ශීතල සමඟ පැතිරෙන සෙම්ප්‍රතිශ්‍යාව

දෙසැම්බර් 16, 2022

 

ලොවෙහි ඇති උතුම්ම සැපත නීරෝගිකමය. අපි අපට හිතවත් අය වෙත හදවතින්ම ප්‍රාර්ථනය කරන්නේ නිදුක් නීරෝගි ජීවිතයක්ය. මේ දිනවල පවතින රෝග අතරින් බහුලව දක්නට ලැබිය හැකි රෝග අවස්ථාවකි සෙම්ප්‍රතිශ්‍යාව.

 

නීරෝගි දිවි පැවැත්මක් සඳහා අපට සහය වනුයේ අප ගන්නා දෛනික ආහාරයයි. ආහාර ලෙසින් ගන්නා ද්‍රව්‍යවල අඩංගු මූලික අමුද්‍රව්‍ය පෝෂක ද්‍රව්‍ය ලෙස හඳුන්වන අතර, පෝෂණ ගුණයෙන් අනූන සමතුලිත ආහාර වේලකින් ශරීරයට අවශ්‍ය සියලුම පෝෂ්‍ය පදාර්ථ ලැබෙන අතර, ඉන් මනා සෞඛ්‍ය තත්ත්වයක් පවත්වාගෙන යාමටද හැකියාව ලැබේ. සෙම්ප්‍රතිශ්‍යාව ගැන අද විමසා බලමු.

මේ දිනවල පවතින සෙම්ප්‍රතිශ්‍යාවේ රෝග ලක්ෂණ නම්, තද හිසරදය, සෙම්ප්‍රතිශ්‍යාව බොහෝ දෙනාට හුස්ම ගැනීමේ අපහසුතා, කැස්ස මෙය සාමාන්‍ය කැස්සට වැඩිය බඩේ මාංශපේශිවල වේදනාව ඇති වේ. ඇඟේ පතේ වේදනාව, ඔක්කාරය, උගුරේ තුªවාල ගතිය සමඟ සමහර අයට ඇස් කසන ගතිය ද ඇති වේ. සෙම්, සොටු දියර සමඟ අංශු (බිඳිති) මඟින් මේ වෛයිරසය පැතිරෙන නිසා මිනිසුන් රැස්වෙන තැන්වල ගැවසීම සුදුසු නැත. ඉන්ෆ්ලුවන්සාවට අයත් වෛරසයකි.

මෙයින් සිදුවන්නේ කෙළවලින් හා ශ්වසනයෙන් බෝ වන වෛරසයෙන් ආරක්ෂා වීම පවුලේ එක් අයකුගෙන් පැතිරීම වළක්වා ගැනීමට තිබූ අවස්ථාව මඟ හැරී යාමයි. මින් නොනැවතී පවුලේ අය හරහා ඇසුරු කරන අයටත් රෝගය ව්‍යාප්ත වනු ඇත. රෝගය සුව වීමට ප්‍රථම ළමුන් පාසලට යැවීමත්, වැඩිහිටි අය රැකියාවට යාමත් සෙනඟ ගැවසෙන තැන්වල සිට නාසය මුඛය වසා ගන්නේ නැතිව කිවිසුම් යැවීමත් නිසා රෝග කාරකය නීරෝගි අයගේ ශ්වසන මාර්ගයට ඇතුළත් වේ.

ශීතල ආහාරපාන වර්ග ගැනීම හා ඇල් වතුර බීම තවත් හේතු වී ඇත. නෑම හා ඇඟ සේදීම මෙබඳු විටකදී නිව්මෝනියාව වැනි තත්ත්වයක් ඇති කිරීමට රුකුලක් වනු ඇත. දූවිලි සහිත පරිසරයක සිටීමද අහිතකරයි. සිගරට් හා දුම්කුස්සියේ ලිපෙන් පිටවන දුම්ද අහිතකර වේ. සෙම්ප්‍රතිශ්‍යාව හා කැස්ස ඇති අයකු සාමාන්‍ය වේගයට වඩා වැඩි වේගයකින් හුස්ම ගන්නා බව පෙනේ නම්, මිනිත්තුවට වාර 50ට වඩා හුස්ම ගන්නේ නම් හුස්ම ගන්නා විට පපුවේ පහළ කොටස (පර්ශු අතර හිඩැස් ප්‍රදේශය) සාමාන්‍ය පරිදි පිටතට ප්‍රසාරණය නොවී ඇතුළට නෙරන බවක් ඇති වීමත් කිසිවක් බීමට නොහැකි තත්ත්වයක් රෝගියා දක්වන්නේ නම්, නිව්මෝනියා තත්ත්වය විය හැකි බැවින් වහාම වෛද්‍යවරයකු වෙත රෝගියා ගෙන යා යුතුම වේ.

කුඩා දරුවන්ට මෙම තත්ත්වය ඇති නොවීම සඳහා ආසාදනවලින් ආරක්ෂා කර ගැනීමට පිරිසුදු වාතාශ්‍රය හා අවට පරිසරය යහපත් විය යුතු අතර, වයස අවුරුද්දට පෙර ලැබිය යුතු සියලු එන්නත් ලබා දෙන්න. එවිට කක්කල් කැස්ස, ක්ෂය රෝගය, සරම්ප ඇතුළු ශ්වසන පද්ධතියේ සුලබව හටගන්නා දරුණු ආසාදනවලින් ආරක්ෂා වේ.

මව්කිරි දීමත් මනා පෝෂණයකින් දරුවා තබා ගැනීමත් වැදගත් වන්නේ මව්කිරෙන් පෝෂණය වන දරුවන්ට වඩා දෙගුණයක් පමණ පිටිකිරි වැඩි වශයෙන් දෙන ළමුන්ට නිව්මෝනියාව ඇතුළු රෝග වැලඳීමට ඉඩකඩ වැඩි බැවින් කහපාට අඹ, ලාවුළු, ගස්ලබු, තක්කාලි, තද කොළ පැහැති පලා වර්ග ආදියේ විටමින් ඒ සැපයෙන බැවින් නිව්මෝනියාවෙන් ආරක්ෂා වීමට පුළුවන.

කැස්ස හා සෙම්ප්‍රතිශ්‍යාව ඇති සෑම අයකුම මුල් දින කිහිපය (දින දෙකක්වත්) විවේකයෙන් සිටින්න. අධි ශීතල ආහාරපාන ගන්නේ නැතිව දියර වර්ග වැඩි වශයෙන් පානය කරන්න. (කැඳ වර්ග, පලතුරු යුෂ)

ඔබේ සිඟිති දරුවාට වැඩිහිටි ඔබටත් වඩා නිතර නිතර සෙම්ප්‍රතිශ්‍යාව වැලඳෙනු ඇත. ඔබ සුළුකොට තැකූ සෙම්ප්‍රතිශ්‍යාව, වෛරසය ඔබේ නොසැලකිලිමත් බව නිසාම නිව්මෝනියා තත්ත්වයට පත්වීමට ඉඩ ඇත. බහුල වශයෙන් පැතිරී යන ඉන්ෆ්ලුවන්සා වෛරසයෙන් ආරක්ෂා නොවීම නිසා ලංකාවේ ළදරු මරණ හා වැඩිහිටි මරණ සංඛ්‍යාව ඉහළ ගොස් ඇත.

ප්‍රතිකාර

කොත්තමල්ලි, හීං අරත්ත අල, තිප්පිලි, වියළි ඉඟුරු, කුරුඳු පොතු, කටුකරෝසන මේවා තම්බා වතුර බොන්න. පැය හයකට වරක් ගන්න.

සීතාරාම ගුළි නිවුණු උණු වතුරෙන් හෝ බැදපු කොත්තමල්ලි තැම්බූ වතුරෙන් අවුරුදු 12ට වැඩි අය පැය හයකට වරක් ගන්න.

නිතර නිතර ඔක්කාර ගතියක් ඇතිවේ නම් සාදික්කා දෙහි ඇඹුලෙන් ගලගා නවරත්න කල්කයෙන් දිය කර මදටිය ඇටයක ප්‍රමාණයක් ගන්න.

පස්පංගුව තම්බා බොන්න.

බුද්ධරාජ කල්කය, දොඩම් ඉස්ම, ඉඟුරු ඉස්ම, මී පැණි සමඟ මදටිය ඇටයක ප්‍රමාණයක් ගන්න.

කැස්ස වැඩිපුර ඇතිනම් අඬු කෝප්පයකට ඇඹුල් දොඩම් ඉස්ම බාගයක් ගෙන ඉඟුරු ඉස්ම තේ හැඳි 1, මී පැණි මේස හැන්දයි සීනි මේස හැන්දක් දමා වරින් වර බොන්න. දියවැඩියා ඇති අය මේස හැඳි භාගයක් ගන්න.

සෙම්ප්‍රතිශ්‍යව, නිව්මෝනියාව තත්ත්වයට පත්කර නොගැනීමටත් සෙම්ප්‍රතිශ්‍යාව නොවැළඳීමට ඔබ ඔබ ගැනම සැලකිලිමත් වන්න. මනා සෞඛ්‍ය පුරුදු අනුගමනය කරන්න. මේ දිනවල ශීඝ්‍රයෙන් පැතිරී යන සෙම්ප්‍රතිශ්‍යා තත්ත්වය හා උණ රෝගය පිළිබඳ ඔබ සැලකිලිමත් වන්න. ඔබේ දරුවා ආරක්ෂා කර ගන්න.

 

උපදෙස් - වෛද්‍ය, නන්දා, කස්තුරිආරච්චි

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.