වර්ෂ 2024 ක්වූ December 13 වැනිදා Friday
දේශීය වෙදකම හා සබැඳි හෙළ රජවරු
පාසල හැරී මල්ලි සමඟ ගෙදරට ආ නදීෂා අම්මා අම්මා කියමින් ගෙට ගොඩවූයේ මහත් කලබලයෙනි.
ඒ ඇසූ අම්මා එළියට ආවේ මොකද දරුවෝ කියමිනි. නදීශා අම්මේ ටීචර් කිවුව සඳුදා පාසලට එනකොට හෙළ වෙදකම දියුණු කිරීමට හෙළ රජවරුන්ගේ සේවය ගැන කරුණු දැනගෙන එන්න කියල ඒ ගැන මුකුත්ම දන්නෙ නැහැනේ. අම්මා ඕක ප්‍රශ්නයක් කරගන්න එපා තාත්තා ආවාම කියල තාත්තත් එක්ක වෙද මාමා ළඟට ගිහිල්ල කරුණුූ දැනගන්න.
නදීෂා - තාත්තා එන්න රෑ වේවිද? අම්මා නැහැ දරුවො දැන් එනව ඇති. මල්ලී සුපුන්, අක්කේ තාත්තා එනවා. තාත්තා ගෙට ආ විගස ප්‍රශ්නය කියූ නදීෂා තාත්තා සමඟ වෙද මාමා හමුවීමට ගිියෝය.
වෙදමහතා - සුනිල් මහත්තය මොකද අද දෝණිත් එක්ක සුනිල් මහතා දූට වෙදමාමාගෙන් කරුණු වගයක් දැනගන්න අවශ්‍යලු. ඒකයි එයත් එක්කම ආවෙ
වෙද මහතා- මොනවගේ කරුණුද? නදීෂා වෙද මාමෙ අපේ පන්තියේ ටීචර් කිවුව හෙළවෙදකම දියුණුවට හෙළ රජවරු කළ සේවය දැනගෙන එන්න කියල. වෙදමාමා - බොහොම හොඳයි. බොහොම හොඳයි. වර්තමාන දරුවන් බොහෝවිට හෙළ වෙදකම වගේම හෙළ වෙද රජවරු ගැනත් දන්නෙ නැහැනේ. මේ වගේ වටිනා වෙදකමක් ගැන දරුවන් දැනුම්වත් කිරීම ගැන එතුමියට ප්‍රශංසා කළ යුතුයි.
හෙළවෙද රජු
ක්‍රි.පූ. 337 - 365 කාලයේදී රාජ්‍ය පාලනය කළ බුද්ධදාස රජතුමා සෑම අතින්ම දක්ෂතා දැක්වූ වෙද රජතුමෙකි. ගමින් ගමට රෝහල් පිහිටුවමින් වෛද්‍යවරුන් ලබා දෙමින් එතුමා සෞඛ්‍යාරක්ෂාව වෙනුවෙන් දැඩි මෙහෙයක් කළේය. සාරාර්ථ සංග්‍රහය නමින් වෛද්‍ය ග්‍රන්ථයක් මේ රජතුමා පාලි භාෂාවෙන් ලියා ඇත. දිනක් බුද්ධදාස රජතුමා ස්නානය සඳහා තිසා වැවට යද්දී තුඹසක් අසල නාගයකු වැතිර සිටිනු දැක සොයා බලද්දී නාගයා උදර රෝගයෙන් පෙළෙන බව දැක නාගයාගේ උදරයේ තිබූ ගෙඩිය පළා නාගයා සුවපත් කොට ඇත. නාගයාගේ උදරය පළා බෙහෙත් ගල්වා සුවපත් කිරීම නිසා එම නාගයා නාගමාණික්‍ය රජුට ගැනීමට දී ඇත. රජු එම නාග මාණික්‍යය අභයගිරි විහාරයේ ශෛල්‍යමය ප්‍රතිමාවේ නේත්‍ර කළ බව ඉතිහාසගතව හා ඓතිහාසික තොරතුරුවලින් පෙන්වාදී ඇත.
වෙදහල් හා ආරෝග්‍ය ශාලා
නදීෂා, වෙදමාමෙ ගොඩක් රජවරු වෙද හල් හා රෝහල් ඉදිකළ බව කියනවා නේද?
වෙද මාමා - ඔව් පණ්ඩුකාභය රාජ්‍ය සමයේදී තමයි රෝගීන් නවතා ප්‍රතිකාර කිරීමේ විශේෂ මධ්‍යස්ථාන හඳුනාගනු ලැබුවේ. මිහින්තලේ දෙවන චේතිය රජු රෝහලක් ඉදි කළේය. පණ්ඩුකාභය සහ පස්වන කාශ්‍යප රජවරු අනුරාධපුරයේ වෛද්‍ය මධ්‍යස්ථානයක් ඉදිකළෝය. පළමු වන උදය රජුගේ කාලයේදීත් පුලස්ති නගරයේ ඒ කියන්නේ පොලොන්නරුවේ විශාල රෝහලක් ඉදිකරන ලදි. බුද්ධදාස වෙද රජු ක්‍රි.ව. 262 -109 ධාතුසේන රජු 460 -478 දෙවන උපතිස්ස රජු යන රජවරුන් කොරුන්, අන්ධයින්, සඳහා රෝහල් ඉදිකරන ලදි. ප්‍රථම වතාවට මාතෘ නිවාසයක් පිහිටුවා ඇත්තේ දෙවන උපතිස්ස රජු විසිනි. හතරවන කාශ්‍යප රජතුමා නගරයේ විවිධ තැන්වල ඖෂධ ගෙවල් ඉදිකරන ලදි.
මිහින්තලේ රෝහල
සුනිල් මහතා - වෙද මහත්තයො අපේ පැරණිම රෝහල මිහින්තලා රෝහලද? වෙදමහතා - අපේ පැරණිම රෝහල තමයි මිහින්තලා රෝහල. ලෝකයේම පැරණිම රෝහලයි. හතරවන මහින්ද රජු ක්‍රි.ව. 956 කාලයේදී සියලුම රෝහල්වලට ඖෂධ සහ ඇඳන් බෙදා දෙනු ලැබීය. වෙදහල් දහඅටක්ම දුටුගැමුණූ රජු විසින් කරවා ඇත. බෙහෙත් ඔරු ඉදිකොට ඒ තුළින් රෝගීන් සුවපත් කිරීමේ ක්‍රමවේදයක් ද සකසා ඇත. අපේ රජවරු මිනිසුන්ට පමණක් නොව සතුන්ටද ආරෝග්‍යශාලා ඉදිකොට සතුන් සුවපත් කිරීමට කටයුතු කළහ. පළමුවන උපතිස්ස රජතුමාද කොරුන්, අන්ධයින්, ගර්භිණී මාතාවන්ට මෙන්ම වෙනත් රෝගීන් සඳහාද ආරෝග්‍ය ශාලා හා දානශාලා පිහිටුවමින් විශාල සේවාවක් කළ රජ කෙනකි.
ආරෝග්‍යශාලා වෙදහල් කරවමින් ඒවායෙහි නඩත්තු කටයුතු සඳහා ගම්වර වෙන් කරමින් කටයුතු කළ රජකු ලෙසද මෙරජු ඉමහත් සේවාවක් සිදුකරන ලදි. පොලොන්නරුවේ හා පදවියේ විශාල රෝහල් ඇතිකරමින් ඒවා බෝවන හා වසංගත රෝගීන් සඳහා වෙන් කරමින් සියලු අවශ්‍යතා සපුරාලන ලදි. එමෙන්ම හතරවන මහින්ද, හතරවන කාශ්‍යප යන රජවරු වසංගත සඳහා වෙනමම රෝහල් ඉදි කළහ. අනුරාධපුර ප්‍රදේශයේ නොයෙක් ස්ථානවල වෙදහල් පිහිටුවූ පස්වන කාශ්‍යප රජු වගේම පළමුවන පරාක්‍රමබාහු රජතුමා පොලොන්නරුවේ මහා ගිලන්හලක් ආරම්භ කළ අතර ජනතාවට දිවා රෑ නොබලා එහි සේවය ලබා දීමටද පියවර ගෙන තිබුණි.
අනුරාධපුරයේ හා පොලොන්නරුවේ
නදීෂා - වෙදමාමෙ රජවරු ගොඩාක් දෙනා දේශීය වෙදකම නඟාසිටුවීමට කටයුතු කර තිබුණේ අනුරාධපුරේ සහ පොලොන්නරුවට නේද?
වෙදමාමා - ඔව්. අනුරාධපුරේ දියුණු තත්ත්වයක තිබුණූ වෙදකම පොලොන්නරු අවධිය වන විට තවත් දියුණුූ වී ඇත. මහා පරාක්‍රමබාහු රජතුමා සියගණන් රෝගීන් නවත්වා බෙහෙත් කරන ආරෝග්‍යශාලා තැනවූ බවත් රෝගීන්ට ආහාරපාන දිවා රෑ ලබා දෙමින් එක් එක් රෝගීන්ට එක් උපස්ථායකයකු බැගින් යෙදුවූ බවත් සඳහන් වේ. එවැනි සේවාවක් කිරීමට තරම් උනන්දුවක් දක්වන ලද්දේ මහා පරක්‍රමබාහු රජතුමාද ආයුර්වේද වෙදකමෙහි නිපුණ අයකු වූ බැවිනි. ක්‍රි.පූ. දුටුගැමුණුූ යුගය ලංජතිස්ස රජ දවස, වළගම්බා රජ දවස, මහසෙන් රජ දවස ආයුර්වේදය දියුණුූව පැවැති යුග බවට බොහෝ සාධක ඇත.
දෙවන පෑතිස් රජු මිහින්තලා කඳු පාමුල ආයුර්වේද රෝහලක් පිහිටුවමින් සෞඛ්‍යාරක්ෂිතව වැඩපිළිවෙළක් ඇති කළේය. එය ඉතිහාසයට එක්වූ ප්‍රථම රෝහල බවටද පත්ව ඇත.
බත්තරමුල්ල පැළවත්ත
රාජපුර වෙද මැදුරේ
ප්‍රධාන ආයුර්වේද වෛද්‍ය
සුමිත් රාජපුර
සටහන - බී. ඇල්. පේ‍්‍රමරත්න