවල හටගන්නා අතර යම්කිසි මතුපිටක් මත ගැටෙන ශරීරයේ ඕනෑම තැනක ගල්තැලුමක් හටගැනීමේ හැකියාව ඇත.

පාදවල ගල්තැලුම් පවතී නම් ගෙවුණු පාවහන් ඉවත්කර පතුලේ ප්‍රමාණයට සරිලන පාවහන් පැලඳීම සුදුසුය. ඒ වගේම ගල් තැලුමේ මතුපිට ඝණකම් ස්ථර ගැලවී යාම සඳහා කිසියම් ආලේපයක් මතුපිට ආලේප කර වේදනාව අඩු කළ හැකියි. පලඳීන පවහන්වල පතුලේ ගල්තැලුම තියෙන තැනට අනූරූපී වන තැන පොඩි වළක් වැන්නක් හැදීමත් එතනට ස්පොන්ච් කැබැල්ලක් තැබීමත් කළ හැකියි. ගල්තැලුම්වල විශබීජ තත්ත්ව ඇතිවන අවස්ථා ද දක්නට ඇත. මෙය මූලික අවස්ථාවේදී නිසි ප්‍රතිකාර නොලැබුණහොත් අදාළ කොටස ශල්‍යකර්මයක් මඟින් ඉවත්කිරීමට පවා සිදුවේ.

ආයුර්වේද ප්‍රතිකාර ක්‍රමයේදී ගල්තැලුම් දියකර හරින ඖෂධීය ආලේපන වර්ග යොදා ගන්නා අතර ගල්තැලුම් සඳහා අග්නි කර්මය නමින් විශේෂ ශල්‍ය ප්‍රතිකාරයක් ද සිදු කරනු ලබයි. මෙහිදී ඝන වූ සම කොටස් ක්‍රමයෙන් පිලිස්සීම සිදුකරයි. මෙය වේදනා රහිත ප්‍රතිකාර ක්‍රමයක් වන අතර මෙම ප්‍රතිකාරය කීප වතාවක් සිදුකිරීම මඟින් සාර්ථක ප්‍රතිපල ලඟා කරගත හැකිය.

පාදයේ යටි පතුල පිලිබඳව නිරන්තරයෙන් විමසිලිමත් වනවා නම් සහ පිරිසුදු බව පවත්වා ගන්නේ නම් මෙවැනි බොහෝ අපහසුතා මගහරවා ගත හැකිය.

එච්. ඒ. මධුශානි ප්‍රසංගිකා

හෙද නිලධාරිනී

ජාතික ආයුර්වේද රෝහල, කොළඹ

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
15 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.