වකුගඩුවලට හානිකර රෝග තත්ත්ව මුල සිටම පාලනය

පෙබරවාරි 4, 2022

වර්තමානයේදී සුලබව වාර්තා වන රෝගී තත්ත්වයක් ලෙස වකුගඩු රෝගය හඳුන්වා දිය හැකිය. එය කාලීන වකුගඩු අකරණිය සහ තීව්‍ර වකුගඩු අකරණිය වශයෙන් කොටස් 02 කි.

කාලීන වකුගඩු අකරණිය යනු දිගු කාලයක් පුරාවට වකුගඩුවේ ඇතිවන ස්ථීර වෙනස්කම් නිසා ඇතිවන තත්ත්වයයි. අද පවතින වකුගඩු රෝගවල ස්වභාවය මත බොහෝමයක්ම කාලීන වකුගඩු අකරණියට අයත් ඒවායි.

ඇතැම් අවස්ථාවල සිදුවන සිදුවීම් හේතුවෙන් තාවකාලිකව වකුගඩුවලට හානි පැමිණේ. එය තීව්‍ර වකුගඩු අකරණියයි. දින කිහිපයක් හෝ සති කිහිපයක් වැනි කෙටි කලක් ඇතුළත දී හට ගැනෙන මෙකී තත්ත්වය බොහෝදුරට වෛද්‍ය ප්‍රතිකාර මත නැවත යථා තත්ත්වයට පත් කළ හැකි වේ.

සමාජයේ බොහෝ පිරිසක් කාලීන වකුගඩු අකරණිය පිළිබඳව දැනුම්වත්ව සිටිය ද තීව්‍ර වකුගඩු අකරණිය ගැන අවබෝධය මඳය.

තීව්‍ර වකුගඩු අකරණියට හේතු

සමහර රෝගී තත්ත්ව වකුගඩුවලට ඍජුවම හානි කරන අතර ඇතැම් අවස්ථාවල දී එක් එක් රෝගී තත්ත්ව රෝගියා කෙරෙහි දක්වන අනුකූලතාව මෙන්ම රෝගියා තුළ පවතින යම් යම් සාධකවල සංකලනය හේතුවෙන් ද වකුගඩුවලට බලපෑම් ඇතිවේ.

උදාහරණයක් ලෙස ශරීරයේ අතිවන ආසාදන මේ සඳහා හේතුවේ. මූත්‍ර ආසාදන, නියුමෝනියාව ඇතැම් විට වකුගඩු ක්‍රියාකාරීත්වයට බලපෑමක් ඇති කරයි. මෙය සාමාන්‍යයෙන් දියවැඩියා රෝගීන් අතර බහුලව දක්නට ලැබේ. මෙවන් ආසාදන සමග හට ගන්නා තීව්‍ර වකුගඩු අකරණිය අවුරුදු 65 ට වැඩි පුද්ගලයන් අතර බහුලය.

මෙම තත්ත්වයේ වර්ධනයට දියවැඩියාව, වයස්ගතවීම වැනි රෝගියා තුළ පවතින අභ්‍යන්තර සාධක ද හේතු වන බව ඔබට කිව යුතුය.

මේ වනවිට ලොව පුරා තීව්‍ර වකුගඩු අකරණිය ඇති වීමේ ප්‍රවණතාව ඉහළ යමින් පවතී. ඇතැම් රටවල දත්තවලට අනූව රෝහල්ගතවන වකුගඩු රෝගීන්ගෙන් 25 % ක් පමණ තීව්‍ර වකුගඩු අකරණියට ලක් වූවන්‍ ය. රෝගියකු මෙම තත්ත්වයට පත්වූ විට මරණීය අවදානම 60 % දක්වා ඉහළ යා හැකි බව ද සමීක්ෂණ වාර්තා පෙන්වාදේ.

තීව්‍ර වකුගඩු අකරණිය ඇරඹෙන්නේ උග්‍ර ආසාදන තත්ත්වය සමගිනි. මෙම ආසාදන මුලින්ම ඇති වන්නේ මූත්‍ර අමාරු, නියුමෝනියාව සහ මොළේ උණ හරහාය. එමෙන්ම මී උණ රෝගය ද මෙයට හේතුවක්ව ඇත. මී උණ වැළඳෙනුයේ මීයන්ගේ මූත්‍ර සමග පිටවන බැක්ටීරියාවක් ශරීරගත වීමෙනි. මෙකී ආසාදන ඍජුවම වකුගඩුවලට බලපෑමක් ඇති කරමින් තාවකාලිකව වකුගඩු ක්‍රියාකාරීත්වයට බාධා පමුණුවයි.

ආසියාතික රටවල් සලකා බැලුවහොත් තීව්‍ර වකුගඩු අකරණියට හේතුවන අනෙක් සාධකය වන්නේ සර්පයන් දෂ්ට කිරීමයි. විශේෂයෙන් තිත් පොළඟා සහ කුණුකටුවා ආදී සතුන් දෂ්ටයෙන් මෙබඳු තත්ත්වයක් ඇතිවේ.

කුඩා දරුවන් අතර ද තාවකාලික වකුගඩු අකරණිය ඇතිවිය හැකිය. ඒ සඳහා වැඩිපුරම බලපානුයේ පාචනයයි. වැඩිහිටි පුද්ගලයන්ටද පාචනය, වමනය, අධික රුධිර වහනය, විශාල පිළිස්සුම් තුවාල වැනි තත්ත්ව යටතේ ශරීරය විජලනයට ලක්වේ. එමගින්ද තාවකාලික වකුගඩු අකරණිය ඇතිවේ.

තවද ඇන්ජියෝග්‍රෑම් පරීක්ෂණය හා සී. ටී. ස්කෑන් පරීක්ෂණවලදී ශරීරගත කරන ඩයි විශේෂ නිසා ද තීව්‍ර වකුගඩු අකරණිය හට ගත හැකිය.

විශේෂයෙන් සුළු වශයෙන් වකුගඩු අකරණිය ඇති පුද්ගලයන්, දියවැඩියා රෝගීන්, ර්ඥබටපථධඪද වැනි ඖෂධ භාවිත කරන්නන් මෙම තත්ත්වය වර්ධනය වීමට ප්‍රථම සැලකිලිමත් විය යුතුය. මෙබඳු පුද්ගලයන් ඇන්ජියෝග්‍රෑම්, සී. ටී. ස්කෑන්වලට ලක්වීමට පෙරාතුව වකුගඩුවේ ක්‍රියාකාරීත්වය නීර්ණය කරන පරීක්ෂණයකට භාජනය වීම සුදුසුවේ.

වකුගඩුවේ ඇතිවන ප්‍රධාන තත්ත්වය ද තීව්‍ර වකුගඩු අකරණියට හේතුවේ. මෙවැනි තත්ත්වයකදී මතුවන රෝග ලක්ෂණ වනුයේ මූත්‍ර සමග ප්‍රෝටීන් පිටවීම, මූත්‍ර සමග අසාමාන්‍ය ලෙස රතු රුධිරානු පිටවීම, අධි රුධිර පීඩනය හට ගැනීම වැනි ලක්ෂණයි.

තීව්‍ර වකුගඩු අකරණියට සඳහා ප්‍රතිකාර

රෝහල්ගතවූ රෝගීන්ගේ මෙම තත්ත්වය මූලික අවස්ථාවේදීම හඳුනා ගැනීමෙන් නිසි වෛද්‍ය ප්‍රතිකාර ලබාදිය හැකිය. ඉහත අවදානම් තත්ත්වයට භාජනය වූ රෝගීන්ට ආසාදන ඇති වුවහොත් මූත්‍ර පිටවන පරිමාව අඩුවීම තීව්‍ර වකුගඩු අකරණියේ එක් ලක්ෂණයකි. මෙවැනි අඩුවීමක් දිගින් දිගටම පෙන්නුම් කෙරේ නම් වහාම වෛද්‍ය උපදෙස් ලබාගත යුතුය.

තීව්‍ර වකුගුඩු අකරණිය බරපතළ ලෙස වර්ධනය වූ විට තාවකාලිකව රුධිර කාන්දුකරණය සිදු කෙරේ. නිවැරදි ප්‍රතිකර්ම හා නිසි වෛද්‍ය උපදෙස්වලට අනූකූලව දින කිහිපයක් හෝ සති කිහිපයක් තුළ ලබාදීමෙන් බොහෝදුරට වකුගඩුව යථා තත්ත්වයට පැමිණේ. එහෙත් ඉතාමත් කලාතුරකින් මෙමවැනි තත්ත්ව යටතේ වුවද වකුගඩුව ස්ථිරවම අකර්මණ්‍ය විය හැකිය. එමෙන්ම මෙම අවස්ථාවේ වකුගඩුව යථා තත්ත්වයට පත්වුවද පසු කාලයේ දී කාලීන වකුගඩු අකරණිය හට ගැනේ.

තීව්‍ර වකුගඩු අකරණිය වළක්වා ගත හැකිද ?

මූලික වශයෙන්ම පාචනය, අධික වමනය, උණ වැනි රෝග ලක්ෂණ ඇති අවස්ථාවලදී විජලනය වළක්වා ගත යුතුයි. මෙවැනි විටෙක විජලනය වළක්වනු වස් ජලය වැඩිපුර පානය කළ යුතු වේ. වමනය තත්ත්වය නොනවත්වාම ඇත්නම් හෝ තදබල ලෙස ඇත්නම් රෝහලක් වෙත යොමු විය යුතුය. විජලනය වළක්වා ගත යුතු විශේෂිත පුද්ගලයෝ සිටිති. එනම් දියවැඩියා රෝගීන්, හෘද රෝග ඇති අය, දැනටමත් වකුගඩු අබාධවලින් පෙළෙන්නන්, අවුරුදු 65 ට වැඩි වයස්ගත වූවන්ය. මෙවන් තත්ත්වයකදී තමන් පිට කරන මූත්‍ර ප්‍රමාණය පිළිබඳව වඩා අවධානයෙන් සිටිය යුතු වේ. එවන් අවස්ථාවලදී ඔබ හැකි පමණ ඉක්මනින් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවිය යුතුය.

 

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.