සතුන්ගේ මස් නොකා නිරෝගීව ජීවත් වෙන්න බැරිද?

ජුනි 18, 2021

කිසිම මස් වර්ගයක් ආහාරයට ගැනීමට අකමැති වැඩිහිටියන් මෙන්ම දරුවන්ද අප අතර සිටී. මේ නිසා සමහර මව්පියන් තම දරුවාට “නිසි පෝෂණයන් නොලැබේය” යන අනියත බියකින් පසුවේ. මේ එවන් මව්පියවරුන්ට වැදගත්වන විශේෂ ලිපියකි.

නීරෝගී ජීවිතයක් පවත්වා ගැනීමට නම් අප සමබල ආහාර වේලක් ලබාගත යුතුයි. සිරුරේ යහපැවැත්ම උදෙසා අප ලබා ගන්නා ආහාර වේලක අනිවාර්යයෙන්ම කා‌බෝහයිඩ්‍රේට් (පිෂ්ඨය), ලිපිඩ, ප්‍රෝටීන්, යකඩ හා ඛනිජ ලවණ වගේම විවිධාකාර වූ විටමින් වර්ග අඩංගු විය යුතුයි. මෙම ආහාර සංඝටක සියල්ල සමබර ලෙස අඩංගු වූ ආහාර වේලක්, සමබල ආහාර වේලක් ලෙස හඳුන්වන්න පුළුවන්. මෙම සංඝටක අඩංගු ආහාර තුළින් අපේ ශරීරයේ වර්ධනයට හා පැවැත්මට ඉතා විශාල මෙහෙයක් සිදු කරයි. මෙහිදී “ප්‍රෝටීන් පිළිබඳව” කතා කිරීම විශේෂයෙන්ම වැදගත්. මිනිස් සිරුරක පැවැත්මට, නිරෝගි වර්ධනයට වගේම නිරෝගී ජීවිතයක් සඳහා ප්‍රෝටීන් වලින් ලැබෙන්නේ මොනවගේ දායකත්වයක්දයි මුලින්ම සොයා බලමු.

ප්‍රෝටීන් වලින් මිනිස් සිරුරකට ලැබෙන මෙහෙය ඉතාම විශාලයි. ප්‍රධාන වශයෙන් රුධිරය ද්‍රව තත්ත්වයේ පවත්වාගෙන යන්න, ශරීරයේ පටක වර්ධනය කරන්න, කාටිලේජ හා මාංශ පේශි වල පැවැත්ම යහපත් කරන්න, රුධිරය හා සෛල අතර පෝෂ්‍ය පදාර්ථ හුවමාරු කර ගන්න, ශරීරයේ නිසි කි‍්‍රයාකාරිත්වයට, අත්‍යවශ්‍යම වන හෝමෝන වර්ග සහ එන්සයිම වර්ග නිපදවන්න මේ හැම දේටම ප්‍රෝටීන වලින් කෙරෙන්නේ අමිල සේවයක්. ප්‍රෝටීන ශරීර වර්ධනයට සෘජුවම බලපෑම් කරන පෝෂණ සංඝටකයක්.

සාමාන්‍ය පුදගලයෙකුට දෛනිකව කොපමණ ප්‍රෝටීන් අවශ්‍ය වෙනවාද?

සාමාන්‍යයෙන් දේහ බර කිලෝග්‍රෑම් 50 – 55 වගේ පවතින පුද්ගලයෙකුට ප්‍රෝටීන ග්‍රෑම් 50 ක් පමණ දිනකට අවශ්‍ය වෙනවා.

ප්‍රෝටීන වැඩිපුර ලබාගත යුතු විශේෂ අයත් ඉන්නවාද?

ගැබිනි මව්වරු හා කිරිදෙන මව්වරු මේ අය අතරින් විශේෂයි. ඒ අය ප්‍රෝටීන ලබාගත යුත්තේ තමන්ට පමණක් නොවෙයි. දරුවාටත් එක්කයි. ඊට අමතරව වැඩෙන දරුවන් කය වෙහෙසා වැඩ කරන ශ්‍රමිකයන්, කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් වගේ අය දෛනිකව අවශ්‍ය ප්‍රෝටීන් ප්‍රමාණය ලබාගන්න ප්‍රෝටීන් බහුල ආහාර ටිකක් වැඩිපුර කෑමට ගන්න ඕන.

මොනවද ප්‍රෝටීන් අඩංගු ආහාර?

ප්‍රෝටීන් ප්‍රධාන වශයෙන් ගව මස්, කුකුළු මස්, පීකුදු, මාළු, කිරි, බිත්තර, කරවල අඩංගු වෙනවා. ඒවා සළකන්නේ සත්ව ආහාර ලෙසය. ඒ වගේම තමයි මාංශ භෝග වශයෙන් සළකන සෝයා, කඩල, මුංඇට, කව්පි, පරිප්පු, දඹල වගේ ආහාර වලත්, ධාන්‍ය වර්ග ලෙස සැළකෙන සහල්, කුරක්කන්, බඩ ඉරිඟු වගේ බෝග වලත් ප්‍රෝටීන් විවිධ ප්‍රමාණයන්ගෙන් අඩංගු වෙනවා.

ගවමස් කෑමෙන් තොරව කෙනෙකුට ඌණතාවයකින් තොරව වෙනත් ආහාර තුළින් සිරුරට අවශ්‍ය ප්‍රෝටීන් ප්‍රමාණය ලබාගන්න පුළුවන්ද?

මස් නොකන කෙනෙකුට අලුත් මාළු වලින් වගේම කිරි, බිත්තර, පරිප්පු, කව්පි, කඩල, සෝයා බෝංචි, දඹල, කජු, තල, බිම්මල් වගේ දේවල් ආහාරයට ගැනීමෙන් ඉහළ ප්‍රෝටීන් ප්‍රමාණයක් ලබාගන්න පුළුවන්. තෝර, පරා වැනි මාළු පෙත්තක් සමඟ තැම්බූ අල, පරිප්පු, කඩල ඇට කීපයක් පොඩි කර මාස 06 ඉක්ම වූ දරුවට බත් කවන්න පුළුවන්. මුංඇට පොඩි කරලා දෙන්න පුළුවන්. කජු මදයකුත් අවශ්‍යම නම් මේ කෑමට එකතු කරන්න අම්මලාට හැකියාව තියෙනවා. අවශ්‍ය වෙන්නේ ප්‍රෝටීන් අඩංගු ආහාර පිළිබඳව මව්වරු දැනුම්වත්ව සිටීමයි. කිසියම් වෛද්‍යවරයෙක් අම්මා කෙනෙකුට බල කරලා කියන්නේ නෑ දරුවාට ගව පීකුදු හෝ ගව මස් කැවිය යුතුමයි කියලා. ඒ වෙනුවට ප්‍රෝටීන් අඩංගු ආදේශක ආහාර කෑමට දීමට මවකට හැකියි.

සමහර කායික දුර්වලතා ඇති රෝගීන්ට රෝහලේදීම ගව මස් හෝ පීකුදු අඩංගු ආහාර ලබාදෙන අවස්ථා තියෙනවා නේද?

රක්ත හීනතාවයෙන් පෙළෙන රෝගීන්, කායිකව ඉතාම දුර්වල වුණු අය සඳහා දින දෙකකට වරක් පමණ ගවමස් හෝ පීකුදු ලබා දෙනවා. ඒක එවැනි රෝගියාට දැඩි අවශ්‍යතාවයක්, ඉක්මනින් සුවවෙන්න, ශරීරයේ පටක වර්ධනයට, රුධිරයට හා හෝමෝන, එන්සයිම වැනි දේ යහපත්ව පවත්වා ගැනීමට මෙහිදී පැහැදිලිවම ගව මස් හෝ පීකුදු ග්‍රෑම් 50 – 100 දක්වා කුඩා ප්‍රමාණයකුයි නිර්දේශ කරන්නේ. මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන්ට ගවමස හෝ පීකුදු ලබා දීම යහපත්.

වර්තමානයේ සමහර වෛද්‍යවරු පවා ගව මස් කෑම ප්‍රතික්ෂේප කරන්නේ ඇයි?

ඒක තම තමන්ගේ පෞද්ගලික අකමැත්ත. ආගමික හා සංස්කෘතික හික්මීම තුළින් වුණත් එහෙම වෙන්න පුළුවන්. විශේෂයෙන්ම බෞද්ධයන් අතර සතුන්ගේ මස් කෑමට අකමැති අය අද බහුලවම ඉන්නවා. ඒ වගේම තමයි හරක් මස් වල හොඳ නරක කෙසේ වෙතත් සමහර අය තුළ මතයක් ගොඩනැගිලා තියෙන්නවා. හරක් මස් උයලා කාපුදාට ගෙදර රණ්ඩු සරුවල් වැඩියි කියලා. මේවා ආගමික බැඳීමත් එක්ක සමාජගත වුණ කතා. සමහරවිට ඊට හේතු කීපයක්ම තිබෙනවා. සමහර විට හරකා මරණ කෙනාත්, එම ව්‍යාපාරිකයාත් හරක් මස් නොකන කෙනෙක් විය හැකියි. කිරි එළදෙනුන් ඇති කරන නිවෙස් වල ගොඩාක් දෙනෙක් හරක් මස් ගැන කතා කරන්නවත් කැමති නෑ. සමහර වෛද්‍යවරු ගවමස් කෑම තරයේම ප්‍රතික්ෂේප කරන අවස්ථා වගේම, රෝගීන්ට ගවමස් හෝ ගව පීකුදු අනුමත නොකරන අවස්ථා තියෙනවා. තමන්‌ගේ ශරීරයේ උසේ හැටියට බර තියෙනවා නම් ප්‍රෝටීන් බහුල ආහාර අධිකව ගතයුතු නෑ. ඒ වගේම තමයි අධික තරබාරු ශරීර හිමි අය හා හදවත් රෝගීන් අධික ප්‍රෝටීන් සහිත ආහාර පාලනය කළ යුතුයි. අනිත් එක තමයි රතු මස් විශේෂයක් වන ගව මස් වල සංතෘප්ත මේදය ඉහළ බැවින් රුධිර නාල අවරෝධය(සිරවීම) තුළින් හෘදයාබාධ වැළඳීමේ අවදානම ඉහළ දමනවා. ගව මස් වගේම ඌරු මස්, කුකුළු මස් වල පිට සමේත් ඉතා අධිකව සංතෘප්ත මේදය අඩංගු බව නම් සම්පූර්ණ සත්‍යයක්. මේ නිසා මස් කෑමෙන් වැළකීම කොහොමටත් හොඳයි.

නිර්මාංශ ආහාර ගන්නන්ට පෝෂණ ඌණතාවයන් ඇති නොවෙන්න නම් කළ යුත්තේ කුමක්ද?

නිර්මාංශ ආහාර ගැනීම එක්තරා අන්දමක ඉතාම යහපත් සමාජ සංකල්පයක්. කොහොම වුණත් “අකමැති කිසිවක් නොකා සිටීමට ඕනෑම පුද්ගලයෙකුට අයිතියක් තියෙනවා”. අපි ඒකට ගරු කරන්න ඕන. නිර්මාංශ ආහාර වලට කැමති අයට ගැටලුවක් ඇති වෙන්නේ නෑ. කඩල, පරිප්පු, මුංඇට, සෝයා බෝංචි වගේ මාංශ බෝග වලිනුත්, කුරක්කන්, බඩඉරිඟු වැනි ආහාර වලිනුත් සෑහෙන ප්‍රෝටීන් ප්‍රමාණයක් ශරීරයට ලැබෙනවා. මස් නොකෑවට සමහර අය සත්ත්ව ආහාරයක් වුණත් කිරි බොන්න කැමතියි. පහත දත්ත අනුසාරයෙන් ඔබේ ප්‍රෝටීන් අවශ්‍යතාවය සපුරා ගැනීමට සුදුසුම ආකාරයන් පිළිබඳව ඔබටම නිගමනයකට එළැඹිය හැකියි. විශේෂයෙන්ම මව්වරු මේ කරුණු පිළිබඳව සම්පූර්ණයෙන්ම දැනුවත් වී සිටීම ඉතාම වැදගත්.

 

වල්ගම රජයේ ආයුර්වේද රෝහලේ,

වෛද්‍යාචාරිනි,

ධම්මිකා අමරසේකර

 

රඹුක්කන,

කීර්ති එස්. කුමාර

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.