දැනුම්වත් වෙමු දුරලමු HIV

දෙසැම්බර් 8, 2023

 

HIV ආසාදනය සහ ඒඩ්ස් රෝගය පිළිබද ලෝකයේ සොයා ගැනීමත් සමඟ HIV ආසාදනයෙන් පෙළෙන්නන් සමාජයේ කොන්වීමට ලක්විය. HIV ආසාදිතයන්ට කිසිදු වෙනසකින් කොන් කිරීමකින් තොරව සමාජයේ යහපත් ලෙස සියලුම අයිතිවාසිකම් භුක්ති විදිමින් ජීවත්වීමේ අවස්ථාව ලබාදීම සඳහා 1988 දී ලෝක සෞඛ්‍ය සංවිධානය මැදිහත් වීමෙන් ලෝක ඒඩ්ස් දිනය ලෙස සෑම වසරකම දෙසැම්බර් පළමුවැනිදා නම්කර ඇත.

HIV යනු මානව ප්‍රතිශක්ති ඌනතා වෛරසය යන්නය. HIV වෛරසයට තනිව වර්ධනය වීමට නොහැකි අතර ඔවුන්ට තමන්ගේ නව පිටපත් නිර්මාණය කිරීම සඳහා ජීවී සෛල ආසාදනය කළ යුතුයි. මානව ප්‍රතිශක්තීකරණ පද්ධතිය සාමාන්‍යයෙන් වෛරස මර්දනය කරන නමුත්, HIV ප්‍රතිශක්තිකරණ පද්ධතියටම බලපෑම් එල්ලකරන බැවින් එය මර්දනය කිරීමට නොහැකිය. HIV ආසාධිත රෝගියෙකුගේ ප්‍රතිශක්තීකරණ පද්ධතිය රෝගවලට ඔරොත්තුදීමට නොහැකි මට්ටමට දුර්වල වේ.

ඒඩ්ස් සඳහා ප්‍රතිකාරයක් නැත. ආරක්ෂිතව සිටීමේ හොඳම මාර්ගය වනුයේ අවදානම් හැසිරීම්වලින් වැළකී HIV සම්ප්‍රේෂණය වන විධි පිළිබදව දැනුවත්වී සිටීමයි.

වෛරසය ගුණනය වීම පාලනය කිරීම සඳහා ප්‍රතිවෛරස ඖෂධ ඇත. එමඟින් ශරීරයේ ඇති වෛරස ප්‍රමාණය පහත හෙළන අතර, ප්‍රතිශක්තිය නැවත නඟාසිටුවා රෝගියාගේ ජීවිත පැවැත්ම දීර්ඝ කෙරේ. නමුත් මේ ඖෂධ මඟින් සම්පූර්ණයෙන්ම HIV වෛරසය විනාශ කිරීමේ හැකියාවක් නැත.

HIV ආසාදනය වී කිසිම ප්‍රතිකාරයක් නොගෙන සිටින පුද්ගලයන්ගෙන් අඩකට පමණ, වසර 10 ක් ඇතුළත ඒඩ්ස් රෝගී තත්වය ඇතිවේ. ප්‍රතිවෛරස ඖෂධ මඟින් HIV ආසාදනයේ සිට ඒඩ්ස් රෝගී තත්ත්වය දක්වා වර්ධන වීමට ගතවන කාලය වැඩි කළ හැකිය.

HIV වෛරසය ආසාදනය වූ කෙනෙකු සමඟ අනාරක්ෂිත ලිංගික සබඳතා පැවැත්වීම මඟින් රෝගය බෝවේ. මෙය අපේ රටේ ජනතාව තුළ බහුලවම බෝවන ක්‍රමය වේ.

HIV ආසාධිත මවකගෙන් දරුවාට ගර්භණී කාලයේ දී, දරු ප්‍රසූතියේදී සහ මව් කිරි දීමේදී HIV අසාදනය සිදුවිය හැකිය. වෛරසය ආසාදිත බව කලින්ම දැන සිටියේ නම්, නියමිත ඖෂධ භාවිතා කිරීමෙන් දරුවාට වැලදීමේ හැකියාව අඩු කර ගත හැකිය. එසේම සිසේරියන් සැත්කමට මුහුණ දීම මෙන්ම දරුවාට මව්කිරි දීමෙන් වැලකී සිටීමෙන් දරුවාට ආසාදනය වීම අවම කරගත හැකිය.

රුධිරය, ශුක්‍ර පරිත්‍යාග, සම ඨපචටබඵ හෝ ආසාදනය කළ කෙනකුගේ ඉන්ද්‍රීයන් බද්ධ කිරීම්, ජීවානුහරණය නොකරන ලද එන්නත් කටු මඟින් හෝ අසාදිත රුධිර පාරවිලයනය මඟින් HIV වෛරසය බෝවිය හැකිය.

HIV සඳහා පරීක්ෂණය ලංකාව පූරා ඇති ලිංගාශ්‍රිත රෝග සායනයන් මඟින් සිදුකර ගත හැකිය. මේ පරීක්ෂණයට ඉදිරිපත් වන පුද්ගලයන්ට වෛද්‍ය කාර්ය මණ්ඩලය විසින් රහස්‍යභාවය ආරක්ෂා වන පරිදි උපදේශන ලබා දීම සිදු වේ.

මේ පරීක්ෂණය මඟින් ප්‍රතිදේහ හඳුනා ගනී. බොහෝ විට වෛරසය ඇතුළත් වීමෙන් සති 2-3 කාලයකට පසු ශරීරය තුළ ප්‍රතිදේහ නිපද වේ.

මේ වන විට මෙරට තරුණ ප්‍රජාව අතරින් HIV ආසාදිතයින් වාර්තා වීම ඉහළ යමින් පවතී. දැනට ලංකාව පුරා ලිංගාශ්‍රිත සායන 42ක් පවතී. මේ සායනවලින් ප්‍රතිකාර ලබාගන්නන්ගේ අනන්‍යතාවය පිළිබද කිසිදු තොරතුරක් එළි නොවන අයුරින් රහස්‍යභාවය සුරකිමින් මෙහිදී ප්‍රතිකාර ලබාදෙයි.

HIV සම්බන්ධයෙන් අනවශ්‍ය බියක් ඇතිකරගත යුතු නොවන අතර HIV ආසාදිත පුද්ගලයෙකු නිවැරදිව ප්‍රතිකාර ලබාගන්නේ නම් ඔහුට සාමාන්‍ය පුද්ගලයකු ලෙස මරණය දක්වා ජීවත් වීමේ හැකියාව පවතී. වඩා වැදගත් වන්නේ දැනුවත් වී ආරක්ෂාකාරී වීමයි.

 

 

එච්. ඒ. මධුශානි ප්‍රසංගිකා

හෙද නිලධාරිනී

ජාතික ආයුර්වේද රෝහල, කොළඹ

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 6 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.