අපේ ගෙදර වෙද මැදුර

අගෝස්තු 12, 2022

අපේ හැම ගෙදරකම පුංචි ෆාමසි එකක් තියෙනවා. ඒක තමයි ප්‍රථමාධාර පෙට්ටිය. ඒත් එහි තිබෙන්නේ බටහිර බෙහෙත් වර්ගයි. ඉතින් නරකද මෙවන් යුගයක ගෙදර ප්‍රථමාධාර පෙට්ටියේ දේශීය බෙහෙත් වලටත් ඉඩකඩ වෙන්කරන එක. හෙම්බිරිස්සාවකදී, කැස්සකදී, බඩේ අජීර්ණයට , වමනයට, උණකදී භාවිතයට ගත හැකි කෂාය, ගුළි, කල්ක වගේ දේවල් ඔබේ ගෙදර ඖෂධ පෙට්ටියේ පහසුවෙන් තියාගන්ඩ පුළුවන්.

හැබැයි අද කාලේ අලුත් පරම්පරාවේ ගෘහිණියන්ට මේ ගැන හුඟාක් ප්‍රශ්න තියෙනවා. කෂාය තුන්ඩුවේ උපදෙස් අනුව බෙහෙත් හේත් අඳුරන්නේ නැහැ. අද හුඟාක් අය හිතන්නෙ කල්ක කල්තියාගන්ඩ බැහැ කියල නීරෝගිකම අගය කරන පවුලක අම්ම කෙනෙක් නම් ඒවා ගැන දැනුම ලබන්න කාලෙ ඇවිත්.

මේ අනුව පළමුව ඔබේ ප්‍රථමාධාර පෙට්ටියේ තිබිය යුතු අත් බෙහෙත් වර්ග මොනවාදැයි හඳුනා ගනිමු.

සීතාරාම ගුළි, නවරත්න කල්කය, සුරංපිදුර (පත්‍යමය) ගුළි සංඛවටී, වර්තිකා භෂ්මර ලවණ චූර්ණය මේ හැම දෙයක්ම ගෙදරකට තිබිය යුතු අත් බෙහෙත් වර්ග වේ. මේ හැම ඖෂධයක්ම අවුරුදු දෙකක කාලයක් කල් තබා ගැනීමට පුළුවන් නිසා සුළං නොවදින ලෙස ප්ලාස්ටික් භාජනවල අසුරා තබා ගත හැකියි. ඒ වගේම සර්ෂපාදී තෙල කැඩුම් බිඳුම්, වැටීම්, තැලීම්, උළුක්කු ඇති අයට සුදුසු තෙලකි.

සීතාරාම ගුළි

බඩේ අමාරු ඇති අයට ගුළි දෙකක් දෙහි යුෂ සමඟ දවසට දෙවරක් බොන්න. කුඩා දරුවකුට නම් ගුළි 1 ක් ගන්න.

නවරත්න කල්කය

බඩේ අමාරුවට මදටිය ඇට දෙකක ප්‍රමාණයක් අරගෙන දෙහි යුෂ සමඟ බොන්න. කාන්තාවන්ගේ ඔසප් වේදනාවට කොල්ලු තම්බපු වතුර අඬු කෝප්ප භාගයකට මදටිය ඇට දෙකක ප්‍රමාණයක් දමා බොන්න

වර්තිකා

වර්තිකා හිසරදයට ඉතා හොඳයි. වර්තිකා ගුළි දෙකක් උදේ සවස ඉඟුරු යුෂ සමඟ බීමට දෙන්න.

භාෂ්කර ලවණ චූර්ණය

බඩපිපුම (ආම්ලෝද්ගාරය) බඩේ අම්ල ගතිය, උඩට එනවානම් සෝඩා අඬු කෝප්පයකට භාෂ්කර ලවණ චූර්ණය මේස හැඳි 1 ක් දමා බීමට ගන්න.

සංඛ වටී

උණ, හිසරදය හැදුණු අය සඳහා වෙනිවැල්ගැට තම්බපු වතුරෙන් බීමට දෙන්න.

වෛද්‍යවරයෙක් යම් රෝගයක් සඳහා ලබා දෙන ප්‍රතිකාර පද්ධතියේ පත අට එකට සිඳ ගන්නා ලෙස නියම කරන ලද වට්ටෝරු කෂාය ලෙස අපි හඳුන්වමු. එම කෂාය සඳහා ද්‍රව්‍ය එකේ සිට ඕනෑම ප්‍රමාණයක් තිබිය හැකියි.

කෙසේ වුවත් එම ද්‍රව්‍ය ගණන අනුව ලබාගත යුතු කලං හා මංචාඩි ප්‍රමාණය වෛද්‍යවරයා විසින් නියම කරනු ලබයි. එහෙත් කෂාය නිසි පරිදි සකස්කර ගැනීමට අද පරපුරේ බොහෝ දෙනෙක් දැනුවත් නැත. වැඩිහිටියකුගේ කෂායකට වතුර පත අටක් දමා එකට සිඳ ගන්නා ලෙස දක්වා ඇති අතර ළමා රෝගියකුට නම් වතුර පත හතර භාගයකට සිඳ ගැනීම සාමාන්‍ය නීතියකි.

එහෙත් එක් එක් කෂාය අනුව එය වෙනස් විය හැකි ය. අපි තේ බොන අඬු කෝප්පයෙන් එකක් පතකි. අඬු කෝප්ප 8ක් පත 8ක් වේ.

ඒ අනුව නියමිත කෂාය ද්‍රව්‍ය ජලයෙන් සෝදා ගත යුතු අතර සුදුලූනු පොතු හැර ගන්න. රසකිඳ වැල්වල පිට සුඹුල ඉවත් කළ යුතුයි. හාතාවාරිය, ඉරිවේරිය, සුදුලූනු, රසකිඳ වැනි දේවල් අමුවෙන්ම ගත යුතු ය.

අනෙකුත් බෙහෙත් මුල් ආදිය සිහින්ව කපාගෙන සෝදාගත් බෙහෙත් මැටි මුට්ටියක දමා ජලය එකතු කරන්න. ඉන්පසු දර ලිපක තබා මදගින්නේ සිදුවා ගැනීම වඩාත් සුදුසු ය. වෙනත් ඉන්ධන භාවිත කෙරේ නම් අඩු ගින්දර ප්‍රමාණයක් යෙදිය යුතු ය. බඳුන් හැර වෙනත් වර්ගයක භාජන භාවිතා කෙරේ නම් කෂාය සිඳගත් පසුව වෙනත් භාජනයකට ඉවත් කිරීම සුදුසු ය.

අපේක්ෂිත ප්‍රතිඵල අනුව කෂාය සඳහා යොදන අනුපාන සහ එහි ප්‍රමාණය වෙනස් වේ. බොහෝ විට තේ හැඳි භාගය තේ හැන්ද බින්දු 3 - 5 දක්වා අඹ ඇටයක ප්‍රමාණය ගම්මිරිස් ඇටයක ප්‍රමාණය බිලාල වැනි මාත්‍රාවක් වෛද්‍යවරයා නියෝග කරනු ලබයි. බිලාල පාද යනු කෂාය පානය කරන රෝගියාගේ ඇඟිලි තුනකට අසුවන ප්‍රමාණයයි. එබැවින් මෙම නියම මාත්‍රාව වනුයේ රෝගියා තම ඇඟිලි තැනක් යොදාගෙන අනුපාන කෂායට යෙදීමයි. සීනි, මී පැණි, තිප්පිලි කුඩු, එළඟිතෙල්, එඬරු තෙල්, තල තෙල්, සහිඳ ලුණු, පෙරුම්කායම් බහුලව භාවිතා කරනු ලබන අනුපානයන්ය.

කෂායක් සකස් කර ගැනීම සඳහා උපදෙස්

ආයුර්වේද වෛද්‍ය ක්‍රම පිළිබඳ කතා කරන විට කෂාය, ගුළි, කල්ක, නස්න වශයෙන් කාගෙත් මතකයට හැඟෙන වචන කීපයක් ඇත. කෂාය යනු ආයුර්වේද මූලධර්මවලට අනුව රස හයෙන් එකකි. දිවට දැනෙන රස හයක් ඇති බව ආයුර්වේදයේ සඳහන් වේ. ශාකවල මුල් පොතු, ඇට, මද ඒ ඒ ද්‍රව්‍යවල ප්‍රමාණය අනුව කිරා උණුකර සින්දවා ගන්නා විට එම ද්‍රව්‍ය වල ඇති විවිධ රසයන් එකතු වී කෂායක් සකස් වේ.

වාත, පිත්ත, කප් යන තුන්දොස් කුපිත වීමෙන් හටගන්නා රෝගවලට සුදුසු කෂායක් නිවසේ දී වුවද පහසුවෙන් සකස් කරගත හැකිය. කොස් දර වඩාත් සුදුසු ය. මේ සඳහා පොල්කටු දැමීම සුදුසු නොවේ.

කෂාය නියම ප්‍රමාණයට සිඳුවා ගැනීම සඳහා විටින් විට පරීක්ෂා කර බලන්න.

කෂායක් පානය කිරීම

කෂාය පානය සඳහා වෛද්‍යවරයා නියෝග කරනුයේ පත අට එකට සිඳගත් කෂාය පතෙන් භාගයක් වේලකට පානය කරන ලෙසය. උදේ 06.00 සවස 06.00 උදේ 10.00 සවස 2.00 කෑමට පෙර හෝ පසු උදේ හිස් බඩ යනාදී වශයෙන් පානය කළයුතු වේලාව සහ මාත්‍රා වෛද්‍යවරයා නියම කරනු ඇත. මේ සඳහා උදේ සහ සවස පත භාගය බැගින් බීම සුදුසු බව වැදගත් ය. කෂායවල ක්‍රියාකාරිත්වය වැඩිකිරීම සඳහා අනුපාන එකතු කරන අවස්ථාවන් ඇත. යම් කෂායක ගුණ වැඩිකිරීමට උරා ගැනීම පහසු කිරීමට ක්‍රියාකාරීත්වය ඉක්මන් කිරීමට රෝග මර්දනයට අනුපාන යොදනු ලබයි. ඒ සඳහා සීනි, මී පැණි, පෙරුම් කායම් සහිඳ ලුණු, එඬරු තෙල් එක් කෙරේ.

උපදෙස් - වෛද්‍ය

ඩඩ්ලි චන්ද්‍රසේකර

වෛද්‍ය

ස්වර්ණා චන්ද්‍රලතා

සටහන

ජයන්ති කුරේ

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
7 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.