දරුවාගේ හිස වැදී ගෙඩි ගැහිලා නම්...

ජුනි 23, 2023

පුංචි දරුවන් සිටින මව්වරුන් නිතරම මුහුණ දෙන භයානක අත්දැකීමක් වන්නේ දරුවා වැටීම නිසා හිසේ ගෙඩි ගැසීම් තත්ත්වයන් ඇති වීමයි. මෙවැනි අවස්ථාවලදී දරුවන් වගේම වැඩිහිටියොත් දැඩි ලෙස බියට පත්වන අතර මේ අවස්ථාවේදී මව්වරුන් කලබල නොවී හොඳ අවධානයකින් කටයුතු කිරීම මඟින් දරුවාට වන හානිය අවම ගන්න හැකියාව ලැබේ. එබැවින් යම්කිසි අනතුරකින් දරුවාගේ හිස ගෙඩි ගැසීමට ලක්වුණොත් මවක් විදියට සැලකිලිමත් විය යුතු කරුණු පිළිබඳව මෙම ලිපියෙන් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වේ.

මිනිස් හිස්කබල වටා පවතින සම ශරීරයේ සාමාන්‍ය සමට වඩා බොහෝ රුධිර නාලවලින් සමන්විත වන අතර ඒ හේතුවෙන් සුළු අනතුරකදී පවා රුධිර නාල පුපුරා ලේ ගැලීමක් සිදු විය හැකිය. ලේ ගැලීම නතර වීමෙන් පසු වේදනාවක් සහිතව අතට අහුවෙන රතු හෝ නිල් පැහැති ගෙඩියක්/ ගැටිත්තක් ආකාරයෙන් දැකිය හැකි වන අතර සිදුවුණු අනතුර අනුව එහි විශාලත්වය වෙනස් වේ.

කුඩා දරුවන්ගේ හිසේ අස්ථි මෘදු මෙන්ම ප්‍රත්‍යස්ථභාවයකින් යුක්ත බැවින් අනතුරකදී දරුවන්ගේ අස්ථි සුළු වශයෙන් නැමීමකට ලක්වී දරුවාගේ මොළය අනතුරුවලින් ආරක්ෂා කරයි. වැඩිහිටියකුගේ හිස තදින් යමක ගැටුණොත් අස්ථිවලට හානි වීමට ඉඩ ඇති නමුත් දරුවකුට එවැනි තදබල අනතුරක් සිදු වීමේ ප්‍රවණතාවය අවමය. මෙවැනි අවස්ථාවකදී මේ කරුණු ගැන සැලකිලිමත් වීම ඉතා වැදගත් ය.

දරුවාව සන්සුන් කරගන්න.

ගෙඩි ගැසී ඇති ස්ථානය තද කිරීමෙන්, මිරිකීමෙන් වළකින්න. එවැනි අවස්ථාවක අභ්‍යන්තර රුධිර ගැලීමක් තිබුණොත් එය වඩාත් ත්‍රීව්‍ර වීමට එය හේතුවක් විය හැක.

අයිස් වතුරෙන් විනාඩි 10-15 ක් තවන්න. මෙවැනි අනතුරකදී සිදු කළ හැකි මූලිකම පිළියම වන්නේ අයිස් වතුර ස්වල්පයක් පිරිසිදු රෙදි කැබැල්ලකින් පොඟවා ගෙන ඉතාමත් මෘදු ලෙස ගෙඩි ගැසී ඇති ස්ථානය තැවීමයි. මෙමඟින් දරුවාට දැනෙන වේදනාව අඩුවනවා සේම අභ්‍යන්තර රුධිර ගැලීමක් තිබේ නම් ඒ තත්ත්වයද අවම වී ඉදිමීම බොහෝ දුරට අඩු වේ. සීතල ජලය සොයා ගන්නට හැකියාවක් නැත්නම් මේ සඳහා සාමාන්‍ය ජලය භාවිතා කළ හැකි අතර දවසට හතර පස් වරක් පමණ මේ ආකාරයට සිසිල් ජලය මඟින් මෘදුව තවන්න.

සැලකිය යුතු කරුණක් නම් පුංචි දරුවන් සිටින මව්වරුන් හදිසි අවස්ථාවකදී ප්‍රයෝජනයට ගැනීම සඳහා ජලයෙන් පෙඟවූ පිරිසුදු තුවායක් පිරිසිදු භාජනයකට දමා ශීතකරණයේ පහළ කොටසේ තබා ගැනීම ඉතා වැදගත්.

නීල්්‍යාදී තෛලය පෙඟවූ ගෝස් කැබැල්ලක් ගැටිත්ත මත තබා බැන්ඩේජ් පටියකින් වෙලා තබන්න. ගෙඩිය මතුපිට සුළු සීරීම් තුවාලයක් නම් පමණක් සීතෝදක තෛල යොදන්නට හැකිය. එහෙත් කිසිවිටෙකත් තැලුම් තෙල් නොයෙදීමට වග බලාගන්න. එය දරුවන්ගේ හිසට යොදන තෛලයක් නොවේ. මෙවැනි අනතුරකින් පසු දරුවන් නිදි කිරීමෙන් වළකින්න. අවදිකර තබන්න. පැය 48 ක කාලයක් තුළ දරුවා පිළිබඳව වඩාත් විමසිල්ලෙන් පසුවන්න. මෙහිදී, හිසේ කැක්කුම, වමනය දැමීම, වේගයෙන් සහ අක්‍රමවත් ලෙස හුස්ම ගැනීම, දරුවා අලසව සහ අපහසුවෙන් සිටීම, අසාමාන්‍ය නිදිමත, ආලෝකය දෙස බැලීමේ අපහසුව, ක්ලාන්තය/ කරකැවිල්ල ඇතිවීම, නොනවත්වා හැඬීම, ඇවිදීම අපහසුවීම පිළිබඳව වඩාත් සැලකිලිමත් විය යුතුය.

අනතුර හේතුවෙන් හිස අභ්‍යන්තරයට යම් බරපතළ ගැටලුවක් සිදුවී ඇත්නම් ඒ පිළිබඳව යම්කිසි අවබෝධයක් ලබා ගැනීම සඳහා දරුවා පිළිබඳව විමසිල්ලෙන් සිටීම ඉතා වැදගත් වන අතර එම කාලය තුළ මෙම වෙනස්කම් පෙන්වයි නම් නොපමාව ළඟම පිහිටි රෝහලට දරුවා ඇතුළත් කිරීම සුදුසුය.

කුඩා ප්‍රමාණයේ ගෙඩියක් සාමාන්‍යයෙන් සතියක් සති කිහිපයක් යන විට නැතිවී යන අතර රුධිර කැටිය තරමක් විශාල නම් පසුකාලයක රුධිර කැටිය ශරීරයට උරා ගැනීම සම්පූර්ණ නොවී කැල්සියම් ලවණ තැන්පත් වී කුඩා ගැටිත්තක් ලෙස ඉතිරි වීමට ඉඩ ඇත. එසේම බාහිර තුවාලයක් හෝ වෙනත් කිසියම් හේතුවක් නිසා එම ගැටිත්ත පැසවීමට ලක් වුණොත් එය සුළු ශල්‍යකර්මයක් මඟින් පිරිසිදු කිරීමට සිදුවේ.

මුහුණ ඉදිරිපස හෝ නළලේ ඇතිවන ගෙඩි තරමක් දරුණු බවින් අඩු වන නමුත් කන දෙපස කනට ඉහළින් සහ පිටුපස ඇති වන ගෙඩි ගැසීම් ටිකක් භයානක වන බැවින් මේ පිළිබඳව හොඳ අවධානයකින් යුක්ත වීම දරුවාට සිදුවන අනතුරේ බරපතළ බව අවම කර ගන්නට උපකාරී වේ. ගෙඩි සෙන්ටිමීටර් තුනට වඩා විශාල වීම හෝ ඇස් වටා, කන පිටුපස ලේ ගලා ගොස් ඇත්නම් වහාම වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කළ යුතුයි.

දරුණු ලෙස හිස වැදීමකින් අභ්‍යන්තරයට සිදුවන හානිය නිසා ඇතැම් විට දරුවාගේ දෑත් දෙපා අප්‍රාණික වීම, දීර්ඝකාලීන කථන ආබාධ හා ශ්‍රවණ ආබාධ වැනි ස්නායු ආබාධ ඇතිවිය හැකි නිසා මෙවැනි තත්ත්වයන්ගෙන් දරුවා ආරක්ෂා කර ගැනීම මෙන්ම එවැනි අනතුරකදී නිවැරදි ප්‍රථමාධාර ලබාදීමත් ඉතා වැදගත් ය.

හිස පැලී තුවාල වී ඇත්නම් අයිස් තබා රුධිර වහනය නවතා පිරිසිදු රෙදි කැබැල්ලකින් තුවාලය හොඳීන් ආවරණය කරන්න. වහාම වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවන්න. තුවාලය තුළ ගල් කැබලි/වීදුරු කටු හෝ වෙනත් ඝන දව්‍ය ඇත්නම් ඒවා ඉවත් නොකර හැකි ඉක්මනින් වෛද්‍යවරයා හමුවන්න.

එච්. ඒ. මධුශානි ප්‍රසංගිකා

හෙද නිලධාරිනී

ජාතික ආයුර්වේද රෝහල

කොළඹ

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.