සුවපත් සුවඳවත් මුඛයක් පෞරුෂය වඩවයි

නොවැම්බර් 24, 2023

මුඛය යනු සෞඛ්‍යයේ කැඩපතයි. පිරිසක් ඉදිරියේ කතා කරන විටදී මුඛය වසාගෙන කතා කිරීම සමහරුන්ගේ සිරිතයි. එයට හේතුව ඔවුන් තමාගේ කටේ දුගඳ අන් අයට නොදැනීම සඳහා කටයුතු කිරීමයි. එය තමාගේ පෞරුෂත්වයට හානියක්.

මෙය Halitosis  එහෙමත් නැත්නම් මුඛයෙන් ඇතිවන දුර්ගන්ධය ලෙස හඳුන්වයි. මෙසේ මුඛයෙන් දුර්ගන්ධයක් ඇතිවීමට ප්‍රධාන හේතු කිහිපයක් ඇත.

මුඛයේ අපිරිසිදුකම ඇතිවෙන්න හේතු වෙන්නේ ප්‍රමාණවත් තරම් දත් මදින්නේ නැතිකම. විශේෂයෙන් රාත්‍රී කාලයේදී ආහාරයෙන් පසු දත් මදින්නේ නැත්නම් උදේ වෙද්දී කෑම කැබලි එකතු වී, නරක් වී දුර්ගන්ධයක් ඇතිවෙන්න පුළුවන්.

විදුරුමස් රෝග තියෙන අයගේ විදුරුමස් ඉදිමිලා රතුවෙලා, ලේ, සැරව ඇවිත් ගන්ධයක් එන්න පුළුවන්. ඒ වගේම මුඛයේ ඇතිවන තුවාල නිසා වෙන්නත් පුළුවන්. ඒ තුවාල විෂබිජවලින් ආසාදනය වෙලා ගන්ධයක් ඇතිවෙනවා විය හැකියි.

විදුරුමස හා දත සම්බන්ධ වන තැන ඇතිවන ඝන මැලියම් තට්ටු හේතුකොටගෙන විදුරු මස තුළට විෂබීජ ඇති වී සැරව ගෙඩි ඇති වී ඒවායින් නැගෙන දුඟඳ කටින් පිටවීමටද ඉඩ ඇත.

ආහාර ජීර්ණ පද්ධතියේ බඩවැල් ආශ්‍රිතව හෝ ආමාශයේ තුවාල තියෙන අයට සහ උගුරට එන අයටත් කටින් ගන්ධයක් පිටවෙන්න පුළුවන්.

ඒවාගේම පීනස හැදෙන අයට සහ ශ්වසන පද්ධතිය ආශ්‍රිත රෝග ඇති අයටත් කටින් ගන්ධයක් පිටවෙන්න පුළුවන්. සෙම්ප්‍රතිශ්‍යාව කල්පැවතීම හේතුකොට ගැනීම තුළින් දුගඳ කටින් මතුවීමට ඉඩ ඇත.

එසේම දුම්පානය සහ විවිධ මද්‍යසාර භාවිතය තුළින් පෙනහළු ආසාදනය වීම සහ ශරීරයේ අභ්‍යන්තර රෝග තත්ත්වයක් ඇතිව තිබීමත් මීට හේතුවක්. කට ගඳ ගැසීම වළක්වා ගැනීම සඳහා රෑට නින්දට යාමට පෙර දත් අතර ඇති ආහාර කැබලි ඉවත් වන පරිදි දත් බුරසුවකින් හොඳීන් දත් මැද කට සෝදා දැමීමද, ලූණු වතුරෙන් මුඛය හා උගුර සේදිමද ගත හැකි අප දන්නා හොඳ පියවරකි.

දත්මුල්වල මැලියම් බැඳී ඇත්නම් දන්ත වෛද්‍යවරයෙකුට පෙන්වා ඒවා ඉවත්කර පිරිසිදු කරගත යුතුයි.

හෙම්බිරිස්සාව හොටු කහ පැහැයට හැරී ඇත්නම් වෛද්‍යවරයෙකු හමු වී ප්‍රතිජීවක ඖෂධ ලබාගත යුතුය.

කුඩා බඩවැල් තුළ දිරවන ආහාර පහසුවෙන් පිටවීමට ආධාරවීමට කෑම වේල් අතරට පිරිසිදු ජලය හොඳීන් පානය කරන්න.

මෙසේ රාත්‍රි නින්දට පෙර හොඳීන් දත් මැද කට සෝදා ගැනීමෙන්ද, දත් මුල් විදුරුමස් ආදිය වරින්වර දන්ත වෛද්‍යවරයෙකුට පෙන්වීමෙන්ද, හොඳීන් ජලය පානය කිරීමෙන්ද කට ගඳ ගැසීම බොහෝ දුරට නැතිකර ගත හැකිය.

ඒ වගේම, කුරුඳු කුඩු ටිකක් උණු වතුර කෝප්පයකට දමා මඳ වේලාවක් තබා මවුත් වොෂ් එකක් ලෙස පාවිච්චි කරන්න. එයට එනසාල් ටිකකුත් හැකිනම් එකතු කර ගත හැකිය. කරාබු නැටි වල ඇති ප්‍රතිබැක්ටීරියාකාරක නිසා කට ගඳ ගැසීම නවතා නැවුම් සුවඳක් ලබා දෙයි. ඒ සඳහා කරාබු නැටි කෑලි කීපයක් හොදින් සැපීම හෝ වතුර කෝප්පයක් උතුරවා කුඩු කරගත් කරාබු නැටි දමා මවුත්වොෂ් එකක් ලෙස දිනකට දෙවරක් පාවිච්චි කළ හැකියි.

ලෙමන් යුෂවලින් කට සේදීම අතීතයේ සිටම කළ ප්‍රතිකර්මයක්. ලෙමන්වල ඇති ඇසිඩ් බැක්ටීරියා වර්ධනය නවතා දමයි. එහි ඇති සුවඳ දුගඳ වළක්වයි.

මේ ක‍‍්‍රමවේදයන් එකක් හෝ භාවිත කර කටේ දුගඳ නැති කරගැනීමේ හැකියාව පවතින අතර යහපත් මුඛ සෞඛ්‍යයක් පවත්වා ගැනීම තම ප්‍රතිරූපය වැඩිදියුණු කරගැනීමට ගැනීමටද ඉවහල් වෙයි.

 

එච්. ඒ. මධුශානි ප්‍රසංගිකා

හෙද නිලධාරිනී

ජාතික ආයුර්වේද රෝහල, කොළඹ

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 7 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.