මූත්‍ර පිටවීමේදී මේ අපහසුතා ඔබටත් තිබේද?

මාර්තු 4, 2022

ආයුර්වේදයේ මූත්‍ර පද්ධතිය ආශි‍්‍රතව ඇතිවන රෝග ගණනාවක් දක්වා ඇතත් බහුලව ඇතිවන වේදනාව දාහය සහිතව මූත්‍ර පිටකිරීම නොහොත් ආයුර්වේදයේ දැක්වෙන “මූත්‍රකෘච්ඡ්‍ර” යන රෝග පිළිබඳ අද අපි විමසා බලමු.

මූත්‍ර කුච්ඡු යනු වේදනාව හෝ දැවිල්ල සහිතව මූත්‍ර පිටවීමයි. මෙම වේදනාව හෝ දාහය මූත්‍ර අශ්මරියක් (ගලක්) නිසා ඇතිවීම බහුලව සිදුවේ.

මේ තත්ත්වය ඇතිවීමට හේතු අධික වේගයෙන් දිවෙන වාහනයක බොහෝ වේලා ගමන් කිරීම නිසා මූත්‍ර පිට කිරීමේ අපහසුතාවයක් ඇති වීම සහ ඊට අමතරව අධික වෙහෙස නිසාද මූත්‍ර පද්ධතිය හැලහැප්පීමට ලක්වීම, තෙරපීම හේතු කොට ගෙන වාතාදී දෝෂ කෝපවී ස්නායු මාංශ මේදස්වලට බලපෑම් සිදුවිය හැකිය.

ඇතැම් තීක්ෂණ ඖෂධ ගත් විටත් මූත්‍ර දාහය ඇතිවීම සිදුවීමේදී ශරීරයේ ඇති පිත් දෝෂය කෝප වී මූත්‍ර කෘච්ඡ්‍ර ඇතිවේ. මීට අමතරව අධිකව මත්පැන් පානය කිරීම නිසා ද පිත් කෝප වේ. රක්තය දූෂණය වේ. කෝප වූ රක්තය මුළු සිරුර පුරාම ගමන්කර වකුගඩු හරහා ද ගමන් කරයි. මූත්‍ර ව්‍යුහයේ රෝග හට ගනී.

අධික වශයෙන් මස් වර්ග ආහාරයට ගන්නා අයගේ ශරීරයේ සාන්ද්‍රණය වැඩිය. මේ හේතු දෙකම මූත්‍ර අශ්මරි ඇතිවීමට හේතු විය හැකිය. තවද අඩු ජල පානය ද රක්තයේ අයන සාන්ද්‍රණය වැඩිවීමට හේතුවේ. මෙවිට මූත්‍ර තරලයේ සාන්ද්‍රණය වැඩි වී අයන එකතුවී අශ්මරි ඇති වීමෙන් මූත්‍ර කෘච්ඡ්‍රය ඇති විය හැකිය.

මූත්‍ර පිට කළ යුතු අවස්ථාවේදී පිට නොකර සිටීම නිසා ද (එනම් මූත්‍රවේගය ධාරණය) ශරීරයට අනවශ්‍ය අපද්‍රව්‍ය කොටසක් ධාරණය කිරීමකි. මේ නිසා මූත්‍ර පිටකිරීමේ අපහසුතා ඇතිවූ අවස්ථාවක් පිළිබඳව ඔබටත් අත්දැකීම් ඇත.

විශේෂයෙන් පුරුෂ පක්ෂයට මූත්‍ර කෘච්ඡ්‍රතාව ඇතිවන අවස්ථාවන් වැඩිය. සාමාන්‍යයෙන් වයසට යාමත් සමඟ ඉන්ද්‍රිය පද්ධතියන් සංකෝචය වී විශාල වේ.

මෙය මූත්‍ර මාර්ගය අභ්‍යන්තරයේ දෙපැත්තේ පිහිටා ඇති බැවින් මේ නිසා මූත්‍ර මාර්ගය අවරෝධ වේ. මෙවිට මොවුන් අපහසුවෙන් මූත්‍ර පිට කරන අතර ටික ටික පහවේ. මෙය ශල්‍යකර්ම කළ යුතු අවස්ථාවයි.

තවද පක්ෂාඝාත රෝගීන්ගේ මස්තිෂ්ක ආඝාත ස්නායු ආබාධ නිසා මූත්‍ර කෘච්ඡ්‍රතාවයට පත්වන අතර මෙවිට උපකරණ මගින් (ඛ්චබඩඥඥප) මූත්‍ර බැහැර කරයි.

සුළු දාහයකදී ප්‍රතිකාර

බාර්ලි හෝ තැඹිලි පානය දෙන්න

නෙල්ලි, රසකිඳ හෝ කොත්තමල්ලි පත්පාඩගම් තම්බා බීමට දෙන්න

කොමඩු , පිපිඤ්ඤා වැනි දේවල් නිතරම ආහාරයට ගැනීමත් මූත්‍ර රෝගවලදී ඉතා ගුණදායකය.

ප්‍රතිකාරයේදී මූත්‍ර කුච්ඡ්‍රතාව හටගත් හේතුවට අනුව ප්‍රතිකාර කළ යුතුය. බොහෝ වේලා වාහන වල යෑම වේග ධාරණයට හේතු වේ. මේ සඳහා ප්‍රතිකාරයට යුතුව විශේෂිත වෛද්‍යවරුන් වෙත යොමු කළ යුතු වන අතර ශල්‍ය සාධ්‍ය අවස්ථාවලදී ශල්‍යකර්ම කිරීම ද වැදගත් ය.

මූත්‍රවල අයන සාන්ද්‍රණය වැඩිවී ඇති අවස්ථාවලදී මූත්‍රකාරක ඖෂධ දිය යුතුය.

තද බල දාහයක් පවතී නම්

කොත්තමල්ලි , උක්හකුරු, කුඩුකර සම ප්‍රමාණවලින් තැඹිලි ගෙඩියක වතුරට දමා රාත්‍රියේ තබා උදේ පානය කිරීම ඉතා සුදුසුය. මෙය ශීත කෂාය නම් වේ.

හෝ රණවරා කලං 12 කෂාය සාදා පානය පත 1/2 බැගින් උදේ සවස ගන්න.

වැල්කහඹිලියා කළං 12 කෂාය පානය යෝග්‍ය වේ.


වේදනා සහිතව මූත්‍ර පිටවේ නම්

ගම්මිරිස්, සුදුළූනු, උළුහාල් තම්බා බීමට දෙන්න.

පොල්පලා හා සුදුලූනු සම ප්‍රමාණගෙන කොටා වණ්ඩුවේ තම්බා මිරිකා සීනි එළඟිතෙල් ස්වල්පය බැගින් බීමට දිය හැකිය.

රණවරා ගසේ පස් පංගුව පානය හෝ රණවරා කලං 12 කෂාය සාදා පානය පත 1/2 බැගින් උදේ සවස ගන්න.

වැල්කහඹිලියා කළං 12 කෂාය පානය යෝග්‍ය වේ.

මූත්‍ර අශ්මරියක් නිසා මූත්‍ර වේදනාවට

අක්කපාන මුල් කළං 12 කෂාය පුහුල් දඬු කළං 12 කෂාය ලුණුවර්ණ පොතු කළං 12 කෂාය පානය ඉතා යෝග්‍යය.

අක්කපාන කොළ සලාද ලෙස කෑම ද ඉතා ගුණදායකය.

මූත්‍ර කෘච්ඡ්‍රයේදී තැවීම් වුවද කළ හැක. යටිබඩ ප්‍රදේශයේ තෙල් හා නිකකොළ , එරඬුකොළ, පොට්ටනියකින් හෝ උණුසුම් රෙද්දකින් වුවත් තැවිය හැකිය.

උපදෙස්

වැල්ලම්පිටිය බෙහෙත් ශාලාවේ

ආයුර්වේද කැඩුම් බිඳුම් වෛද්‍ය

ඩඩ්ලි චන්ද්‍රසේකර

සටහන

ජයන්ති කුරේ

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
12 + 5 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.