ආශ්මරී හෙවත් මූත්‍රාගල් රෝගය

නොවැම්බර් 24, 2023

යටිබඩේ වේදනාව, තුනටියේ ඇම්ම සහ ඇඟපතේ වේදනාව, නාභියේ සිට මූත්‍රා මාර්ගය දක්වා ඉඳිකටුවකින් අනින්නාක් වැනි ඉවසිය නොහැකි වේදනාවක් හටගැනීම, වරින්වර හිසේ ඇම්ම වගේම වමනය, ඔක්කාරය ඇතිවීම, බඩේ කොර ගතියක් ඇතිවීම, අශ්මරී රෝගයේ රෝග ලක්ෂණයයි. මෙවැනි රෝග ලක්ෂණ ඇති වූ විට බලා නොසිට ආයුර්වේද ප්‍රතිකාරවලට යොමු විය යුතුය.

 

මැදිවියේ පසුවන කාන්තාවන්ට මෙන්ම පිරිමින්ටද වයස් සීමාවකින් තොරව මෙය ඇතිවීම පුදුම විය යුතු කරුණක් නොවේ. මෙසේ පිත්තාශි‍්‍රතව ගල් ඇතිවීම සමාජයේ බහුලව දක්නට ලැබෙන රෝගයක් බවට පත්ව ඇත. විශේෂයෙන් මුත්‍රා පිටකිරීමේ දී ඇතිවන අපහසුතාවය, මුත්‍රා මාර්ගයේ ඇතිවන වේදනාව මේ ආදී ලක්ෂණ පහළ වූ විට ප්‍රතිකාර ගත යුතුමය. මුත්‍රා පද්ධතියේ ගල්හටගැනීම හෙවත් ආශ්මරී රෝගය කියන්නේ මුත්‍රාශය මුත්‍රා නාළ මෙන්ම වකුගඩුව යන මුත්‍ර පද්ධතියට අයත්වන කොටස්වල ගල් හෙවත් ආශ්ම ඇතිවීමයි.

 

මූත්‍රා ගල්

 

මුලින්ම වකුගඩුවල ඇතිවන ගල් මුත්‍රා නාළයේ මුත්‍රාශයට ගමන් කළ හැකිය. මූත්‍රා ගල් හට ගැනීමට හේතුවන ප්‍රධානතම කරුණ වන්නේ අඩුවෙන් ජලය පානය කිරීමයි. පිත්තාශයේ ගල් ඇතිවීමත් අද බහුලව පවතින රෝගයක් බවට පත් වී ඇත. මේ රෝගී තත්ත්වය වයස අවුරුදු දහයේ පසුවන දරුවන්ට පවා හටගෙන ඇති බැවින් දරුවන්ට ආහාර පාන ලබාදීමේ දී සැලකිලිමත් විය යුතුය. දරුවන්ට මුත්‍රා කිරීමේ අපහසුතාවය මුත්‍රා අඩුවෙන් පිට කිරීම හා ඇතිවන වේදනාව බොහෝ විට දරාගත නොහැකි තරමට උග්‍ර වේ. එවැනි තත්ත්වයට පත්වන දරුවන්ට එය උෂ්ණ කෑම බීම නිසා ඇතිවන තත්ත්වය ලෙස ප්‍රතිකාර ලබා නොදී සිටීම බලවත් වරදකි. මුත්‍රා කරන විට දරුවකු වේදනාවට පත්වන්නේ නම් කඩිනමින් ප්‍රතිකාර ලබා දිය යුතුය.

 

වේදනාව සමනයට

 

මෙවැනි රෝග ලක්ෂණ පහළ වූ විට වේදනාව සමනය කර ගැනීමට උනන්දු විය යුතුය. මෙහිදී මූලිකව කළයුතු වන්නේ ආහාර ගැනීම පිළිබඳව සැලකිලිමත්වීමයි. මුත්‍රා ගල් රෝගයේ දී අක්කපාන කොළ සලාදය, කුප්පමේනියා ව්‍යාංජනය, නීරමුල්ලිය, පොල්පලා, රණවරා, හාතාවාරිය, බෙලි මුල් වැනි ඖෂධ වර්ග තම්බාගත් ජලය පානය කිරීමත්, වැටකොළු, පතෝල වැනි දියර එළවළුත්, ඉදුණු ගස්ලබු, කෝලිකුට්ටු හා අමු නෙල්ලි, වේදනා සමනයට බෙහෙවින් යෝග්‍යය. නිතර නිතර උණුකර නිවාගත් ජලය පානය කිරීමත් ව්‍යාංජනවලට වැඩි ඉස්මක් දියරක් තිබෙන ලෙස සාදා ආහාරයට ගැනීමත් ගුණදායකය. තෙල් බැදුම්, තෙම්පරාදු කිරීම්, පිටි හා අල වර්ග, ක්ෂණික බීම වර්ග හා තෙල් අධික, පිටි අධික ක්ෂණික කෑම වර්ග ද මෙම රෝගය උත්සන්න කිරීමට හේතු වේ.

 

මහන්සිවීම

 

අධිකව මහන්සිවීම නිසාත් ප්‍රමාණවත් ලෙස ජලය පානය නොකිරීම නිසාත් වැරදි ආහාර පානාදියට යොමුවීම නිසාත් මේ රෝගී තත්ත්වයට යොමු වේ. අධික මිරිස් තුනපහ යෙදූ ආහාර හා උෂ්ණාධික මස් මාංශ ගැනීමත් රෝගී තත්ත්වයට හේතුවකි. ඉඳහිට මුත්‍රාශයේ ගලක් හිරවී ඇති අයුරින් වේදනාවක් දැනේ නම් එම අවස්ථාවේ දී බඩ කොරවීමක් වගේ දැනේ නම් සාමාන්‍ය ලෙස වේදනාවක්ද පවතින්නේ නම් ටිකෙන් ටික යටි බඩේ වේදනාව වැඩිවෙමින් තිබේ නම් උණු බත් ටිකක් ගෙන පොට්ටනියක් බැඳ සිද්ධාර්ථ තෛලය, වාත විදුරංග තෛලය හෝ එඬරු තෙල් ටිකක් යටිබඩේ ගා මඳ රස්නයෙන් යටිබඩ තැවීමෙන් හටගත් වේදනාව අඩුවී යයි.

මූත්‍රාශයට සම්බන්ධ ක්‍රම කීපයකටම ආශ්මරී නැතහොත් මුත්‍රගල් ඇතිවීමට හැකියාව පවතී. මෙසේ ඇතිවන සමහර ගල් ශරීරයට කිසිදු වේදනාවක් ඇති නොවන අයුරින් ආශ්මරි කොටස මොළොක්කර දියකර හරින්නට පිළිවන එමෙන්ම පවතින ගල් කුඩා කොටස් කර හරිනට ද පුළුවන. මේ සඳහා දෙනු ලබන බෙහෙත්වලින් කිසිදු අතුරු ආබාධයක් පවා ඇති නොවේ. මුත්නේමරී රෝගය දැන සුළුකොට නොතකා දැඩි සැලකිල්ලක් දැක්විය යුතු වන්නේ මුත්‍රා පද්ධතියේ ගල්හටගැනීම නිසා මුත්‍රා නාළ පද්ධතියේ ඇතිවන තදබල වේදනාවට මුල්වන ගල් සිරවීමයි. මේ නිසා වකුගඩුවේ මුත්‍රා පෙරීම අඩාළ වී වකුගඩුව ඉදිමීමට පවා සිදුවේ. එහි ප්‍රතිඵය වන්නේ වකුගඩුව ක්‍රියාවිරහිත වීමට පවා හැකි තත්ත්වයක් පැවතීමයි. යම් හෙයකින් මේ තත්ත්වයට නිසි ප්‍රතිකාරයක් නොලැබුණහොත් වකුගඩු දෙකම ඉදිමීමෙන් ඇතිවන තත්ත්වය භයානක විය හැකිය.

 

මූත්‍රා අඩස්සිය

 

මුත්‍රාගල් රෝගී තත්ත්වයේදී සමහරවිට මුත්‍රා අඩස්සිය පවා ඇතිවිය හැකිය. එවැනි අවස්ථාවලට ලක්වුවහොත් වෛද්‍ය උපදෙස් ලබාගැනීම වඩාත්ම සුදුසුය. තවද අලුකෙසෙල් ගසකින් අලුකෙසෙල් අලයක කෑල්ලක් ගෙන පිරිසුදුකර කොටා මිරිකා අලුකෙසෙල් ඉස්ම ටිකක් ගෙන එනසාල් කුඩුකර දොඹගෙඩියක් පමණ ගෙන කෙසෙල් ඉස්මෙන් අනා කා එළකිරි බීමෙන් සහනයක් ගෙන දේ. මුත්‍රාශයේ තද වේදනාවක් දැනෙන විට වැල් මී, ඉඟිනි ඇට, සුදුහඳුන් ටික ටික ගෙන තැඹිලි වතුරෙන් අඹරා එම වතුරෙන්ම දියකර බීමෙන් ගුණයක් ඇති වේ. කතුරු මුරුංගා මුල් තම්බා පෙරාගත් එම වතුර සාමාන්‍ය රස්්නයෙන් බීමෙන්ද බෙලිමුල්, රණවරා මුල් තම්බාගත් වතුර ගිතෙල් දමා බීමෙන්ද වේදනාව නැතිව යයි.

මූත්‍රාශයෙන් ලේ පිටවන බවක් පෙනෙන්නේ නම් ඒ ගැන වෛද්‍යවරයකුට පවසා ප්‍රතිකාර ගැනීම වඩාත්ම සුදුසුය. ආශ්මරී ශරීරය තුළ හටගෙන ඇති බව දැනෙන විට මුත්‍රාවල දුර්ගන්ධය උණ, අරුචිය, වමනය හා අපහසුවෙන් මුත්‍රා පිටකෙරෙන බව දැනෙයි. වාතය නිසා හටගන්නා වූ ආශ්මරී තත්ත්වයේ දී රෝගියා බලවත් සේ වේදනාවට පත්වේ. වෙව්ලන තත්ත්වයක් ඇතිවේ. මුත්‍රා බැහැර කිරීමටද මහත් වෙහෙසක් දැනේ. පිත නිසා හටගන්නා වූ ආශ්මරිය කොට්ටන් සමාන යැයි සඳහන්ය. සෙම නිසා හටගන්නා වූ ආශ්මරිය ඉඳිකටුවලින් අනින්නාක් මෙන් වේදනාවකින් පීඩා විඳී.

දරුවන්ට පිත්තාශයේ ගල් ඇතිවීමෙන් මුත්‍රා පිටකිරීමේ දී ඇතිවන අපහසුතාවය මුත්‍රා අඩුවෙන් පිටකිරීම හා එම අවස්ථාවේදී ඇතිවන වේදනාවද මුත්‍රා කරන විට ඇති වන දැවිල්ල ද දරාගත නොහැකි තදබල වේදනාවකින් සිදුකිරීමත් දරුවන්ට මහත් දුකක් ගෙන දෙන්නකි. මෙවැනි තත්ත්වයකට පත් දරුවකු සිටී නම්, වහාම දරුවා ආයුර්වේද වෛද්‍යවරයකු වෙත ගෙන ගොස් ප්‍රතිකාර ලබාදිය යුතුය.

 

 

බත්තරමුල්ල පැලවත්ත

රාජපුර වෙද මැදුරේ

ප්‍රධාන ආයුර්වේද වෛද්‍ය

සුමිත් එම්. පී. රාජපුර

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.