රුධිරය හා වාතය දූෂණය වීමෙන් හටගන්නා වාතරක්ත රෝගය

පෙබරවාරි 11, 2022

වර්තමානයේ වයස අවු. 50 පසු කළ බොහොමයක් පුද්ගලයන් හට මහත් පීඩාකාරී බවක් ගෙන දෙන රෝගයක් ලෙස වාතරක්ත රෝගය හැඳින්විය හැකි ය . මෙම රෝගය හටගනු ලබන්නේ ශරීරයේ පවතින රුධිරය හා වාතය දෝෂ කෝප තත්ත්වයට හෙවත් දූෂිතභාවයට පත්වීම හේතු කොට ගෙනයි.

 

සමේ කුෂ්ඨ, අත් සහ පාවල ඇඟිලි හිරිවැටීමේ හෝ ඇද වී යාමේ තත්ත්වයන්, විලුඹ ආශි‍්‍රත ප්‍රදාහයන්, ආතරයිටීස් රෝග තත්ත්ව හා අධිරුධිර පීඩනය ලෙසට දීර්ඝ පරාසයක් තුළ මෙම රෝගී තත්ත්වය පවතී. විශේෂයෙන් මෙහිදී රක්තවාතය නිසා ඇතිවන කොලෙස්ටරෝල් සහ අධි රුධිර පීඩනය තත්ත්වයන් සැලකිල්ලට භාජනය කළ යුතු ය .

වාතරක්තයේදී සම මත ඇතිකරන ප්‍රදාහ තත්ත්වයන්ට අමතරව අස්ථින් ඇසුරුකොට ඇතිකරන රෝගී තත්ත්වයන් පවතී. රක්තවාතයට අමතරව එබඳු රෝග ඇතිකිරීමට ආමවාත (රූමෙටොයිඩ් ආතරයිටීස් ) , සන්ධිගත වාතය, වාත කණ්ඨක වැනි අවස්ථා දායක වේ. සමහර අවස්ථාවලදී රක්තවාතය නිසා ආමවාතය හා වාත කණ්ඨක රෝගයන් සෑදීමක් සිදුකරයි.

සාමාන්‍යයෙන් ව්‍යවහාරයේදී මෙය හඳුන්වනු ලබන්නේ රක්තවාතය ලෙසයි. එහෙත් ආයුර්වේද වෛද්‍ය විද්‍යාත්මකව මෙම රෝග තත්ත්වය ” වාතරක්තය ” ලෙසට හඳුන්වයි. එයට හේතුව වත්මන් දූෂිත භාවයට ලක් වූ වාතය ප්‍රමුඛ රක්තය හේතුවෙන් ඇති කරනු ලබන රෝගී තත්ත්වයක් නිසාය. ආහාර පුරුදු, දේශගුණික තත්ත්වයන් වැනි විවිධ හේතු මත රක්ත ධාතුව දූෂණය වීම සිදුවේ. එය රක්ත ධාතුව විවිධ හේතූන් මත කිපියාවූ වාතජ ධාතුව සමඟ එක්ව දේහය පුරා කුෂ්ඨ තත්ත්වයන් සහ සන්ධි වාත තත්ත්වයන් ඇතිකරනු ලබන බව සැලකිය යුතුයි.

ප්‍රතිකාර කිරීමේදී වාතරක්ත හා කුෂ්ඨ යන රෝග දෙකේ වෙනසක් නැති තරම්ය . ආයුර්වේදයේ සඳහන් රත්පිත්, රක්තවාත, වාතරක්ත හා කුෂ්ඨ යන රෝග හතරම නිදාන පූර්ව රූප, ප්‍රතිකාර ආදියෙන් එක සමානය. ඉහත සඳහන් මේ රෝග හතර ඇතිවන්නේ ලෙය දූෂ්‍ය වීම නිසා ය. එසේ නම් ලේ දූෂ්‍ය වීමට හේතුවූ කරුණු නිසා වාතරක්තය හටගන්නා බව කිව යුතුයි.

රෝගය හට ගැනීමට හේතු

ඌෂ්ණාධික පළාත්වල ජීවත්වන අය සෙසු පළාත්වල ජීවත්වන අයට වඩා අතිශයින් මෙම රෝගයට බඳුන්ව පීඩා විඳීයි. උෂ්ණ ශීත වශයෙන් එකිනෙකට විරුද්ධ ආහාර ගැනීම, මස්, බිත්තර, අධික වශයෙන් ලුණු සහ තෙල් සහිත ආහාර ගැනීම සහ දිරවීමට අපහසු ආහාර මෙන්ම ආහාර දිරවීමට කලින් නැවතත් ආහාර ගැනීම, නිතර අජීර්ණ රෝගවලින් පෙළීම, නිරාහාරව සිටීම, රාතී‍්‍ර නිදිවැරීම ,දහවල් නිදාගැනීම, ව්‍යායාමයන්හි නොයෙදීම, ශීත කාමරවල වතුරු බිම් ආශි‍්‍රතව ජීවත්වීම, ශෝක කිරීම, ක්‍රෝධ, භය වැනි මානසික හේතු, නියමිත කාලවල වෙන විරේක කර්ම නොකිරීම නිසා ශරීරයේ සප්ත ධාතු අතුරෙන් රුධිරගත, ති‍්‍රධාතුන්ගෙන් වාතය කෝප වී මේ රක්ත වාත රෝගය හටගැනීමට ප්‍රබල ලෙස බලපායි.

එපමණක් නොවල අධික වශයෙන් ලවණ, අම්ල කටුක හා උෂ්ණ ගුණයෙන් යුතු ආහාර එනම් අච්චාරු, බිලිං, අඹ, අන්නාසි, විනාකිරි වලින් සෑදූ ආහාර, බලමාළු, ඉස්සෝ, කකුළුවන් , තක්කාලි, කෙලවල්ලන්, දැල්ලන් වැනි ආහාර ගැනීම. කෘත්‍රීම ආහාර සහ රසකාරක අධිකව යෙදූ ආහාර ගැනීම, ජීරණය කිරීමට අපහසු, තෙල් ඇති මස් හා මාළු වර්ග අධික වශයෙන් ආහාරයට ගැනීම. තිරිගු පිටි අධික ආහාර සහ දිගු කාලයක් යීස්ට් මඟින් පිපීමට ලක්කරන ලද ආහාර අනුභවය ආදිය මෙම රෝගය ඇතිවීමට හේතු වශයෙන් සඳහන් කළ හැකි ය.

කාන්තාවන්ගේ ආර්ථවහරණය තත්ත්වයන් ද ඇතැම්විට වාත රක්ත රෝගය සඳහා බලපෑ හැකි ය . මෙහිදී දේහයේ පැවති හෝමෝන සමතුලිතතාවය එකවර බිඳහෙළීම සිදුවේ. අස්ථි සැකිල්ල ආශි‍්‍රත රෝගී තත්ත්වයන් ඇතිකිරීමට මෙය බලපායි.

තවද අධික ලෙස මත්පැන් හා දුම්පානය කිරීම, මානසික ආතතිය, අධික ආහාර අනුභවය, කුසගිනි නොමැති විටදී ආහාර අනුභවය සහ ආහාර වේල් අතරතුරදී අමතර ආහාර අනුභවය කිරීම, ප්‍රවේණික ස්වභාවය හෙවත් පාරම්පරාවේ ළඟම නෑ කෙනකු වාතරක්තය රෝගයෙන් පෙළීම, ඇල් දිය භාවිතය හෝ ශීත කාලගුණික තත්ත්වයන් ද බොහෝ විට රක්තවාත රෝග තත්ත්වයන් ඇතිවීමට හේතු පාදක වේ.

රුධිරයට අධික වශයෙන් එකතුවන මිහිකාම්ලය හෙවත් යූරික් අම්ලය වකුගඩු ඔස්සේ පෙරීම අවම වී නැවතත් රුධිරය එකතුවීම නිසා රක්ත දූෂණයක් ඇති කරවයි.

ආයුර්වේද වෛද්‍ය විද්‍යාවට අනුව මෙලෙස ඇතිවිය හැකි වාතරක්ත රෝගය ආකාර දෙකකි. එනම්, උත්ථාන වාතරක්තය හා ගම්භීර වාතරක්තය වශයෙනි.

උත්ථාන වාතරක්තය යනු සම ආශි‍්‍රත රෝගී අවස්ථාවකි. බොහෝවිට දණහිසෙන් පහළ ප්‍රදේශයේ සම මත කුෂ්ට රෝගයට සමාන තත්ත්වයක් ඇතිවේ. මෙය ඉතාමත් වේදනාකාරි බවක් ගෙන දෙවයි.

උත්ථාන වාත රෝග ලක්ෂණ

බොහෝ විට දණහිස් සන්ධියෙන් පහළ නිශ්චිත ස්ථානයක කැසීමක් පටන් ගැනීම, පුපුරු ගැසීම සහ සුළු වේදනාවක් සමඟ ටික දිනකින් බිබිලි හටගෙන ඒවා සැරව වලින් පිරීයාම බොහෝ විට දැකිය හැකියි. එසේ බිබිලි හටගත් ප්‍රදේශයේ කැසීම අඩුවී ඉන් පසු ක්‍රමයෙන් දැවිල්ලක් හට ගන්වයි. අනතුරුව සමේ දීප්තිමත් බව වැඩිවී, වේදනාව සහ දැවිල්ල ක්‍රමයෙන් වැඩිවි බිබිලි කැටි සැරව ඉවතට පැමිණීම සිදු කරවයි.

සමහර අවස්ථාවලදී දණහිස් සන්ධියට පහළින් ඉදිමී ඇති ස්ථානය රතු පැහැයට හුරු කළු පැහැයක් ඇතිවී පෙර කී පරිදි සැරව ගැලීමක් සිදු නොවන අතර ඉදිමුණු ස්ථානය තද ගතියකින් යුක්ත බවක් ගනී.

වළළුකරට ඉහළින් අඟල් තුන හතරක ප්‍රදේශයක් කළු වීම හා එම පාදයේ පිටි පතුළ ඉදිමී අනෙක් පාදයට වඩා එම පාදයේ ඇඟිලි ඉදිමීම, මෙහිදි සිදු විය හැකියි. ඊට අමතරව, කකුලේ යටි පතුල් පිපිරීම සහ යටි පතුලේ මැද ප්‍රදේශයේ කුඩා බිබිලි හටගෙන ඒවා ක්‍රමයෙන් පිපිරී තුවාල හටගැනීම පවා ඇති කරයි. මෙවැනි ස්වරූපයක් අතෙහි අල්ල මතත් ඇතැම්විට හට ගත හැකි ය.

මෙම රෝගය මතුවීමෙන් පසු යටි පතුල් පැලීමකට ලක් වී වේදනාව මුසු දැවිල්ලක් හටගැනීමක් සිදු කරවිය හැකියි. එහිදී රාත්‍රී කාලයේදි වේදනාව සහ දැවිල්ල වැඩි වශයෙන් දැනේ. මෙම රෝගී තත්ත්වය සඳහා ඖෂධ ගැනීමේදි කාලයකදී සුවය ලැබුණ ද ඉදිමී පැවති ස්ථානවල සම තට්ටු වශයෙන් ගැලවී යාමකට ලක්වේ.

උත්ථාන වාත රක්ත රෝගයේදී ඇතැම්විට උණ සමඟ හිසරදය පවා ඇතිවිය හැකිය. පිටවන මුත්‍ර ප්‍රමාණය අඩුවිය හැකි අතර මූත්‍ර තද වර්ණයක් ගනී. අධික ලෙසට දහදිය දැමීම සහ හිසරදයක් පවතී.

උත්ථාන වාතරක්තය මඟින් කකුල් පැලීම සඳහා අත් බෙහෙත් කිහිපයක් මෙසේයි.

1.අමුකහ දෙහි ඇඹුලින් අඹරා කකුල් පතුලේ ගාන්න. 2.තෝර කොළ ඇල්දියෙන් අඹරා ගාන්න 3.නෙල්ලි රසකිඳ තම්බා බොන්න

රෝගය ඇත්තවුන් රෝගයට ප්‍රතිකාර නිසි ආකාරයෙන් ලබාගන්නවා සේම රෝගය නැති නීරෝගි අය තමන්ගේ ජීවන පැවැත්ම හා ආහාර විහරන පුරුදු නිසි ආකාරයෙන් සිදුකරමින් අනාගතයේදී තමන් රෝගියකු වීමෙන් ද වැළකීමට වග බලා ගත යුතු ය.

ගම්භීර වාත රෝග ලක්ෂණ

වාත රක්ත රෝගය මඟින් ඇති කරනු ලබන අනෙක් රෝග ප්‍රභේදය වන්නේ ගම්භීර වාත රක්ත රෝගයයි. කිපුණු වාතය හා දූෂණය වූ රක්තය මඟින් අස්ථින්හි එක් එක් කොටස්වලට ඇතිකරන අනිටු බලපෑමේ ප්‍රතිඵලයක් ලෙස මෙම රෝග අවස්ථාව මතුකරවයි. සාමාන්‍යයෙන් මැදි වියේදි ආරම්භ වන මෙම වාත රක්ත තත්ත්වය මහලු විය දක්වාම පැවතිය හැකි අතර එය ස්ත්‍රීන් අතර වඩාත්ම ඇති කරවන්නකි.

මෙම රෝග තත්ත්වය මුලින්ම බොහෝ දුරට හටගන්නේ ඇඟිලිවල අස්ථි අතර පවතින සන්ධි හෙවත් ඇඟිලි පුරුක්වලිනි. පසුව කුඩා සන්ධිවල සිට විශාල සන්ධි දක්වා රෝගය පැතිරී යයි. අතේ ඇඟිලි වල පුරුක් සන්ධි වල හිරිබව නැවීමට නොහැකිවීම, සන්ධිවල චලනයේදි ඇතිවන වේදනාව, දැවිල්ල සහ ඉදිමුම් ස්වභාවය හටගන්වයි.

උදෑසන අවදිවූ විට පාදයේ විළුඹේ වේදනාව, දැවිල්ල සහ හිරි වැටීමක් පැවතීම බහුලව දැක ගත හැකි ය. ආහාර අරුචිය බඩ පුරවා දැමීම සහ බැහැර වන මූත්‍ර ප්‍රමාණය අවම වීම පෙන්වයි.

අත සහ පාදයේ කුඩා සන්ධි ආශි‍්‍රතව ඇතිවු වේදනාව සහ දැවිල්ල කෙටි වේලාවක් හෝ මුළු දවස පුරා පවතී. ඉන්පසුව මෙම රෝග තත්ත්වය කෙටිකාලීනව සුව වන හෝ රෝගය පිළිබඳව රෝගියා තැකීමක් නොකර ඖෂධ ලබානොගෙන සිටින විටදී නැවතත් පෙර පැවතියාට වඩා රෝග තත්ත්වය උත්සන්න විය හැකිය. එනම්, ඖෂධ නොගෙන වෛද්‍ය උපදෙස් පිළිනොපදීනම්. ආරම්භයේ දි මුල් අවස්ථාවේදි ඇඟිලි පුරුක් සන්ධි වැනි කුඩා සන්ධිවලින් ආරම්භ වි පසුව දණහිස් සන්ධිය, වැලමිටි සන්ධිය, මැණික් කටු සන්ධිය, උකුල් සන්ධිය හා කශේරුව දක්වාම මෙම තත්ත්වය ව්‍යාප්ත විය හැකිය.

සන්ධි අධික වශයෙන් ප්‍රදාහයට පත්වීම නිසා අස්ථී විකෘති වීම හෙවත් අතෙහි ඇඟිලි සහ පාදය කොරවීම් සිදුවිය හැකිය. එම හේතුව නිසා පඩි පෙළවල් නැඟීම, සුළු බරක් එසවීම, දොරක අගුළු ඇරීම, සහ කාන්තාවකට තම කොණ්ඩය පිරීම වැනි සුළු කාර්යයන් පවා අපහසු විය හැකිය.

කශේරුකා හෙවත් කොඳු ඇට අතර පවතින සන්ධීන්ට බලපෑම් ඇතිකිරීම මඟින් කුදු වීම හෝ උසෙහි අඩුවීමක් ද ඇති විය හැකිය.

දීර්ඝකාලීන ගම්භීර වාතරක්තය සඳහා ප්‍රතිකාර නොගෙන සිටීමේදි සංකූලතාවයන් මතු කරවයි. වාතරක්තය රෝගයේදි වාතය කිපීමක් සිදුවේ. එහිදී වාත ධාතුවේ නෛසර්ගික ගුණයක් වන්නෙ ශීත ගුණයයි. එනම් ශීත තත්ත්වයන් හිදී වාතය කිපීම අධික වී රෝගියා බහුල වශයෙන් පීඩාවට පත්කරයි. වාතරක්තය රෝගීන් අධික වශයෙන් රාත්‍රී කාලයේදි දැවිල්ලට හා වේදනාවට ලක්වන්නේ මෙම කරුණ නිසාය.

ප්‍රධාන ආහර වේල් අතරතුර දී ඔබට අහාර ගැනීම සඳහා තදින් අවශ්‍යාතාවයක් පැමිණුනොත් පමණක් නැවුම් පලතුරු අනුභවය සුදුසු වේ. නමුත් මෙය බොහෝ දුරට අතිඅවශ්‍යතාවයකදී පමණක්ම සිදුකල යුතුව තිබේ.

වාතරක්තය සඳහා ප්‍රතිකාර නොකර දීර්ඝකාලීන වශයෙන් පැවතීමේදී එමඟින් තවත් රෝග තත්ත්වයන් ඇතිවීමක් සිදුවිය හැකිය. ආමවාත රෝගයත් වාතරක්ත රෝගය හා සමාන වන අයුරින් ඇති කරවයි.

ඒ අනුව ආමවාතය රෝගයේදී සන්ධි ආසන්නයේ වේදනාවක් ඇතිකරන අතර වාතරක්තය, රෝගයේදි සන්ධි හෝ සම මතුපිට දැවිල්ලක් සමඟ වේදනාවක් ඇතිකරයි.

ආමවාතය රෝගයේදී පිත්තජ අඩංගු ආමය මඟින් බලපෑමක් ඇතිකරන බැවින් මුලින්ම ශරීරයේ විශාල සන්ධිවලට බලපෑම් ඇතිකරමින් එය කුඩා සන්ධි දක්වා පසුව බලපෑම් ඇතිකරයි. ඒ අනුව මෙහිදී මුලින්ම බලපෑම් ඇතිකරන්නේ දණහිස් සන්ධිය, මැණික්කටු සන්ධිය වැනි විශාල සන්ධිවලින් ආරම්භ වී පසුව ඇඟිලි පුරුක්වල සන්ධි දක්වාම රෝගය ව්‍යාප්ත වේ.

නමුත් වාතරක්තය රෝගයේදී කිපියාවූ වාතය හා දූෂණය වු රක්තය මඟින් මුලින්ම අතෙහි ඇඟිලි පුරුක් හා පාදයෙහි ඇඟිලි පුරුක් වැනි කුඩා සන්ධි මත බලපෑම් ඇති කරමින් පසුව දණහිස් සන්ධිය වැළමිටි සන්ධිය වැනි විශාල සන්ධි කෙරෙහි බලපෑම් ඇතිකරයි.

රෝගයට ප්‍රතිකාර නොකර සිටීමේදී ආමවාතය රෝගයට අමතරව වාතරක්තය මඟින් කොලොස්ටරෝල්, අධි රුධිරපීඩනය , විවිධ ශිර්ෂරෝග. ඉරුවාරදය, අක්ෂි රෝග, අංශභාගය, ඔස්ටියෝ ආතරයිටීස් ආදිය පසුකාලීනව ඇතිවිය හැකිය.

සුදුසු ආහර විහරණ

වාතරක්තය රෝගය ආයුර්වේද වෛද්‍ය විද්‍යාව තුළින් නිට්ටාවටම සුවකළ හැකිය. ඒ සඳහා රෝගියාගේ නිසි ජීවන පැවැත්ම බලපායි. ඒ අනුව අධික උෂ්ණාධික, ආම්ලික ලවණාධික, කටුක ආහාරවලින් වැළකී සිටීම අවශ්‍ය කෙරේ. අප ගන්නා ආහාර මඟින් සප්ත ධාතුව වර්ධනය වීමක් සිදුවන අතර රක්ත ධාතුව ඉන් ප්‍රධාන වේ. ඉහත කී ආහාර ලබාගැනීමෙන් සිදුවන්නේ රක්තධාතුව දූෂණය වීමකි.

කෘතිම රසකාරක යෙදු ලුණු, තෙල් අධික ආහාරවලින් වැළකීම,කුසගින්නට පමණක් ප්‍රධාන වේල් වලදි ආහාර ගැනීම සහ ඊට අමතරව ආහාර ගැනීම සීමාකිරීම (කෑ පිට කෑම නොකිරීම ) කළ යුතුය.

ශරීරයේ බර අඩු කර ගැනීම අවශ්‍යයෙන්ම කළ යුත්තකි. අවේලාවේදි ස්නානය වැළකිය යුතු අතර ශීත කාලගුණය හා ඇල්දියවලින් හැකිතාක් ඈත්වීම වැදගත් ය.

දවස ප්‍රබෝධවත් අයුරින් ගත කිරීමට අවශ්‍ය පසුබිම සකසා ගත යුතු ය. දහවල් නිදා ගැනීම හා රාත්‍රී නිදි වැරීම නොකළ යුතු ය. ව්‍යායාම සිදුකරන කාර්යක්ෂම දෛනික ජීවිතයකට හුරුවිය යුතු ය.

මානසික ආතතිය අවම කරගැනීමට සුදුසු විනෝදාංශයකට හුරුවීම සහ මත්ද්‍රව්‍යවලින් ඈත්විය යුතු ය. අවම වශයෙන් දිනකට ජලය ලීටර දෙකක් පමණවත් පානය කළ යුතු වන අතර අධික වශයෙන් වෙහෙසීම නොකළ යුතු වේ.

පඩි පෙළවල් නැඟීම, කඳු නැගීම, උක්කුටුක ආසනයෙන් සිටීම, අධික බර එසවීම් සිදු කිරීමෙන් වැළකිය යුතු වේ.

තවද,රක්ත ධාතුව පිරිසුදු වීම සඳහා මූත්‍රා කාරක ගුණයක් සහිත එළවළු හා පලතුරු බහුල වශයෙන් භාවිත කිරීම සුදුසු ය. නීරමුල්ල, දියහබරල දළු, තම්පලා, කැකිරි, පිපිඤ්ඤා, වැටකොළු, පතෝල, කිරිඅගුණ, අලුපුහුල්, තිබ්බටු, දියලබු, රණවරා, තෝරකොළ, කරවිල, තුඹ, නෙළුම් අල, සාරණ, ගොටුකොළ කොහිල අල ආහාරයට ගැනීම මෙහි ලා වැදගත් වේ.

මීට අමතරව නෙල්ලි, රසකිඳ, එඬරු මුල් හා වේළිච්ච ඉඟුරු ස්වල්ප වශයෙන් ගෙන තම්බා පානය කිරීම යෝග්‍යදායකය.

 

 

 

දේශමාන්‍ය වෛද්‍ය ප්‍රභාත් සී.ඒ.ගමගේ

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 11 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.