වර්ෂ 2024 ක්වූ December 20 වැනිදා Friday
ආයුර්වේදයට මිණි පළඟක් බඳු තල්පතේ ලියැවුණු ඔසු කවි
“ ආයුර්වේදය වර්ණනා කොට ඇත්තේ මනුෂ්‍යයාගේ ආයුෂ සම්බන්ධව පමණක් නොවේ.කතා කිරීමේ නොසමත් තිරිසනුන් හා ගස්වැල් පිළිබඳවද ආයුර්වේදයේ බොහෝ දේ විස්තරව ඇත්තේය. “ ගජායුර්වේදය, අශ්වායුර්වේදය, වෘක්ෂායුර්වේදය ” ආදිය එයට නිදර්ශනය.”
“ ලෙඩ සුව කිරීමද, සුවයෙන් සිටින අයගේ සනීපාරක්ෂණයද ආයුර්වේදයේ ප්‍රයෝජනයයි.ආහාරපාන හා හැසිරීම් යම් යම් නියමයන්ට අනූව කිරීමෙන් මනුෂ්‍යයා ලෙඩින් මිදී දීර්ඝ කාලයක් විසීමට සමර්ථ වන්නේ නම් ඒ නියම සියල්ලද රෝගී වූවන්ට යම් යම් පිළියම්වලින් ඒ රෝගයෙන් මිදිය හැකි නම් සියල්ල ආයුර්වේදයේ විස්තර කොට ඇත.”
ඔසු කවි තල්පතට
භාරතයේත් ශ්‍රී ලංකාවේත් කාව්‍යම සංකල්ප මුල්කොට ගෙන සාහිත්‍ය කෘති ගණනාවක් බිහිවිය.ගද්‍ය හා පද්‍යයෙන් ශ්‍රී ලංකාව තුළ ලියැවුණු ආයුර්වේද කෘති හැරුණ විට ඇතැම් පුස්කොළ පොත්වල ලියන ලද ආයුර්වේද කෘති නිර්ණය හා කතුවරයා නිර්ණය කරගැනීම අපහසුය.මෙරට වෛද්‍යවරුද ඔසු පිළිබඳ තොරතුරු ඇතුළත් කෘති රැසක් ලියූහ.බුද්ධදාස රජු සකු බසින් “ සාරාර්ථ සංග්‍රහය ” ලියූ අතර මයුරපාද පිරිවෙන්පති හිමි “ යෝගාර්ණවය ” හා “ ප්‍රයෝග රත්නාවලියද ” දහවන බුවනෙකබා රජ කල මොණරගම්මන හිමි “ රෝග රත්නාකරයද ” ලියූහ.මේ එලෙස ලියැවුණු ඔසුකවි කීපයක් පළිබඳව තොරතුරුයි.
මව්කිරි යහමින් එරීමට ඔසුවක්
වද කහ සිද්දිඟුරු දෙවිදුරු අරළු වම්මුතු මෙහැම
විදි ලෙසින් කළ කසායෙන් පානය කළොත් පැවසුව ලෙස
නොවලසා කිරි මවුන් නව කිරි ඇතිවූ හැම දොස නිතිනි
කිරි නිසා වන ලෙඩක් නැත එම කිරි දැරූ කුමරුණ්ඩ කිරි
කිරිදෙන මවකට මතුවිය හැකි දෝෂ දුරුකර කිරි එරවීමට හැකි ඖෂධීය වට්ටෝරුවක් පිළිබඳව මෙම කවියෙන් කියැවේ.වදකහ, වියළි ඉඟුරු, දෙව්දුරු, අරළු, වම්මුතු යන ඔසු එක්කර සිඳවාගත් කසායෙන් කිරි ඌණතා දෝෂය බැහැර කර කිරි සම්පත් ලැබෙන බව මෙමගින් සඳහන් කර ඇත.
වියළි ඉඟුරු යන්න “ සිද්ධිඟුරු ” කියා කවියා දක්වයි. කුමරුට යන වදන මෙහි නිර්මාණශීලීව “ කුමරුන්ඩ ” යනුවෙන් යොදා ඇත.
බිළිඳුන්ට ඇතිවන රෝගවලට බිළිඳු රාජ ගුලිය
කළුදුරු සූදුරු තිප්පිලි
වැල්මී කොට්ටන් ඉඟුරුද
අරළු බුලුද නෙල්ලිද
ලුනු මිරිස් වද කහ
ඉතා සරල බසින් බිළිඳුරාජගුලිය දැක්වූ ආකාරය කදිමය.කලාඳුරු, සූදුරු, වැල්මී, කොට්ටන්, ඉඟුරු, අරළු, බුළු, නෙල්ලි, රතුළූනු, මිරිස්, කළඳ බැගින් ගෙන ඒ සියලු ඔසු සමබර ලෙසින්ද ගෙන තන කිරෙන් අඹරා මුං ඇට පමණට ගුලිකර බිළිඳු රාජ ගුලිය දීමෙන් බිළිඳුන්ගේ උණ, සෙම් හා උදර රෝග බැහැර කළ හැකි බව මෙම කවියෙන් හෙළි කරයි.මිරිස් යනුවෙන් වෙද වදනින් දක්වා ඇත්තේ ගම්මිරිස් වලටය.
කුස තුළ මියගිය දරුවකු ප්‍රසූතිය පහසු කිරීම සඳහා
වේලි පරිත්තිය
කායම් පෙරුමන්
බඩයට කොඳු පෙකනිය
කල මළකුණ පහවී
මෙම කවියෙන් පෙන්නුම් කළේ මළ දරුවකු ගැබෙන් පහ කරන ඔසුවකි.ගැබිනි මවගේ කුස ඔත් දරුවකු මිය ගියේ නම් වේළී පරිත්ත මුල්, පෙරුම්කායම් හා සමග ගෙන තන කිරෙන් අඹරා පෙකණියේද යටි බඩේද කොන්දේද ගෑ කල මළකුණ පහවන බව මෙම කවියෙන් කියවේ.මෙම කවියේදී “ කායම් පෙරුමන් ” යන්නෙන් දැක්වූයේ “ පෙරුම්කායම් ” ගැනය.එය ප්‍රෙහේලිකාත්මක තේරවිලි ගණයේ කාව්‍ය සම්ප්‍රදායට අයත් වූවකි.පෙකනිය ගෙන යන්න “ පෙකනිය වටා ” යන අදහසයි.
පිළිස්සුම් තුවාල වලට
කෝමාරිකා අක්මැල්ල යුෂත්
ගෑවොත් ගුණවෙයි දාලා ගිය
වතුසුදු මුල් මී කිරි අඹරා
ගිතෙලින් ලේපය නැත දාගිය
කෝමාරිකා හා අක්මැල්ල යුෂද වතුසුදු මුල් මීකිරි හා අඹරාගෙන ගිතෙල් මුසු ලේපය කළ විට දාගිය තැන සුවවන බව මෙයින් හඟවයි. යුෂ යන සකු වදන යෙදූ කවියා පද වහරේ රිද්ම රටාවට අනුගත වන සේ “ කෝමාරිකා ” යනුවෙන් හඳුන්වයි.
ගුල්ම රෝගයට
කරඳ දෙව්දුරු කොල්ලු වන පුල් කකුළුඟුද සතකුප්ප
නොවද එකකුන් සමයෙ කසයේ දසරු ලාමය
සුඟුද එහි පොඩි’ කරන පැණියෙන් කළොත් දෙවරු
ලියද තම මන්තරය ගුල්මන් නසා ආයුෂ
ගුල්ම රෝගය සඳහා කරඳ, සූදුරු, මහදුරු, කොල්ලු, වනපුල්, කැකුළු, කුප්පමේනිය, පානියන් වැල් හා උක් පැණියෙන් අඹරා පානය කිරීමෙන් ගුල්මය නැතිවන බව කවෙන් පැහැදිලි කර දෙයි.
කුකුළුඟු යනු ළා උක්ය.සුඟු යනු මේරූ කළු උක්ය.ඒවා මිරිකා යුශ මුසු කිරීම ගැනද මින් කියැවේ.
ළදරුවන්ගේ කිරි මැලියම් රෝගයට
අරලු පුවක් කෝමාරිකා ද මේ
යහපත් ලෙස ගලගා ඔසු
මුකයත් දිව මුල ලේප කළෝ
සුව බිළිඳුගෙ කිරි මැලියම්
බිළිඳුන්ගේ කිරි මැලියම් රෝගය දුරලන ක්‍රමවේදය සනිටුහන් කරන කවියා අරලු, පුවක්, කෝමාරිකා යන ඖෂධ ගලගා මුඛයේ ද, දිව මුලද ලේප කිරීමෙන් කිරි මැලියම බැහැරලන බව ඉහත කවෙන් පෙන්වා දෙයි.මෙහි පුවක් යනු කරුංකා පුවක්ය.
ආහාර රුචිය වර්ධනයට
බෙලි මුල් සමග තිප්පිලි මුල් දමන
මෙසියල් සමග පලමක් අටිනෙකට
එමකල් සවිඳ පොඩි ළා පාන කල
හැමකල් පැවති අරුචිය නැතිවී
බෙලිමුල් හා තිප්පිලි මුල් අට එකට සිඳුවා සහිඳ ලුණු දමා පානය කිරීමෙන් ආහාර අරුචිය බැහැර වන බව වෙදැදුරු අපූරුවට කියාපායි.පදමට ගැනීම “පලමක්” කියා යොදමින් නිමවුම් කිවි ආරට ළඟා වී ඇත. පොඩි ළා පාන, අරුචිය වැනි වදන් ද එබන්දකි.
වාත රෝග සඳහා ඔසුවක්
පාන කරගෙන මැඩපු කළ මෙනෙ අවුසදය කොයි වන
ගාන සූවිසි සන්දි වල සිටි වායු බැස යයි මේ
මූණ මුඛ තුළ වියලි යන පිත් අධික නිසියා ගන
සීන දුටුවා සේම උවදුරු සේය නොතබා
ඔසු පානය කිරීම හා ඔසුතෙල් ගැල්වීම ගැන කියූ කවි හැඟුම චිත්තාකර්ෂණීය පද වහරකින් සමූපේත වී ඇත.“ රූ රැසේ අඳීනා ලෙසේ අත් ළෙල දිදී විදුලිය පබා ” යන ගුත්තිලයේ එන කවි වහරේ ශබ්ද හා සැසඳේ. ඖෂධ අධික යන සකු වදන් කවියට යොදා මෙම කවියා මූණ, මුඛ ආදී ද්විත්ව වාචක සම්ප්‍රදාය අනුගමනය කර ඇත.වාත රෝගය සුවවීම ගැන සිහි කළේ වායු බැස යයි යන්නෙනි “ නොවලසේ ” යන්නද අපූර්වාකාර පද සංයෝජනයකි.සීන දුටුවා සේම යන්න යෙදුවේ මෙම ඖෂධ භාවිතයෙන් ඉක්මණින් රෝගියාට සුවය ලැබෙන බවයි.
මුඛ රෝග සඳහා ඔසුවක්
ගිතෙලින් තල තෙලෙන් හෝ මුං
ගනිමින් මී පැණින් බඳුනෙක ලමින්
උණුසුම් කර ගතොත් මුඛ තුළට එම
වෙසෙසින් මුඛ රෝග වණ නසයි
මුඛ රෝග නැසීමට ද වණ රෝග නිවාරණය කිරිමට ද ගිතෙල්, තලතෙල්, මුදවපු කිරි, මී පැණි හා මුසු කර මුඛය තුළට බහාලීමෙන් රෝග නිවාරණය වන බව කවියෙන් අර්ථ දැක්වයි.
දත් දිරා යාම වැලකීමට ඔසුවක්
දත් දිරනා කල වේ
අරළු කුඩුද ගත්තේ
දුඹුලුද යව කරන්
සුව වේ නියතියකි
දිරුම්කඩ සහිත දත් රෝගය සුව කරන ඔසු පිළිබඳ කවියාගේ අවධානයට බඳුන් වේ.අරළු කුඩු, දුඹුල් හා යවාකාර ලුණු මුසු දන්තාලේපයෙන් දිරුම්කඩ නතර වේ.යවකරන් යන නිමවුම් වදන “ යවාකාර ලුණුවලට ” යෙදූ වදනකි.දුඹුලුද යනු “ දුම්මැස්සේ බැඳෙන දුඹුල්ය ”
හදවත් රෝග සඳහා ඔසුවක්
මදු බීජය බීපු
හදවත් සුව වෙයි
විටෙක ඔසු කවියා දෙපද කවි රටාවද අනුගමනය කළේය.“ මධු බීජ ” නමින් සකු බසේ දක්වා ඇත්තේ දෙළුම්වලටය.හදවත් රෝග එමගින් සුව වන බව දෙපද කවියෙන් වෙදැදුරා සඳහන් කරයි.
ශ්වසන ආබාධ සඳහා ඔසුවක්
රන් කැකුළු ද හීනටි
විළඳ බවට පත්කර
මදු සිද්දිගුරුද
ගත්විට සුවසන නැති
ශ්වසන රෝගය සුව කරන අත්දුටු ඔසුව ගැන සරල ලෙසින් තල්පත් කවියා ගෙනහැර දක්වයි.රත් කැකුළු, හීනටි වී, විළඳ කොටා මී පැණි, වියළි ඉඟුරු, තිප්පලි හා භුක්ති විඳීමෙන් සුවගෙන දෙන බව පවසා ඇත්තේ සරල වදන් වහරිනි.
“ ශ්වසන ” සුවසන යනුවෙන්ද “මධු ” යන්න මදු යන්නෙන්ද දක්වා යෙදූ වහර වදන් කවි ආරේ ආකර්ෂණීය සංයෝජනයකි.
ඒ.සී.එස්.නවීලා