දොළදුකෙන් හෙළිවන ඉපදෙන දරුවාගේ ගති ලක්ෂණ

නොවැම්බර් 5, 2021

ගැබ්ගත් ස්ත්‍රියක් සිව්වෙනි මාසය සම්පූර්ණවීමේ දී මව සහ ළදරුවා අතර සම්බන්ධය හේතුකරගෙන දරුවාට ඇතිවන චිත්ත ආවේගයන් නිසා දොළදුක හටගන්නා බව සුශ්‍රැතාචාර්යවරයා විසින් සිය ග්‍රන්ථයේ විස්තර කර ඇත. දෙකයන අර්ථය දො යන්නෙන් ගෙන දෙයි ළ යන්නෙන් හදවත යන අර්ථය ගෙන දෙයි.

 

දොළ දුකක් ඇති වූ විට එය සංසිඳවිය යුතුමය. නොඑසේනම් ඉපදීමට සිටින දරුවාගේ කායික හා මානසික දුර්වලතාවයන් ඇතිවීමට එය හේතුවිය හැකි බව වෛද්‍යවරුන්ගේ මතයයි. නොඑසේනම් ඉපදෙන දරුවා ආබාධිත තත්ත්වයකට පත්විය හැකිය. දොළදුක එක් ඉන්ද්‍රියකට පමණක් සීමාවූවක් ද නොවේ. ඇස, කණ, නාසය, දිව හා ශරීරය යන පංචේන්ද්‍රියන්ට අරමුණු ඇතිවන කවර ස්ථානයකින් හෝ දොළදුකක් ඇතිවීමට පුළුවන. ඇස පිනවන රූප දැකීම, කණ පිනවන මිහිරි නාද ඇසීම, දිව පිනවන රසවත් ආහාර පාන ගැනීම, නාසය පිනවන මිහිරිසුවඳ ආඝ්‍රහණය කිරීම, ශරීරයට සැප ඇතිවන ස්පර්ශයන් ලබා ගැනීම ආදී ආශාවන් විවිධ විය හැකිය. ආත්මයෙන් ආත්මයට පැවතඑන සංකීර්ණ ආශාවන් මවගේ කුස තුළ සිටින දරුවා මවගේ මනසට ඇතුළු කරයි. දරුවාට ඇතිවන එම ආශාවන් රැස් කරගෙන තමා කළ පින් පව් අනුව ඉදිරි මාස හය, හත තුළ දී මෙලොව එළිය දැකීමෙන් පසු දරුවාගේ චරිත ලක්ෂණ මේ අයුරින් අනාවරණය විය හැකි ය. දොළ දුකක් ඇතිවූ විට ඇය ආශා කරන දෙය ලබාදීමෙන් දීර්ඝායුෂ ඇතිවන්නා වූ වීර්යවන්ත වූ දරුවකු මෙලොව ජනිතවනු ඇත. දොළදුකක් උපන්කල්හි ඒ පිළිබඳ වැඩි සැලකිල්ලක් දැක්විය යුතු ය. තමන් කැමති ලස්සන පි‍්‍රයමනාප දෙයක් දැකීමට ආශාවක් ඇතිවී එය නොදැක සිටීමෙන් ඉපදීමට සිටින දරුවාගේ ඇස්වල විකෘතිභාවයක් ඇතිවීමට ඉඩ ඇති අතර ඇස්වල වපරගති මෙන්ම පෙනීමේ දුර්වලකම්ද ඇතිවිය හැකි බව වෛද්‍යවරුන්ගේ මතයයි.

අලංකාර රෙදිපළි හෝ රන් ආභරණ ආදිය කෙරෙහි වැඩි ආශාවක් හෝ නැතිනම් දොළදුකක් ඇතිවුණිනම් රන්, මිණිමුතු ආදී ආභරණ කෙරෙහි ඇල්මක් ඇති අලංකාරයට කැමති දරුවකු උපදෙයි. ගෙදර විවේකීව සිටිනවිට දහම් පොත්පත් බැලීමට කියවීමට මෙන්ම විහාරස්ථානවලට ගොස් වැඳුම්, පිදුම් කිරීමට ඇය තුළ තද ආශාවක් ඇතිවුණි නම් තමාගේ කුසතුළ සිටින දරුවා අනාගතයේ දී පැවිදිවීමට ඉඩ ඇත. නැතිනම් දහමට ඇලුම්කරන ධාර්මික අයෙකු විය හැක.

දේවාලයකට භාරහාරවීමකට හෝ දේවරූප දැකීමට ආශාවක් මව තුළ උපන්නේ නම් සිය දරු සිඟිත්තා අනාගතයේ දී සමාජයේ ඉහළ තනතුරකට පත්වීමේ භාග්‍යයක් ඇති වාසනාවන්තයෙකි. තිරිසන් සතුන් දැකීමට මවට තුළ දොළදුකක් ඇතිවුණිනම් සැඩ පරුෂ ගතිගුණවලින් පිරුණ දාමරික ක්‍රියාවලට පෙළඹෙන ගුණධර්මවලට ගරු නොකරන දරුවකු උපදින්නට සිටිනබවට පූර්ව නිමිත්තකි. සමාජයේ ඉහළ තැන්වල සිටින ප්‍රභූවරයකු දැක පිළිසඳරේ යෙදීමට ආශාවක් උපන්නේ නම් එයින් පෙනී යන්නේ උපදින්නට සිටින දරුවා අනාගතයේ දී පිනට නැඹුරු වූ භාග්‍යවන්තයෙකු විය හැකි බවයි.

ගැබ්බරව සිටින ස්ත්‍රියක් බොහෝවිට ඇඹුල්රස ඇති ලොවි ගැට, අඹ ගැට, ඇඹරැල්ල, වෙරළු ගැට, දිවුල් ගැට කෑමට ආශාවක් දක්වන්නීය. එයින් පැහැදිලි වන්නේ ඇය ළදරු අවස්ථාවක ජීවත්වීමට ආශා කරන්නියක බවයි. සිඟිති දරුවකුගේ හැඟීම් රටාවන් නොදැනුවත්වම ඇයගේ යටි හිතේ ඇතිවීමෙන් ඇය ගැබ්ගත් තැනැත්තියක බවත් ස්වාමි පුරුෂයා හා සමීප සෙසු අයගේ ආදරයට හා සුරතලයට ලක්වීමට සමත් වන්නියක බවත් පෙන්වයි. මෙම කටුක ගැට වර්ගවලට ඇති ආශාව ඇය නොදැනුවත්වම සිදුවන්නක් බව පෙනේ. ඩියුමස්වි නම් මනෝ විද්‍යාඥයාගේ මතයද මෙයම වේ.

ඇතැම් අයට මෙම කාලයේ දී මස් වර්ග කෑමටද ආශාවක් ඇතිවේ. ඇය පි‍්‍රය කරන මස්වර්ගය අනුව උපදින්නට සිටින දරුවාගේ ගතිගුණ හා අනාගතය සැකෙවින් දැනගත හැක. මොනයම් කරදරයක් හෝ බාධාවක් ඉදිරියට ආවත් ඒ සියල්ල අභිබවා ඉදිරියට යෑමේ ආත්ම ශක්තියක් ඇති ශක්ති සම්පන්න දරුවකු පිළිසිඳගෙන සිටින බව හැඟීයන්නේ ගවමස්කෑමට ආශාවක් ඇති වූ විටය. මී හරක් මස් කෑමට ආශාවක් ඇතිවී නම් රතු පාටට හුරු ඇස් ඇති රෝම කූපයන්ගෙන් ගැවසුණ ශක්ති සම්පන්න දරුවකු මෙලොවට බිහිකරන බව පැවසේ. මුවමස් කෑමට ආශාවක් ඇතිවුණි නම් වේගවත් ගමන් ඇති උත්සාහයෙන් කටයුතු කරන අවිහිංසාවාදී ලෙස කටයුතු කරන පිටිසරබද පරිසරයක ජීවත්වීමට පි‍්‍රයකරන දරුවකු උපත ලබනු ඇත.

කිරිබත්, ගිතෙල්, කිරිපැණි වර්ගවලට ආශාවක් ඇතිවූවිට එයින් පැහැදිලි වනුයේ අනාගතයේදී පිනට දහමට ලැදි ධාර්මික ගතිගුණවලින් හෙබි අයකු උපදින බවයි. කරවල, මස්, මාළු ආදිය තෙලින් බැද කෑමට පි‍්‍රයතාවයක් දක්වන්නේ නම් උපදින දරුවා කාමුක හැඟීම්වලින් බර අයකු විය හැක. ඉදිඹු මස් අනුභව කරන්නට යම්කිසි ස්ත්‍රියකට දොළදුකක් උපන්නේ නම් ඇය ප්‍රසූත කරන දරුවා අහංකාර තනි මතයට කටයුතු කරන මානසික දයාව, කරුණාව නොමැති අයෙකි. රැකියාවද ඔහුටම ආවේනික වූ මස්කඩ, මාළුකඩ, වෙළඳ ව්‍යාපාර හෝටල් ආදිය වේ.

මීකිරි, පලතුරු වර්ග, පළාකොළ ආදිය කෑමට පි‍්‍රයතාවයක් දක්වන්නේ නම් උපදින දරුවා වඩාත්ම නිරෝගි රටේ කීර්තිමත් අයකු වේ. බොහෝ ස්ත්‍රීන් ගැබ්ගත් කල ආශා කරන්නේ ඇඹුල් ජාතිවලටය. ඒ අනුව ඇඹුල් පේර, සීනි පේර ආදියට ඇලුම්කරන ඇය ලොවට බිහිකරන දරුවා කෙසඟ දරුවෙක්වෙයි. ඊට පේර කෑමට පි‍්‍රයකළහොත් එම දරුවා වැඩුණු අයෙකි.

ජම්බු, නාරං, ජම්බෝල, දිවුල් ආදියට පි‍්‍රය කරන ගැබ්ගත් ස්ත්‍රියට ලැබෙන දරුවා දඟකාර කෙළිලොල් දරුවෙක් වේ. සමහර අයට ඇතුන් පිට යාමට අසුන් පිට යාමට පවා ආශා ඇතිවෙයි. එම ආශාවන් සංසිඳවීමට වැඩිහිටි අය සැලකිලිමත් විය යුතු ය.

හිඹුටානේ

පියතිලක ද අල්විස්

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
8 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.