ශාරීරිකවත් මානසිකවත් පීඩා ගෙන දෙන සෙම් කෝපය

ජනවාරි 12, 2024

සෙම් රෝගියකු කතා කරන විට යම් දෝංකාර ගතියක් පවතී. සෙම කෝප වූ විට සෙමෙහි ඝනකම වැඩි වීම ආහාර නොදිර වීම, ඉදිමීම, නින්ද අධික වීම, ශරීරාංගවල වේදනාව, ශරීයේ බර ගතිය ද ඇතිවේ. ඝන වූ සෙම පවතින විට නිතර නිතර කහින ගතියක් පවතී. එසේ කැස එළියට දමනු ලබන්නේ සුදුරුධිරාණු සහිත ශ්ලේෂ්මලයි. සමහර විට සෙම කහපාට වර්ණයෙන්ද පිට කරයි. එසේ සෙම පිටකරන්නේ නම් ඇදුම, පීනස වැනි රෝගාබාධයන්ටද හේතු විය හැකිය.

මෙසේ පිටකරනු ලබන සෙම් වෙනත් පාටක් තිබේ නම්, ඉන් පැහැදිලි වන්නේ විෂබීජ තත්ත්වයක් පවතින බවයි. සෙම, දුඹුරු පැහැතිව හෝ රතු පැහැතිව පවතින්නේ නම් ශරීරගත වූ විෂබීජයක් එයට හේතු වූ බවයි. කෙසේ වෙතත් සෙම් රෝග ලක්ෂණ ඇතැයි පෙනෙන්නේ නම් වහාම වෛද්‍යවරයකු වෙත ගොස් ප්‍රතිකාර ලබා ගත යුතුය.

සෙම්, වා, පිත් යන ත්‍රිදෝෂයන්ගේ පාලනයටත් රුධිරයේ අනුග්‍රහයෙන් ශරීරය පවත්වාගෙන යයි. සෙම්, වා,පිත් යන තිදෙනාම මොනම වෙනස් වීමක් හෝ විකෘතියක් නොමැතිව සමව සිටින තාක් නීරෝගිමත් ජීවිතයක් ගත කළ හැකිය. එහෙත් එක් වෙනස් වීමක් හෝ සිදු වුවහොත් නීරෝගිතාවය වෙනස්ව රෝගී තත්ත්වයට පත්වේ. වාත, පිත්ත, කඵ, ත්‍රිදෝෂයන්ගෙන් වන්නවූ මේ රෝගාබාධ හටගැනීම වැළැක්විය නොහැකිය. මේ සෙම හේතුව නිසා වන ප්‍රධාන කරුණ වන්නේ රෝගීතාවයට පත්වීමයි. වැඩිහිටි බොහෝ දෙනකු රෝගීන් බවට පත්ව කායිකව මෙන්ම මානසික වද පීඩා විඳින්නේ නොසැලිකිලිමත්භාවය හේතුවෙනි. එයට එක් හේතුවක් වන්නේ සමහර වෙළෙඳ නම්වලින් හඳුන්වනු ලබන මද්‍යසාර වර්ග ගෙන පානය කිරීමයි. එවැනි සමහර මද්‍යසාර වර්ග සෙම වර්ධනය කිරීමට බෙහෙවින් උපකාරි වේ. මද්‍යසාර නිසා ඇතිවන විජලනය සමනය කිරීමට රුධිර නාළිකා ක්‍රියාත්මක වේ. ඉන් ශ්ලේෂ්මල වැඩි වැඩියෙන් ඇති කෙරේ. සමහර විට විෂබීජ නිසාත් හටගන්නා සෙම විෂබීජ විනාශ වී යාමෙන්ද අවසන් විය හැකිය.

අසාත්මිකතාව හේතුවෙන් ඇති වන සෙම ලෙහෙසියෙන් සමනය වීමක් සිදු නොවේ. ආසාත්මික වීමක් ඇතිවීමට කෑම බීම පමණක් නොව වායු දූෂණය මෙන්ම පාරිසරික හේතුන්ද බලපායි. යම් හෙයකින් අධික වූ ආසාත්මිකතාවයට ලක්වීමෙන් ඇදුම රෝගී තත්ත්වයකට පවා පත්විය හැකිය. ඇදුම, පීනස, වැනි රෝග තත්ත්වයන් පමණක් නොව සෙම ආශි‍්‍රතව වැලඳෙන වෙනත් රෝග පවා හටගත හැකිය. සෙම කෝපවීමෙන් නළලට තද වේදනාවක් දැනේ. වරින් වර තද හිස රද ගතියක් ඇතිවේ.

කඩින්කඩ හෝ නොනවත්වා කිවිසුම් යාම මෙන්ම බඩගිනිද ඇති නොවේ. ඇස් යට වේදනාව හා උගුර කැසීමක්ද ඇතිවේ. සමෙහි ගොරෝසු බවක් දැනෙන අතර, අනුන් නුරුස්සන ගතියක්ද ඇතිවේ. සෙම නරක් වීමෙන් ශ්වසනක ජ්වරය හට ගැනේ. ජ්වර තාපය එකවර ඇතිවීම රෝගාරම්භයයි. සමහරුන්ට ප්‍රතිශ්‍යාව වැලඳුණු විට සන්ධි කැක්කුම, කන් කැක්කුම හා උගුර කැසීමද ඇතිවේ. කෙළ, සෙම පිටකිරීම ක්‍රමානුකූලව වර්ධනය කෙරේ. පසුවන්න පසුවන්න දුගඳ හමන ඝන වූ සෙම පිට කරයි. ළමා කාලය සෙම බලවත් වන කාලයයි. තරුණ කාලයේදී පිත වර්ධනය වේ.

පපුවේ සෙම යනුවෙන් හඳුන්වන පෙණහැල්ලේ ඇතිවන ආසාදන බොහෝ වෙලාවට ඇතිවන්නේ වයිරස් නිසයි. පෙණහලු අසාදනය කළ හැකි වයිරස වර්ග බොහෝමයක්ම තිබේ. බැක්ටීරියා ආසාදනවලිනුත් සෙම් රෝග ඇති වේ. මේ ආසාදන වැඩිදුරටත් පැවතීම නිසා න්‍යුමෝනියාව පවා ඇතිවීමට හැකියාවක් පවතී. කැස්ස, හෙම්බිරිස්සාව හැදුණත් පවතින තත්ත්වය මෙයයි. කැස්ස, නාසයෙන් සොටුදියර ගැලීම, උණ, හුස්ම ගැනීමේ වේගය වැඩි වීම ආදියද සෙම් රෝගවල ලක්ෂණයයි. සම් රෝගයක ලක්ෂණ පහළ වූ විට හිතුමතේට ප්‍රතිකාර නොකොට නිසි වෛද්‍යවරයෙකුට පෙන්වීම සුදුසුම ක්‍රියාවයි. බොහෝ විට තරබාරුකමට හේතු වන්නේ සෙම අධිකව පැවතීමයි. සෙම පෙණහළු ශ්වාසනාල, බෙල්ල, හිස, ආමාශය ආදී ස්ථානවල ගැවසෙයි. පණූුරෝග නිසාත් දරුවන්ට සෙම ඇතිවිය හැකිය. සෙම හෙවත් කඵ ධාතුව ඉතාම සැකවින් හැඳින්වේ. සෙම අවලම්බක ක්ලේදක බෝධක තර්පක ශ්ලේෂ්මක යනුවෙන් ප්‍රභේද පහකි. ඒවා ඒ නම්වලින් හැඳින්වෙන්නේ එහි ක්‍රියාකාරීත්වය අනුවයි.

සෙම තිබෙන ප්‍රධාන හේතු ලෙස දහවල නිදියෑම, මධුර අමල් ලවණ ගුරු ස්නිග්ධ පාන ආහාර වර්ග සහ මස් මාළු, තල, කැවිලි උක් රස යන මේවා නිරන්තරයෙන් අධිකව ගැනීම සහ බඩ පිරෙනතෙක් කෑම ගැනීම නුසුදුසුය. වේලාවන්හිදී ඇල්වතුර බීම යන මේවා හේතු වේ. පිනිබෑම වැස්සට තෙමීම, රාත්‍රී නිදි මැරීම හේතු වේ. පාසල් සිසු දරු දැරියන් බොහෝ දෙනකු ඉගෙනීම සඳහා උදෙන්ම අවදි වී සූදානම්ව වාහනවලින් පාසල්වලට යයි. ඔවුන් අලුයම පිබිදී පාසලට යන විට බොහෝ විට ශීත සුළං වැදෙයි. සමහර විට උදේ ආහාරය පවා ශීත සුළං මධ්‍යයේ වාහන තුළදීම ගනියි. මෙසේ සුළං වැදීම නිසාත් සෙම කිපේ. මෙසේ දිනපතාම සිදුවීම නිසා සෙම කීපමක් සිදු වේ. එවැනි තත්ත්වයක් ඇතිවිටත් බලා නොසිට ප්‍රතිකාර ලබා දිය යුතුය. සමහර වැඩිහිටියන්ටද සෙම කුපිත වීමෙන් රෝගබාධ හට ගනී. එයට බෙහෙවින් හේතු වන්නේ ඔවුන් කරන රැකියාවේ තත්ත්වය හා උදෑසන රාජකාරියට යෑමේදී ඇතිවන ශීත සුළං හා පාරිසරික හේතූන්ය. සෙම් කෝපයේ ලක්ෂණ ලෙස නළල යට වේදනාව, හිසරදය ,කුසගිනි අඩු වීම, නාස් සිදුරු ඇහිරීම ඇඟ පත වේදනාව ධෛර්ය අඩුවීමද වේ.

විශේෂයෙන් කිවිසුම් යාම නිතර නිතර ඇතිවීම, ඇස් යට වේදනාව, නාසයෙන් ටික ටික ලේ යාමද සිදු වේ. මෙවැනි තත්ත්වයක් ඇතිවීමෙන් පසු ප්‍රතිශ්‍යාව ඇති වේ. කෙසේ නමුත් සෙම් කෝප ලක්ෂණ ඇතිවූ වහාම දරුවන් මෙන්ම වැඩිහිටියන්ද කල් නොයවා ප්‍රතිකාර ගැනීමෙන් වෙනත් රෝගාබාධවලට ලක්වීම නවතා ගත හැකිය.

 

මොනරාගල සිරිගල

ආයුර්වේද වෛද්‍ය

මැණික් නේරංජනා හෙට්ටිආරච්චි

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
7 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.