වර්ෂ 2024 ක්වූ October 11 වැනිදා Friday
අංශභාගය
අංශභාගය (Stroke) යනු ඕනෑම කෙනෙක් විඳීන්න අකමැතිම රෝගී තත්වයක්. අංශහාගයට ගොදුරු වන රෝගීන් බොහෝ දෙනකුට ජීවිත කාලයම එක්තැන්ව ඇඳකට වී කාලය ගෙවීමට හෝ ප්‍රතිකාර කළත් බොහෝ කාලයක් දුක් විඳ කිසිම සුවපත්වීමක් නැතිව මරණයට පත්වීමටත් සිදුවේ.
මේ නිසා රෝගියා සහ ඔහුගේ නිවැසියන් ද සමාජ වටපිටාව ද පීඩාවට ලක් කරන රෝගයක් ලෙස අංශභාගය රෝගය හඳුන්වා දෙන්න පුළුවන්.
අංශභාගය හැදෙන්නේ කොහොමද?
මිනිස් සිරුරේ පාලක මධ්‍යස්ථානය වන මොළය සහ ස්නායු පද්ධතිය ආශ්‍රිතව හට ගන්නා රුධිර නාළිකා අවරෝධය නිසා අංශභාගය ඇතිවේ. මෙහිදී බොහෝ විට සිදුවනුයේ මොළය අභ්‍යන්තරයේ ඇති සියුම් රුධිර නාලවල ලේ කැටියක් සිර වීම නිසා ඇතිවන අවහිරයෙන් රුධිර ගමනාගමනය අඩාල වී මොළයේ සියුම් සෛල විනාශවී යාමයි.
තවද මොළයට රුධිරය ගෙන යන රුධිර නාළ ආශි‍්‍රතව ඇතිවන අවහිරතාව නිසා මොළයේ රුධිර පීඩනය ඉහළ ගොස් සියුම් රුධිර නාළ පිපිරීමට ලක්වීම ද අංශභාගයට හේතු වෙයි.
මේ හේතුවෙන් ශරීරයේ එක් පැත්තක් අප්‍රාණික වී කි‍්‍රයාකාරීත්වය නැතිවී යන්න හෝ හිරිවැටීමකට ලක්වීමට පුළුවන්.
අංශභාගයට හේතු මොනවාද ?
අධි රුධිර පීඩනය, කොලොස්ටරෝල් සහ දියවැඩියාව වැනි රෝග තත්තව, දැඩි මානසික ආතතිය, රිය අනතුරු, උසකින් ඇද වැටීම වැනි කරුණු ගණනාවක් අංශභාගයට හේතු වෙයි.
ඒ විතරක් නොවේ දුම් පානය, ව්‍යායාම අඩුකම, අධික මත්ද්‍රව්‍යය භාවිතය, කලින් ඇතිවූ අංශභාග තත්ත්ව, රුධිර ඝනත්වය වැඩිවීම මෙන්ම වයස හා ජානමය හේතු ද මේ සඳහා බලපායි.
අංශභාග රෝග ලක්ෂණ මොනවාද?
අතක, කකුලක මුහුණේ හෝ ශරීරයේ එක් පැත්තක ඇති දුර්වලතාවයක්, කතාකිරීමේ අපහසුව හෝ ගොතයක්, පෙනීමේ දුර්වලතාවය, කලන්තය, කැරකිල්ල හෝ සමබරතාවයේ ගැටලුවක්, හදිසියේම ඇතිවෙන ෆිට් එක, තදබල හිසේ කැක්කුම, මළමුත්‍ර නොදැනීම පිටවීම ආදී ලක්ෂණ දක්නට ඇත.
අංශභාගයට අවදානමක් ඇති බව කලින් හඳුනාගත හැකිද?
නිතර ඇතිවන හිසේ කරකැවිල්ල, හිසේ බර ගතිය සහ ඇතිවී නැතිවී යන ක්ලාන්ත ගතිය ඇතැම් විට අංශභාගයේ මූලික ලක්ෂණ විය හැකිය.
එමෙන්ම ඇස් රතුවීම හා ඇස් කුඩාවී පෙනීම අඩුවීම, නිතර කන්වල හෝ ගානා ශබ්දය දැනීම, මාංශ පේශීන්වල ඇතිවන ගැස්ම, අත්පා හිරි වැටීම, ශාරීරික දුබල බව, කල්පනාව අඩුවීම, ඇවිදින විට විසිවෙන ගතිය ඇතිවීම, නිතර නිදිමත ඇතිවීම වැනි ලක්ෂණ ද අංශභාගයේ පූර්ව ලක්ෂණ විය හැයිය.
විශේෂයෙන්ම අධික රුධිර පීඩනය, දියවැඩියාව හෝ කොලෙස්ටරෝල් වැනි රෝගයන්ගෙන් පෙළෙන පුද්ගලයකු නම් පූර්ව රෝග ලක්ෂණ ගැන සැලකිලිමත් වීම ඉතා වැදගත් වන අතර හැකි ඉක්මනින් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු වීම මඟින් රුධිර කැටි ඇතිවීමෙන් සිදුවන අංශභාග තත්ත්වය අවම කරගැනීමට හැකිවනු ඇත.
අංශභාගය සුවකළ හැකිද?
සමහර අවස්ථාවල පැය කිහිපයක අකි‍්‍රයතාවයකින් පසු ශරීරය යථා තත්ත්වයට පත්විය හැකි නමුත් රුධිර ගමනාගමනය අඩාළ වීම නිසා ඇතිවන අංශභාග තත්ත්වය එසේ ක්ෂණිකව සුව නොවන අතර, ඒ සඳහා දීර්ඝ කාලින ප්‍රතිකාර හා ව්‍යායාම් අවශ්‍ය වේ.
අංශභාග රෝගය සඳහා ආයුර්වේද ප්‍රතිකාර සඳහා වැඩි නැඹුරුතාවයක් දක්නට ඇත. එහිදී ස්නායු කි‍්‍රයාකාරිත්වය වැඩිදියුණු කිරීම සඳහා අභ්‍යන්තර ප්‍රතිකාර හා බාහිර ප්‍රතිකාර ලබා දෙන අතර බාහිර ප්‍රතිකාර ක්‍රම යටතේ තෙල් ගා ඖෂධ පොට්ටනිවලින් තැවීම, ශිරෝධාරා, ශිරෝ වස්ති වැනි පංචකර්ම චිකිත්සක කර්මද සිදුකරනු ලබයි.
රෝගය ඇතිවීම වළක්වා ගන්නේ කෙසේද?
මෙම රෝග තත්ත්වයෙන් වැළැකීම සඳහා ජීවන රටාව සහ ආහාර රටාවට විශාල මෙහෙයක් කළ හැකිය. සීනි, ලුණු සහ තෙල් අඩංගු ආහාර අඩුකිරීම හා ස්ථුලභාවයට හේතුවන පිටි සහිත ආහාරවලින් වැළකීම අංශභාග රෝගයෙන් වැළකීමට උපකාරී වේ.
කඩල, කොල්ලු, රතු සහල් වැනි ධාන්‍යය ද රතු තම්පලා, පුහුල්, තිබ්බටු වැනි එළවළු ද, ගස්ලබු, උගුරැස්ස, නෙල්ලි වැනි පලතුරු ද නැවුම් හා සෞඛ්‍යාරක්ෂිත ලෙස ආහාරයට ගැනීම ද අංශභාග රෝගයෙන් ආරක්ෂා වීමට උපකාරී වේ.
මානසික ආතතිතයෙන් තොරව දිවි ගෙවීම, දිනපතා සුවබර නින්දක් ලබා ගැනීම, නිසි පරිදි ශාරීරික ව්‍යායාම්වල නිරතවීම ද මේ සඳහා වැදගත් වේ.
දියවැඩියාව, අධික රුධිර පීඩනය හා කොලෙස්ටරෝල් සඳහා නිසි ප්‍රතිකාර ලබා ගැනීම, දුම්පානය, මත්ද්‍රව්‍යය වැනි අංශභාගයට අත වනන පුරුදුවලින් වැළකීමත් අත්‍යාවශ්‍ය කරුණුය.
එච්. ඒ. මධුශානි ප්‍රසංගිකා
හෙද නිලධාරිනී ජාතික ආයුර්වේද රෝහල
කොළඹ