සුබසෙතින් සුවය

ඔක්තෝබර් 29, 2021

අවුරුදු 19 ක සරසවි ශිෂ්‍යාවක්මි. උස අඩි 4 අඟල් 2 කි. මිටිය. එනිසාම අධික තර බවක් පෙනේ. උදරය ද ඉදිරියට නෙරා ඇත. ගැබිනියක් මෙන් පෙනේ. උදරය අඩු වීමටත්, තරබව අඩුකර ගැනීමටත් වෛද්‍ය උපදෙස් ප්‍රතිකාර පතමි.

ආහාර රටාව ගැන උනන්දුවන්න. අල, බතල, කොස්, දෙල් ටික කලකට අඩු කරන්න. අධික පැණි රසද හොඳ නැත. මිටිකිරි, පොල්තෙල් ද අඩුකළ යුතු වේ. උදේ සවස කිලෝමීටර් දෙකක්වත් ඇවිදින්න. පහත ප්‍රතිකාර ද ගන්න.

සිවියමුල්, දේවදාර, සුදුලූණු, රසකිඳ, අරත්ත අල, හාතාවාරිය අල, කටුකරෝෂණ, දුම්මැල්ල, අරළු, බුළු, නෙල්ලි, කටුකූර මුල් කලං එක බැගින් ගෙන වතුර පත දහසය දෙකට සිඳ පෙරා උදේ 6 ට සවස 6 ට පත එක බැගින් බොන්න. (සති දෙකක්) (සීනි, මී පැණි නොදා බොන්න.)

නිම්බාදි චූර්ණය, ත්‍රිඵලා චූර්ණය මේස හැඳි එක බැගින් උණු වතුරින් තම්බා උදේ 6 ට සවස 6 ට පත එක බැගින් සීනි නොදමා බොන්න. දින 07 ක්. නැවත පළමු කෂාය සති දෙකක් බොන්න.

පළමු කෂාය ආරම්භයේ සිටම දවල්ට රෑට කෑමට පෙර මේධහර ක්වාථය මේස හැඳි දෙක බැගින් ද, කෑමට පසු ශීග්‍රැ අරිෂ්ඨය මේස හැඳි දෙක බැගින් ද බොන්න.

රාත්‍රී නින්දට පෙර මේධහර ගුලි දෙකක් ද, ත්‍රිඵලා, ස්වස්ථා පෙති 4 ක් ද නිවුණ උණුවතුරින් බොන්න. යහපත් ප්‍රතිඵල ලැබේවි.

 

අවුරුදු 23 ක අවිවාහක අයෙක්මි. සිහිනෙන් ධාතු පිටවීමත්, ඉක්මන් මෝචනයත් පවතී. ප්‍රතිකාර පතා ලියමි.

නුග මුල්, විෂ්ණුක්‍රාන්ති, කොත්තමල්ලි කලං හතර බැගින් ගෙන වතුර පත 16 - 2 ට සිඳ පෙරා උදේ සවස පත එක බැගින් සීනි මී පැණි දමා දින හතක් බොන්න.

ඉන්පසුව සුදුහඳුන්, කුඹුක්පොතු, මාදම් පොතු, පෙති තෝර මුල්, සැවැන්න මුල්, බැබිල මුල්, ඉඟිණි ඇට, රණවරා ඇට කලං එක හමාර බැගින් ගෙන වතුර පත 16 - 2 ට සිඳ පෙරා උදේ සවස පත 1 බැගින් සීනි මී පැණි දමා දින 7 ක් බොන්න.

ඉන්පසුව සුදුහඳුන්, කුඹුක් පොතු, ඉඟිනි ඇට, වැල්මී, නෙරෙංචි, හාතාවාරිය අල, කිරිබදු අල, කළු උක් මුල්, නෙල්ලි, ඉලුක් මුල්, බිංතල් අල, වඳුරු මෑ ඇට කලං එක බැගින් ගෙන වතුර පත 16 - 2 ට සිඳ පෙරා උදේ සවස පත එක බැගින් සීනි මී පැණි දමා සතියක් බොන්න.

කෙකටිය අල, වෙනිවැල්ගැට, කුඹුක් පොතු, දේවදාර, අරළු, බුළු, නෙල්ලි, වියළි කහ, සුදුහඳුන්, දිය අවරිය, ඊතණ, සිරිවැඩි බැබිල, සුවඳ කොට්ටං, රසකිඳ, හාතාවාරිය අල, කිරිබදු අල, බින්තල් අල, අමුක්කරා අල, නස්නාරං මුල්, වඳුරු මෑ ඇට, වැල්මී, රට ඉඳි, ඉඟිනි ඇට, රණවරා ඇට කලං එක බැගින් ගෙන වතුර පත 32 - 4 සිඳ උදේ 6 ට දවල් 12 ට සවස 6 ට රාත්‍රී 12 ට පත එක බැගින් සතියක් බොන්න. සීනි මී පැණි දමා හැකියාවක් තිබේනම් සති දෙකකට බොන්න.

කැමති නම් 04 වෙනි කෂාය වසරකට වරක් සති දෙකක් බොන්න. ඉක්මන් මෝචනය සදහටම සුවවේවි.

 

අවුරුදු 40 කාන්තාවක්මි. උදේ හටගන්නා හිසරදය දවල් 11 - 12 තෙක් පවතී. ඉන්පසුව අඩුවේ. ඉරුවාරදය යයි කවුරුත් කියති.

ඔබට ඇත්තේ ඉරුවාරදය තමා. මෙම ප්‍රතිකාර කරන්න.

අරළු, බුළු, නෙල්ලි, රසකිඳ වියළි කහ, බිංකොහොඹ කොහොඹ පොතු කලං 1මදටිය 14 බැගින් ගෙන වතුර පත 16 - 2 ට සිඳ පෙරා උදේ 06 ට සවස 06 ට පත එක බැගින් දින 7 ක් බොන්න. උදේට සවිඳලුණු දමා බොන්න. සවසට සීනි තේ හැඳි එකක් දමා බොන්න.

වාත විදුරංග තෛලය මහා නීල්‍යාදී තෛලය මිශ්‍රකර හිසේ ගාන්න. උදේ 8 ට පෙර නෑමෙන් වළකින්. ඇඟ සෝදන්න. සතියට වරක් පමණක් නාන්න.

ඉහත ප්‍රතිකාර සති 2 ක් නවතා සතියකින් නැවත ගන්න. එසේ මාස 3 ක් දිගට ගන්න. සුවය ලැබේවි. ටික ටික අඩු වී පසුව සුවවේවි.

 

අවුරුදු 47 කි. අශ්මරි රෝගයෙන් පෙළෙමි. අශ්මරි රෝගය තිබේ යයි පොල්පලා තම්බා බොන ලෙස වෙද මහතකු කී නිසා එසේ ලියමි. ප්‍රතිකාරයක් දක්වන්න. මූත්‍ර මාර්ගයේ වේදනාව පවතී.

ඇසල පොතු, අක්කපාන කොළ, වැල්කහඹිලියා මුල්, හීං ගොකටු, අරළු, පොල්පලා කලං දෙක බැගින් ගෙන වතුර පත අට එකට සිඳ පෙරා උදේ 6 ට සවස 6 ට පත බාගය බැගින් යවකර ලුණු දමා දින තුනක් බොන්න. එම කෂායම අක්කපාන කොළ වෙනුවට කුප්පමේනියා මුල් දමා තව දින 4 ක් බොන්න. ලුණුවරණ පොතු ඊළඟ දින දී කුප්පමේනියා මුල් වෙනුවට දමා බොන්න. සම්පූර්ණ සුවය ලැබේවි. ඊට පහත ඖෂධ ද ගත යුතු වේ.

මූත්‍ර විරේචන ක්වාථය අවුන්ස 12 දස මූලාරිෂ්ඨය අවුන්ස 12 මිශ්‍රකර දවල්ට රෑට කෑමට පෙර මේස හැඳි දෙක බැගින් බොන්න.

පොල්පලා තැම්බූ වතුරින් උදේ 10 ට රාත්‍රී 10 ට චන්ද්‍රප්‍රභා වටී දෙක බැගින් බොන්න. ඉහත ප්‍රතිකාර පන්තිය සති දෙකක් ගත යුතු වේ.

 

අවුරුදු 64 ක කාන්තාවක්මි. දණහිසෙන් පහළ ඉඳිමේ. හිසරදය නිදිමත අඩුකම, පණනැතිකම ද ඇත.

ඔබට වාත රක්තය පවතී. මෙම ප්‍රතිකාර ගන්න. 1.රසකිඳ, ඇහැල පොතු, පාවට්ටා මුල් කලං හතර බැගින් ගෙන වතුර පත 16 - 2 ට සිඳ පෙරා උදේට එරඬුතෙල් මේස හැඳි 2 ක්ද සවසට සීනි දමා උදේ 6 ට සවස 6 ට පත එක බැගින් සතියක්ම බොන්න.

2. ඉන්පසුව උදේටද සීනි දමා (එරඬු තෙල් වෙනුවට) තව සතියක් බොන්න.

3. සියඹලා කොළ තම්බා තවා හොඳින් පපිස දමා පිණ්ඩ තෙල් ගා හොඳින් පහළට අත ගාන්න.

අංක තුන ප්‍රතිකාරය මාසයක්ම කරන්න. කෂාය සති දෙකක් බී සතියක් විවේක ගෙන තව සතියක් බොන්න. අඩුවේවි. අවශ්‍ය නම් නැවත විමසන්න.

ආයුර්වේද වෛද්‍ය

ඊ.එම්. නිමල් විමලරත්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
13 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.