ලෙඩ ගොඩකට අත වනන අධි රුධිර පීඩනය

ජනවාරි 19, 2024

අධික රුධිර පීඩනය නැතහොත් ප්‍රෙෂර් එක අද සමාජයේ බොහෝ දෙනකුට පවතින රෝගී තත්ත්වයක්. ජන ගහනයෙන් සියයට විස්සකට අධික සංඛ්‍යාවක් අධිරුධිර පීඩනයෙන් පෙළෙන බව සංඛ්‍යාලේඛන මඟින් හෙළිවේ. රුධිර පීඩනය යනු යම් අයකුගේ රුධිර නාල තුළ ඇතිවන පීඩනයයි. නිරෝගී පුද්ගලයකුගේ සාමාන්‍ය රුධිර පීඩනය 140 - 80  MMHG  වේ. 140 යනු හෘදය සංකෝචනය වන අවස්ථාවේ දී රුධිර නාළ තුළ ඇතිවන පීඩනයයි. 80 යනු හෘදය ප්‍රසාරණය වන අවස්ථාවේ දී රුධිර නාල තුළ ඇතිවන පීඩනයයි. මෙය ඒ ඒ අයගේ වයස්සීමාව අනුව වෙනස් විය හැකි ය. වයස අවුරුදු පනහ ඉක්මවූ අයකුගේ හෘදය සංකෝචනය වන අවස්ථාවේ දී රුධිර පීඩනය 160 දක්වා විය හැකිය. කෙසේ වෙතත් නියමිත ප්‍රමාණයට වඩා යමෙකුගේ ශරීරය තුළ රුධිර පීඩනය වෙනස්ව තිබේ නම් එය රෝගී තත්ත්වයකි.

රුධිර පීඩනය නිසි ලෙස නොමැති නම් ශරීරයේ ශෛලවලට අවශ්‍ය රුධිරය සහ පෝෂණය නිසි පරිදි නොලැබේ. එමෙන්ම වයස්ගත වන විට රුධිර නාළවල ඇදෙන සුළු ගතිය අඩු වී ඒවා ඝනකමක තත්ත්වයට පත්වේ. මේ නිසා රුධිර නාළ තුළ ඇති පීඩනය සම තත්ත්වයට පත්කරගත යුතුය. 160 එලෙස නොපවතී නම් එය රෝගී තත්ත්වයක ලක්ෂණයකි. එය රුධිර පීඩනය ලෙසින් ද හඳුන්වති. මෙසේ අධිරුධිර පීඩනය ඇතිවීමට හේතු කීපයක්ම ඇත. එහෙත් රෝගය හටගන්නේ 90% පමණ දෙනාට රෝගය වැලඳීමේ හේතුවක් නොමැති බව සොයාගෙන ඇත. ඉතිරිය 10% ට මෙසේ රෝගී තත්ත්ව ලක්වන්නේ ශරීරයේ හටගන්නා වෙනත් අසනීපකම් හේතුවෙනි. පරම්පරාවෙන් පැවැතෙන්නෙකුට රුධිර පීඩනය ඇත්නම් හෝ නැතහොත් වයස අවුරුදු තිහ ඉක්මවා ඇත්නම් හෝ මාසයකට එක්වතාවක් හෝ අධිරුධිර පීඩනය පරීක්ෂාකරගත යුතු ය.

එසේ පරීක්ෂාකර ගැනීමෙන් දෙනු ලබන වෛද්‍ය උපදෙස් මත ක්‍රියා කිරීමෙන් අධිරුධිර පීඩනය පාලනය කරගත හැකිය. අධි රුධිර පීඩනය නොසලකා සිටියහොත් ඉන් ශරීරයට හානියක් විය හැකිය. එසේ වුවහොත් හෘදයේ ධමනිවල කොලෙස්ටරීල් තැන්පත්වීමේ හැකියාව වර්ධනය වේ. මේ නිසා හෘදය අකර්මණ්‍ය වීමේ තත්ත්වයකට පත්විය හැකිය. එයට හේතු වන්නේ අධික රුධිර පීඩනයයි. මද දුරක් පවා ඇවිදගිය විට කකුල් ඉදිමීම, හතිය, බඩපුරවා දැමීම ආදියද මේ නිසා සිදු වේ.

මෙවැනි තත්ත්වයක් අංශභාගයට පවා හේතුවකි. මොළයේ කුඩා නහර පිපිරී රුධිරය වහනය වීම අංශභාගයේ ආරම්භයයි. මේ නිසා වකුගඩු ද අකර්මණ්‍ය වේ. පෙනීමේ දුර්වලතා ඇතිවීමෙන් අන්ධභාවයට ද පත් වේ. ඇසේ කුඩා කේෂ නාළිකා පුපුරා යාමෙන් ලේ වහනය වීමෙන් අන්ධභාවයට පත් වේ. රුධිර පීඩනය පාලනය කරන ප්‍රධාන ස්ථානය මොළයයි. මොළය මඟින් අනෙකුත් අවයවවලට අවශ්‍ය රුධිරය සපයයි. රුධිර පීඩනය නිශ්චිතව තබා ගැනීමට වකුගඩුවලට ඇත්තේ මහත් වගකීමකි.

වකුගඩුවලට ඉහතින් ඇති කුඩා ග්‍රන්ථියක් වන අධි වෘක්ක ග්‍රන්ථි මගින් නිපදවන කෝටිස්ටෙරෝන් මඟින් ද රුධිර පීඩනය වැඩිකරයි. හිසේ අමාරුව, ක්ලාන්තය, කැරකැවිල්ල, වමනය, පෙනීමේ ආබාධ ආබාධ ඇති වුවහොත් එය අධික රුධිර පීඩනය ඇතිවීමේ ලක්ෂණ බැවින් වහාම වෛද්‍යවරයකු වෙත යා යුතුය. අධිරුධිර පීඩනයෙන් පෙළෙන අය විශේෂයෙන් දුම්බීමෙන් වැළකී සිටිය යුතු ය. කොලස්ටරෝල් සහ මේදය අඩු ආහාර ගැනීම අත්‍යවශ්‍යම වේ. අලුත් එළවළු, පලතුරු, මාළු ආහාරයට ගැනීම සුදුසු ය. පොටෑසියම් අධික ආහාර වඩාත් ගුණදායකය. අධිරුධිර පීඩනයෙන් පෙළෙන විට දිනපතා ව්‍යායාම්වල යෙදිය යුතු ය. එනම් ඇවිදීම, පිහිනීම, බැඩ්මින්ටන් සහ ටෙනිස් ක්‍රීඩාව ද යෝග්‍යය. අධිරුධිර පීඩනයෙන් වැළකීමට නම් ගන්නා ආහාර ගැන සැලකිළිමත් විය යුතු ය. ආහාරවලට එක්කරන ලුණු ප්‍රමාණය බෙහෙවින් අඩු කළ යුතුය. ටින් මාළු හා ටින්වල ඇසුරුම් කරන ලද කෑම ජාති ලුණු මිශ්‍ර අලපෙති, සොස් වර්ග හා බයිට්වර්ග ඉතාම අහිතකරය. අඹ, පැපොල්, දොඩම් වැනි පලතුරු ගුණදායකය. රැකියාවක නිරතවන විටකදී හෝ තට්ටු නිවාස වෙළෙඳසැලකට හෝ යන විට විදුලි සෝපාන භාවිතයට නොගෙන පඩිපෙළ මඟින් යාමට ඒමට භාවිත කිරීම වඩාත්ම සුදුසු ය.

රුධිර මේද කොලෙස්ටරෝල් මට්ටම ඉහළ යෑම හෘදයාබාධ වැලඳීමේ හැකියාව වැඩිය. එබැවින් කොලෙස්ටරෝල් වැඩි ආහාර ගැනීමෙන් වැළකී සිටිය යුතුය. අධිකරුධිර පීඩනයට වැරදි ආහාර හා විහරණ පුරුදු බෙහෙවින්ම ඉවහල් වේ. අධික ලුණු සහිත ආහාර සහ තෙල්බැදුම් හා ක්ෂණික ආහාරත්, මත්පැන් වැනි දේත් බොහෝ සෙයින් රුධිර පීඩනයට හේතුවේ. මෙහිදී දුම්පානය ද විශේෂයි. අධික රුධිර පීඩනය සමනය කිරීමට වගකීමෙන් යුතුව කටයුතු කළ යුතුය. සුදුලූනු, කරපිංචා සහ උළුහාල් අධික රුධිර පීඩනය සමනය කිරීමට ඉවහල් වන ආහාර කීපයකි. කැල්සියම් සහ පොටෑසියම් රුධිරයේ ලුණු ඉවත් කිරීමට උපකාරී වන නිසා එම පෝෂක අඩංගු ආහාර ද ගුණදායකය. එදිනෙදා ගන්නා ආහාර වේලක සියයට විස්සක් කාබොහයිඩ්‍රේට් ද සියයට දහයක් පහළොවක් ප්‍රෝටීන් සියයට හැටක් හැටපහක් එළවළු ද තිබීම වැදගත් ය. තෙල් බහුල කෑම බැදුම් ජාති බටර් බිත්තර කහමදය සත්ත්ව තෙල් වැඩි මස්වර්ග කෑමද අහිතකරය. පළා වර්ග අඟුණ කොළ, තෙබුදලු, කෝවක්කා කොළ, ගුණදායකය. රතුකැකුළු සහල් බත, බාර්ලි, මුං ඇට වගේම ගස්ලබු, උගුරැස්ස, කාමරංගා මෙන්ම බෙලිකොළ බැවිල මුල්, උළුහාල්, සුදුලූනු තම්බා බීමත්, කරපිංචා කැඳ යකිනාරං කොළ කැඳත් ගුණදායකය.

බත්තරමුල්ල රාජපුර වෙද මැදුරේ ප්‍රධාන ආයුර්වේද වෛද්‍ය

සුමිත් රාජපුර

සටහන - මාධ්‍යවේදී, බී.ඇල්. ප්‍රේමරත්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.