ඔබත් ඉරුවාරදයෙන් පීඩා විඳීනවාද

අගෝස්තු 11, 2023

ඉරුවාරදය යනුවෙන් හඳුන්වන්නේ කුමක්ද?

ඉරුවාරදය එහෙමත් නැත්නම් Migraine කියන්නේ ඔක්කාරය, වමනය, සහ ආලෝකයට සංවේදී වීම යන රෝග ලක්ෂණ සමඟ හටගන්නා තදබල හිසරදයක් ලෙස හැඳීන්විය හැකය. එම හිසරදය පැය 4 සිට දින 3 ක් දක්වා කාලයක් අඛණ්ඩව පැවතිය හැකිය. ඉර උදාවත්ම ආරම්භ වී ඉර මුදුන් වන විට වේදනාව උග්‍ර වී ඉර බැසයන විට ක්‍රමයෙන් අඩුවී ගෙන යාම මෙම රෝගයේ සාමාන්‍ය ස්වාභාවයයි.

ඉරුවාරදය ඇතිවීමට හේතු මොනවාද?

මොළයේ හටගන්නා ඇතැම් වෙනස්කම් මේ සඳහා ප්‍රධානව බලපාන අතර පරම්පරාවෙන් පරම්පරාවට ගමන් ගන්නා ඇතැම් ජාන නිසාත් හටගත හැකිය.

එමෙන්ම, ඇතැම් අයට අධික වෙහෙසකර බව, දීප්තිමත් ආලෝකය සහ කාලගුණ වෙනස්වීම් නිසා ද ඉරුවාරදය හටගැනීම උද්දීපනය වේ.

ඉරුවාරදය හට ගැනීම සඳහා බලපා සාධක මොනවාද?

මානසික ආතතිය ඉරුවාරදය හට ගැනීම සඳහා බලපාන ප්‍රධානතම සාධකවලින් එකකි. කැෆේන් අඩංගු ආහාර පාන අධිකව ගැනීම සහ කැෆේන් අඩංගු ආහාර පාන නිතර ගනිමින් සිට එකවරම නැවැත්වීම ද මේ සඳහා හේතු ලෙස දැක්විය හැකිය.

චීස්, ඇල්කොහොල්, නයිට්‍රේට් වැනි ඇතැම් ආහාර ආකලන සහ මොනෝසෝඩියම් ග්ලූටමේට් (ර්ඉට්) ද ඉරුවාරදය හට ගැනීම සඳහා හේතුවේ. කුණාටු, තද සුළං වැනි කාලගුණය සහ පරිසර වෙනස්කම් ආදියත් ඉරුවාරදය හටගැනීම උද්දීපනය කරයි.

ඒ වගේම ඔසප්වීම, හෝමෝන වෙනස්වීම්, ආහාර වේල් මඟඇරීම, ආහාර ගන්නා වෙලාවල් වෙනස්වීම හා අධික වෙහෙසකර බව, නිදිවැරීම ද ඉරුවාරදය ඇතිවීමට හේතු විය හැකය.

ඉරුවාරදයේ ලක්ෂණ මොනවාද ?

හිසේ එක් පැත්තකින් හටගන්නා තදබල හිසරදය, ඔක්කාරය හා වමනය, ආලෝකයට, ශබ්දයට සහ ගන්ධයන්ට සංවේදී වීම, ආහාර අරුචිය, උදරාබාධ, කරකැවිල්ල, වෙහෙසකර බව, පෙනීම බොඳවීම, දියර ලෙස මළපහ පිටවීම මෙහි ප්‍රධාන ලක්ෂණ ලෙස හැඳීන්විය හැකිය. මීට අමතරව නොරුස්නා ගතිය, ඈනුම් යාම, සිරුරට දැඩි සීතලක් හෝ උණුසුමක් දැනීම හා සම සුදුමැළි වීම ඇතිවිය හැකිය.

ඉරුවාරදය කල් තියා හඳුනාගත හැකිද ?

ඉරුවාරදය ඇතිවීමට පැය කිහිපයකට කලින් පෙර නිමිති ලෙස නිවි නිවී දිලෙන තරු වැනි දෙයක් ඇස් ඉදිරිපිට පාවීම, දෘශ්‍ය පථයේ අඳුරු ලප පෙනීම, පෙනීම බොඳවීම, කණ තුළ අසාමාන්‍ය නාදයන් ඇසීම, කරකැවිල්ල ආදී ලක්ෂණ ඇතිවේ.

ඉරුවාරදයට ප්‍රතිකාර මොනවාද

වේදනානාශක මඟින් හිසරදය පාලනය කරගත හැකි වුවත් ඉරුවාරදය ස්නායු පද්ධතියට අයත් රෝගයක් බැවින් සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකුගෙන් ප්‍රතිකාර ලබාගැනීම අත්‍යාවශ්‍ය වේ. ආයුර්වේදයට අනුව මේ රෝගය සඳහා සුදුසුම ප්‍රතිකාරය ලෙස සැලකෙන්නේ නස්‍ය කර්මය වුවත් ශීර්ෂ අභ්‍යංග, ශිරෝධාරා, ශිරෝවස්ති යන ප්‍රතිකාර වලින්ද ඉරුවාරදය මඟහරවා ගත හැකිය. ඒ වගේම ප්‍රතිකාර ලබාගන්නා අතරතුර පිළිපැදිය යුතු උපදෙස් හරියාකාරව ක්‍රියාත්මක කළ යුතුය.

හිසේ වේදනාව පාලනයට කළ හැකි යමක් වේද?

සිසිල් රඳවන නළල මත තබාගෙන සිටීම මඟින් හිසේ වේදනාව සමනය කරගත හැකිය. ගෙලෙන් ඉහළ ප්‍රදේශයට උණු වතුර වාෂ්ප ඇල්ලීම හා උණු වතුරෙන් තැවීම මඟින්ද හිසරදය යම්තාක් දුරට පාලනය කරගත හැකිය. ඒ වගේම ඉරුවාරදය හැදීගෙන එනවිටම ප්‍රතිකාර ලබාගත යුතුය.

ඉරුවාරදය වළක්වා ගැනීමට ගත හැකි ක්‍රියාමාර්ග මොනවාද?

ඉරුවාරදය හටගැනීම උද්දීපනය කරන සාධක හඳුනා ගෙන ඉන් වැළකීම ඉතා වැදගත් වේ. තද අව් රශ්මියට විවෘත නොවී සිටිය යුතු අතර අව්වෙන් ආරක්ෂා වීමට කුඩයක් භාවිත කිරීම, අව් කණ්ණාඩි පාවිච්චි කිරීම සුදුසුය. පරිගණක තිරයක් ඉදිරිපිට වැඩිපුර කාලයක් ගත කරන්නේ නම් තිරය සඳහා ආරක්ෂිත ආවරණයක් භාවිත කිරීම මෙන්ම වරින් වර දෑස් දුර ඈත ඇති වස්තූන් වෙත යොමු කිරීම කළ යුතුය.

ජංගම දුරකථන, රූපවාහිනී වැනි ඩිජිටල් තිර දෙස වැඩි වෙලාවක් බලා සිටීමෙන් වළකින්න. ආහාර වේල් නියමිත වෙලාවට සැලකිලිමත්ව ගැනීම සහ කුසගින්නේ නොසිටීම, නුසුදුසු ආහාර පාන වලින් වැළකීම. විජලනය වීම නිසාද හිසරදය ඇතිවිය හැකි බැවින් ප්‍රමාණවත් තරම් ජලය පානය කළ යුතුය. තවද, වෛද්‍යවරුන් නියම කළ ඖෂධ නිසි පරිදි ගැනීම, රාත්‍රී කාලයේ ප්‍රමාණවත් සුව නින්දක් ලැබීම, මානසික ආතතිය පාලනය කිරීම සහ වැස්සේ නොතෙමීමත් මෙම රෝගයෙන් වැළැකී සිටීම සඳහා වැදගත් වේ.

 

 

එච්. ඒ. මධුශානි ප්‍රසංගිකා

හෙද නිලධාරිනී

ජාතික ආයුර්වේද රෝහල කොළඹ

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
12 + 8 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.