වියපත් වන විට වැලඳෙන බෝ නොවන රෝග

සැප්තැම්බර් 23, 2022

වයසට යෑමත් සමඟ බෙහෙවින් වැඩිහිටියන් ගොදුරු වන බෝ නොවන රෝග නිසා ඔවුන් මෙන්ම ඔවුන් ඇසුරු කරන්නන් ද මහත් පීඩාවට පත්වේ. සමහර වැඩිහිටියන්ගේ හිතුවක්කාර ක්‍රියා කලාපය හේතුවෙන් ඔවුන් බෝ නොවන රෝගාබාධවලට ලක්වන බව නිතර නිතර අසන්නට ලැබෙන කරුණුය.

වයසට යෑමත් සමඟ හිතුවක්කාර ලෙස කටයුතු කරන මොවුන්ට දරාගත නොහැකි වැඩකටයුතුවල නිරතවීම නිසාත් වැටීමෙන් හා නොයෙකුත් කැඩුම් බිඳුම්වලට ලක්වීමෙන් ඔත්පල වී ප්‍රතිකාර ගැනීමට සිදුවේ. දූ දරුවන් හෝ ඥාතීන් හෝ දෙන උපදෙස් නොතකා ඔවුන් සීනි, පැණි. පිටි අධික ආහාර පාන කෑමෙන් දියවැඩියාවට ලක්ව සිටියි. මේදය අධික වීමෙන් හා හෘදයාබාධවලට ලක්වීමෙන් ද, රක්තවාතය, මූත්‍රා ආබාධ, මළබද්ධය, පෙනහළු ආබාධ, කන් ඇසීමේ හා ඇස්පෙනීමේ දුර්වලතා, මුඛ හා දන්ත රෝග, අස්ථි රෝග මෙන්ම මානසික රෝගවලින්ද පීඩා විඳිති.

වයසට යෑමත් සමඟ ප්‍රායෝගිකව ද වෙනස්කම් රැසකටම මුහුණ පෑමට සිදුවේ. බොහෝ විට තමන් නොදැනුවත්වම හටගෙන ඇති රුධිර පීඩනය නිසා යම් යම් රෝගවලද අනතුරුදායක තත්ත්වයකට පත්වේ. මේ නිසා කෙසේ හෝ රුධිර පීඩනය ඇද්දැයි සොයා බැලීමට අවශ්‍ය පරීක්ෂණ කරවාගත යුතුය. විශේෂයෙන් දියවැඩියාව නොහොත් මධුමේහය ඇත්නම් කෑම ගැන සැලකිලිමත් විය යුතුය. දියවැඩියාව පාලනය කරනොගතහොත් වන හානිය බොහෝය. එනම් ඇස්, වකුගඩු හා ස්නායු පද්ධතිය කෙරේ බලපාමින් අන්ධභාවය මෙන්ම වකුගඩු අක්‍රීය කරයි. දියවැඩියාව පිළිබඳ ගණන් නොගෙන කටයුතු කිරීමෙන් තුවාලවීම් වර්ධනය වුවහොත් ශරීර කොටස් පවා ඉවත් කිරීමෙන් ආබාධිත තත්ත්වයට පවා පත්විය හැකිය. වයසට යෑමත් සමඟ කැස්ස හට ගැනීම හා සෙම් රෝග තත්ත්වයන් ද ඇතිවේ. දත් වැටීම හා දත් දිරායාම ද වේ. දත් කැක්කුම් හා මුඛ පිළිකාවන්ට ද හේතු වේ.

දත් හිරි වැටීමෙන් හා දත් දුර්වලවීම නිසා ආහාර ගැනීමේදී යම් යම් අපහසුතා ඇතිවේ. මේ නිසා ශරීර සෞඛ්‍ය දුර්වලවීමට හැකිවේ. එමෙන්ම මූත්‍ර පහ කිරීමට අපහසුතා තත්ත්වයක් ඇතිවීමෙන් නොදැනුවත්වම ඇඳ සිටින ඇඳුම් මූත්‍රවලින් තෙත්වන්නේ ඔවුන් නොදැනුවත්මය. වාත රක්තය හේතුවෙන් සමහර වයස් ගතවූවන් ගේ කොඳුනාරටිය දණහිස් අත,පය අක්‍රියත්වයට පත්වේ. මෙය ඔවුන්ගේ දෛනික ක්‍රියාවලයටද මහත් බාධාවක් වේ. වයස්ගතවීමත් සමඟ මලබද්ධය ද ඇතිවේ. මේ නිසා හැමවිටම එළවළු, පලතුරු හා කෙඳි බහුල ආහාර වර්ග ආහාරයට ලබාදිය යුතුය. එසේ දෙනු ලබන ආහාර වේලට ඛනිජ, විටමින් විශේෂයෙන් කැල්සියම් අඩංගු ආහාරයන් ද ලබාදිය යුතුය. වයස අවුරුදු හතළිහෙන් පසු සෑම කෙනෙක්ම කෑම බීමෙන් හා පැවැත්මෙන් පරිස්සම් විය යුතුය. මෙම වයස් සීමාවේදී හෘදයාබාධ, මේදය වැඩිවීම, පිළිකා ආදී රෝගයන්ට බෙහෙවින් අවස්ථාව ඇත.

පිළිකා අවධානමත්, මත්පැන් පානය මෙන්ම නොසැලකිලිමත්භාවය නිසා මෙවැනි රෝගාබාධ රැසක්ම වැලඳිය හැකිය. මුඛ රෝග පවා හට ගන්නේ නොදැනුවත්මය. කාන්තාවන් අතර බහුල ලෙස පියයුරු පිළිකාව හටගැනීමේ තත්ත්වයක් පවතී. මේ කාන්තාවන්ටම කලින් හඳුනාගත හැකි රෝගයි. එමෙන්ම පියයුරු පිළිකාව කලින් හඳුනාගෙන ප්‍රතිකාරවලට යොමුවීමෙන් සුවකරගත හැකිය. මවට පියාට හෝ සහෝදර සහෝදරියකට අන්ත්‍රවල පිළිකාවක් තිබුණේ නම් ඒ ගැන සොයා බලා ප්‍රතිකාරවලට යොමුවීමෙන් යම් සුවයක් ලබා ගත හැකිය. වයස අවුරුදු පනහ ඉක්මවූ විට වැඩියෙන්ම හට ගනු ලබන්නේ සන්ධි ආශි‍්‍රත රෝගයි. සන්ධි ආශි‍්‍රත රෝග වැඩියෙන්ම හටගනු ලබන්නේ කාන්තාවන්ටයි. නිතර වෙහෙස මහන්සිවී ඇවිදින කාන්තාවන් අතර මෙය බහුලව පවතී. දණහිස උකුල සහ වළලු කර සන්ධි ආශි‍්‍රතව බෙහෙවින් මෙම රෝගී තත්ත්වය පවතී.

සන්ධියක අස්ථි අතර ඇති කාටිලේජය ක්‍රමයෙන් ගෙවීයාම නැතහොත් දිරායාම මෙම රෝගී තත්වයන්ට හේතු වේ. නහරගැට ගැසීමත් වයසට යන විට ඇතිවන තවත් රෝග ලක්ෂණයකි. ශරීරයේ ධමනි රුධිර නාළ, ධමනි හා ශිරා යනුවෙන් කොටස් දෙකකි. රුධිරය හදවතේ සිට ශරීරය පුරා බෙදා හරින්නේ ධමනි මඟිනි. ශිරා මඟින් දේහයේ ඇති රුධිරය හදවත දෙසට ගෙන යයි. මෙම ශිරා හා ධමනි අතර සම්බන්ධවන්නේ සිහින්ව අතු බෙදීගිය කේෂ නාළිකා පද්ධතියකිනි. මෙහිදී නහර ගැට ගැසීම ඇතිවන්නේ ශිරාවල. වයසට යෑමත් සමඟ සමද, තුනී බවට පත්වේ. මෙහිදී සම කැසීමට යාම නිසා තුවාල ද ඇතිවේ. එබැවින් සම කසන විට සම මත තලතෙල් හෝ පොල්තෙල් හෝ ගෑමෙන් සුවයක් ලබාගත හැකිය.

ඇඟිලි හිරිවැටීම ද සමහර රෝග සමඟ ඇතිවිය හැකිය. වයස්ගත වූවන්හට ඇතිවන තවත් රෝගී තත්වයකි. අර්ශස්, අර්ශස් ඇතිවීමට හේතුවන්නේ ආවරණවල තිබෙන නහරවල පීඩනය වැඩිවීමෙනුයි. අර්ශස්වලට බලපාන ප්‍රධාන සාධකය වන්නේ බඩ වේලීමයි. බඩ වේලීමෙන් කාස්ටක වීමෙන් මළපහ කිරීමට මහත් අපහසුතාවයක් ඇතිවේ. මේ නිසා අමාරුවෙන් හෝ තටමමින් මළපහකිරීමට උත්සාහ දැරීමේදී නහර පද්ධතියේ පීඩනය වැඩිවීමෙන් ගුද මාර්ගය පිටතට විවරවීම සිදුවේ. එබැවින් අර්ශස් රෝගී තත්ත්වයෙන් තරමක් හෝ වැළකී සිටීමට නම් පලා කොළ වර්ග අලුත් පලතුරු වැනි ආහාර වර්ග වැඩියෙන් ආහාරයට ගත යුතු අතර වැඩිපුර ජලය පානය කිරීමටද පියවර ගත යුතුය.

මොනරාගල සිරිගල ආයුර්වේද වෛද්‍ය මැණික් නේරංජනා හෙට්ටිආරච්චි 
සටහන එස්.එස්.එස්.ප්‍රනාන්දු

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
11 + 7 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.