ආහාර රටා හා මාත්‍රා

දෙසැම්බර් 30, 2022

ආහාර නොමැතිව කිසිවෙකුට ජීවත් විය නොහැකි ය. පෝෂ්‍ය පදාර්ථයන්ගෙන් සපිරි සමතුලිත ආහාරය සිරුරේ ප්‍රාණවත් බව, පුෂ්ටිමත් බව ශරීර බලය බුද්ධිමත් බව සතුට මෙන්ම නීරෝගිමත් බව යනාදිය ලබා දේ. ආහාරය විධිමත් ලෙස නොගැනීම නිසා බොහෝ රෝග ඇති වේ. එසේම අප ගන්නා ආහාර රටාවේ මනා ශික්ෂණයක් ඇති කර ගැනීමෙන් බොහෝ රෝග ඇතිවීම වළක්වාගත හැකිය.

එදිනෙදා අප ගන්නා ආහාරය ගත සිත පිනවන ලෙස සකස්වීම අවශ්‍ය වේ. පි‍්‍රය වර්ණය, පි‍්‍රය ගන්ධය හා පි‍්‍රය රසයකින් යුත් පෝෂ්‍යදායි ආහාරය සිරුර මනාසේ පෝෂණය කරයි.

අප ගන්නා ආහාර රටාවේ හුරු කළ යුතු නිවැරදි පිළිවෙත්

විශේෂ රෝගාබාධ නොමැති විට දිනපතා උදෑසන කොළ කැඳ වීදුරුවක් පානය කිරීමට හුරුවන්න.

සැහැල්ලු ආහාරයක් උදෑසන ගැනීම සුදුසුය. ඒ සඳහා ආප්ප, ඉඳිආප්ප, පාන්, ධාන්‍ය වර්ග තෝරා ගත හැකිය.

උදෑසන ආහාර ගැනීමට පෙර මල මූත්‍ර වේග පහ කර දත් පිරිසුදු කර, මුහුණ සෝදා පිරිසුදු වීම කළ යුතුය.

දහවල් ආහාරය සඳහා බර ආහාර වන බත් කොස්, මස්, මාංශ, බිත්තර තෙල් සහිත ආහාර සුදුසුය.

අප ගන්නා වූ ප්‍රධාන ආහාර වර්ග සාමාන්‍ය උණුසුමින් යුක්තව ගැනීම සුදුසු වේ. ඉන් ආහාර ජීර්ණය පහසු කරයි.

පෝෂ්‍ය ගුණය මෙන්ම ඖෂධීය ගුණයෙන් යුත් දේශීය එළවළු පලා හා පළතුරු ආහාර වේලට එක්කර ගැනීම නීරෝගී බව ඇති කරයි. ඒවා නම් එළබටු, කරවිල, තුඹ කරවිල, කැකිරි, රාබු, කොහිල අල, නෙළුම් අල, ගොටුකොළ, කුතරුමුරුංගා, ගැටතුඹ, සාරණ, අගුණකොළ ,අඹ, දිවුල්, වෙරළු, පේර, නාරං බෙලි යනාදිය.

 

ආහාර රටාවේ අත්හල යුතු වැරැදි පිළිවෙත්

 

මාළු සමඟ එළකිරි මී පැණි උක්හකුරු සහිත ආහාර එළකිරි සමඟ ඇඹුල් රස පළතුරු වර්ග, කුකුල් මස් සමඟ මුදවපු කිරි සමඟ ඉදුණු කෙසෙල් ගෙඩි මේවා එකට ගැනීමෙන් රෝග ඇතිවීමට ඉඩ ඇත.

උෂ්ණාධික, සැර අධික ආහාර වර්ග නිතර ගැනීම විවිධ හමේ රෝග මෙන්ම වෙනත් රෝග සඳහාද හේතු වේ.

කෘත්‍රිම ක්‍රම යොදා ඉදවූ පලතුරු ගැනීම තුළින් මේවායේ ස්වාභාවික රසය නොපවතී.

කෘතිම රසකාරක වර්ණක හා රසායනික ද්‍රව්‍ය යොදා සකස් කළ ආහාර ගැනීම

පිසීමෙන් පසුව කල් ගත වූ අපිරිසුදු පිළුණු ආහාර ගැනීම මෙවිට විෂ තත්ත්ව සිරුරේ හටගෙන විවිධ රෝග ඇති කරවයි.

එකම රසයකින් යුතු වූ ආහාර නිතර ගැනීම මෙහිදී පැණි රස නිතර ගැනීමෙන් පසු කලකදී මධුමේහය වැනි රෝග හට ගත හැකි වේ.

ආහාර මාත්‍රාව හෙවත් ගත යුතු ප්‍රමාණ

ආයුර්වේදයේ ආහාර ගත යුතු ප්‍රමාණය නිශ්චිතව දක්වා නැත. සෑම පුද්ගලයකුම එක් එක් වයස් මට්ටම් අනුව ගත යුතු ආහාර ප්‍රමාණය තමා විසින් ආහාර ගැනීමෙන් ලැබෙන අත්දැකීම් අනුව හඳුනා ගත යුතු වේ. සරලව ගත් කළ ආහර මාත්‍රාව නම් බඩගින්නේ තරමට සරිලන ආහාරයයි. මෙහිදී ආමාශයෙන් අඩක් ඝන ආහාරද හතරෙන් එකක් ද්‍රව ආහාරද ඉතිරි හතරෙන් එක හිස්ව තැබීමද කළ යුතුය.

අප ගන්නා ආහාර මාත්‍රානුකූල දැයි හඳුනාගත හැකි ආකාරය

ප්‍රමාණවත් ආහරයක් ගත් පසු උදරයේ බර බව පපු ප්‍රදේශයේ අපහසු බව, දෑලවර (ඇල්පත්හි) වේදනා ඇති නොකරයි.

ශාරීරික ක්‍රියාවන් පහසුවෙන් කළ හැකි වේ. ශාරීරික ඉන්ද්‍රියයන් ප්‍රබෝධමත් වී කුසගින්න හා පිපාසය සංසිඳේ. ප්‍රමාණවත් ආහාරය කිසි විටක උදරයේ පීඩා ඇති නොකරයි.

ආහාර රටා

පි‍්‍රයමනාප හා පිරිසුදු ස්ථානයක සිට ආහාරගැනීම ප්‍රසන්න මනසකින් යුතුව ආහාර ගැනීම, සිනාසෙමින් කථාකරමින් ආහාර නොගැනීම

ආහාර පිළිබඳ අවධානයකින් ආහාර ගැනීම සුදුසුය. සෑම විටම ආහාර මාත්‍රාව පිළිබඳ සැළකිළිමත් විය යුතුය. එක් ආහාරයක් ගෙන ඊළඟ ආහාරවේල ළංවන විට පළමු ගත් ආහාරය ජීර්ණය වි කුසගින්න ඇති වූ පසුව ආහර ගැනීම සුදුසුය.

ඉතා ඉක්මනින් ආහාර ගැනීමත් ගත් ආහාර දිරවා අවසන්වීමට පෙර ආහාර ගැනීමත් නුසුදුසුය. මෙවිට ආහාර වැඩිපුර ගැනීමෙන් ජීර්ණය හොඳින් සිදු නොවී වමනය, අජීර්ණය, අතීසාරය වැනි රෝග ඇති කරයි.

ඉතා හෙමින් බොහෝ වේලා ආහාර ගැනීමෙන් සිරුරට අවශ්‍ය පෝෂණය නොලැබේ. මෙවිට රක්තහීනතාවය මාන්දම පාණ්ඩුව හා විවිධ වාත රෝග ඇති කරයි.

කාර්ය බහුල අද සමාජයේ මෙහි දක්වා ඇති ලෙස පිළිපැඳීම අපහසු වුවද නීරෝගිවත් ජීවිතයකට සුදුසු ආහාර රටාව මෙයම බව දක්වයි. නිවැරැදි ලෙස ආහාර නොගැනීම මාත්‍රානුකූලව පිළිනොපැදීමත් නිසා සිරුරේ රෝගි බව තමා විසින්ම ඇති කර ගනු ලබන්නකි.

 

උපදෙස් වෛද්‍ය නන්දා කස්තුරිආරච්චි

සටහන ජයන්ති කුරේ

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
6 + 12 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.