හැසිරීම් රටා

මැයි 21, 2021

හැසිරීම් පිළිපැදීම අනුගමනය කිරීම අර්ථ චර්යා යනුවෙන් හැඳින්වේ. මේ අනුව පුද්ගලයන්ගේත් සමාජයේත් මනා පැවැත්මට හේතුවන හැසිරීම් රටා රාශියක් මෙහි දක්වා ඇත. පුද්ගලයාගේ නිරෝගි බව රැක ගැනීම ලෙඩ රෝගවලට ගොදුරු විය හැකි අවස්ථා අවම කර චිර ජීවනයක් ලබා දීම සමාජයේ අන්‍යෝන්‍ය බැඳීම වර්ධනය කිරීම ඒ මඟින් යහපත් සමාජ සංවර්ධනයක් ඇති කිරීම මෙහි අරමුණ වේ.

 

ආයුර්වේදය රෝග සුව කිරීමට පමණක් නොව රෝග වළක්වා ගැනීමටත් මෙලොව පරලොව යහපත් කර ගැනීමටත් උගන්වන ශාස්ත්‍රයකි.

 

හැසිරීම් රටා යනු කුමක්ද?

හැසිරීම් පිළිපැදීම අනුගමනය කිරීම අර්ථ චර්යා යනුවෙන් හැඳින්වේ. මේ අනුව පුද්ගලයන්ගේත් සමාජයේත් මනා පැවැත්මට හේතුවන හැසිරීම් රටා රාශියක් මෙහි දක්වා ඇත.

පුද්ගලයාගේ නිරෝගි බව රැක ගැනීම ලෙඩ රෝගවලට ගොදුරු විය හැකි අවස්ථා අවම කර චිර ජීවනයක් ලබා දීම සමාජයේ අන්‍යෝන්‍ය බැඳීම වර්ධනය කිරීම ඒ මඟින් යහපත් සමාජ සංවර්ධනයක් ඇති කිරීම මෙහි අරමුණ වේ.

 

හැසිරීම් රටා කොටස් කරමු

දින චර්යා, ඍතු චර්යා, සදාචාර යන කරුණු පොදු චර්යා ලෙසත් ගර්භනී චර්යා, සුතිකා චර්යා, වෛද්‍ය වෘත්ත, බ්‍රහ්ම චර්යා ආදිය විශේෂ චර්යා ලෙස ප්‍රභේද කර ඇත.

දින චර්යා යනු දිවා රාත්‍රී දෙකට අයත් කාලයකි. හිරු උදාවේ සිට බැස යන තෙක් දිවා චර්යා ද හිරු බැස ගිය පසු නැවත උදා වන තෙක් කාලය රාත්‍රී චර්යා ලෙස සඳහන් වේ.

 

දහවල් හැසිරීම් රටාව

අවදි වීම, මල මුත්‍ර බැහැර කිරීම, දත් මැදීම, මුහුණ සේදීම, අඳුන් ගෑම, නස්න කිරීම, දුම්බීම බුලත් සැපීම, තෙල් ගෑම ආදිය දින චර්යාවලට අයත් වේ.

උදේ අවදිවීමේ සිට රාත්‍රී නින්ද දක්වා ක්‍රියාත්මක කළ යුතු වත්පිළිවෙත් ආයුර්වේදයේ හොඳින් විස්තර කර ඇති අතර නිරෝගිකම රැකගැනීමේ සිට මෝක්ෂය ලබා ගැනීම දක්වා කළ යුතු වත් පිළිවෙත් එයට අඩංගුය.

උදෑසන 4.30- 5.15 අවදි විය යුතු අතර එම වේලාව උතුමස් වේලාව හෙවත් බඹ මොහොත ලෙස දක්වා ඇත. පරිසරයේ නිසසල බව පිරිසුදු වාතය ගත සිත පුබුදු කරන අතර ඒ නිසාම ඉන්ද්‍රියවල යහපත් ක්‍රියා ප්‍රබෝධය ඇතිවේ.

රාත්‍රී කාලයේදි අපවිත්‍ර වූ බාහිර ඉන්ද්‍රියන් පිරිසුදු කර ගැනීමත් මල මුත්‍ර ආදිය බැහැර කිරීමක් සිදු කළ යුතුය.

ඉතා ආරක්ෂාකාරි ඖෂධ ගුණ යුත් පිරිසුදු අලුත් දත් බුරුසුවක් ලෙස ඔබට භාවිත කළ හැකි දැහැටි කූර ඔබේ දත් ආරක්ෂා කරයි. නුග කරඳ කුඹුක් පිල, කොහොඹ, ආදී ශාකවල පැන්සලයක් පමණ අතු කැබැල්ලක් මේ සඳහා සුදුසුය. ඉන්පසු මුහුණ හා අත් පා සේදීම කළ යුතුය.

අද කාලෙ අපහසු කරුණක් ලෙස සැලකුවත් අංජන යෙදීම, නස්න කිරීම, බුලත් සැපීම ආදි ක්‍රියාවලින් ගෙලෙන් පහළ ඇති ඉන්ද්‍රියවල යහපත් ක්‍රියාකාරිත්වය සහ ආරක්ෂාව සැලසේ. ශරීරය පුරා තෙල් ආලේප කිරීමෙන් ඇගේ ශක්තිය ආරක්ෂාව සහ යහපත් ක්‍රියාකාරිත්වය ඇතිවේ.

ශරීරය නිරෝගීව පවත්වා ගැනීමට නම් ව්‍යායාම අත්‍යවශ්‍ය වේ. යන්ත්‍රසූත්‍ර භාවිතයෙන් කරන කෘත්‍රිම ව්‍යායාමවලට වඩා පයින් ඇවිදීම, කැත්තේ උදැල්ලේ වැඩ, ගොවිතැන් කිරීම, “ක්‍රීඩා කිරීම, ආදිය වඩාත් ශ්‍රේෂ්ඨයි. ආහාරයට පෙර දියනෑමෙන් කුසගින්න වැඩිවනවා මෙන්ම ආහාර පහසුවෙන් දිරවීම, ධාතු පෝෂණය මනාව සිදුවීම, දීර්ඝායුෂ ලැබීම, උත්සාහය යන මේවා ඇතිවේ.

මිනිසාගේ පැවැත්මට ආහාර අත්‍යවශ්‍ය වේ. සුදුසු ආහාර ප්‍රමාණයට අනුව පිරිසුදු මනසින් යුතුව ගැනීම සුදුසුය. උදේ, දවල්, රාත්‍රී ආහාර වේල් 3 ක් සුදුසු බව දක්වා ඇති අතර ආමාශයෙන් 2/4 ක් ආහාරත් 1/4 ජලයත් 1/4 හිස්වත් තැබිය යුතු අතර නිරෝගිතාවය සඳහා මෙය ඉතා වැදගත්ය.

එසේ ආහාර ගැනීමෙන් ආයු,වර්ණ ,සැප, බල, ප්‍රඥා ලැබෙන බව දක්වා ඇත.

 

රාත්‍රියෙහි හැසිරීම් රටාව

රාත්‍රියෙහි හැසිරීම් රටාව යනු රාත්‍රිය ගත කරන ආකාරයයි. නින්ද ශරීරයට අත්‍යවශ්‍යය. එයින් මානසික විවේකයත් ශාරිරික ඉන්ද්‍රිය විවේකයත් ලැබේ. එසේම ශරීරයේ ක්ෂය වන කොටස් නැවත වර්ධනය වීමක් සිදුවේ. ආගමික වතාවත්වලින් පසු නිදහස් පරිසරයක් තුළ ශක්තිමත් සයනයක සහ ආරක්ෂාකාරි ස්ථානයක නින්ද ලැබීම සුදුසුය.

ඍතු චර්යා

වර්ෂයක් ඍතු 6 කට බෙදා එම ඍතු තුළ ජීවත් විය යුතු ආකාරය ආයුර්වේදයේ දක්වා ඇත. ලංකාවේ ඍතු භේදය පැහැදිලිව දක්නට නැතත් වර්ෂයක අවසාන මාස හා ඊළඟ වර්ෂයේ මුල් මාස ශීත කාලගුණයක් ද මාර්තු, අපේ‍්‍රල්, මැයි මාස උෂ්ණ දේශගුණයක් ද ජුනි , ඔක්තෝම්බර් වර්ෂා කාල ලෙස ද දක්නට ඇත. ගී‍්‍රෂ්ම ඍතුවේදි උෂ්ණාධික ආහාර නොගැනීමෙන් ශීත ඍතුවේ හා වර්ෂා ඍතුවේ අධික ශීත ආහාර නොගැනීමත් සෞඛ්‍ය රැක ගැනීමට වැදගත් වේ. උෂ්ණ ශීත ආහාර ගැන නොදන්නා අය වෛද්‍ය උපදෙස් ලබාගෙන එම ආහාරපාන හා අනෙකුත් හැසිරීමේ රටා අනුගමනය කිරීමෙන් නිරෝගි බව රැකීමත් දීර්ඝායුෂ වින්දනයක් සිදු වේ.

 

ගැබිනි හැසිරීම් රටා

නිරෝගිමත් දරු පරපුරක් ඇති කිරීමට උගන්වන හැසිරීමේ රටා මෙයට අයත්ය. ප්‍රසවය උපද්‍රවවලින් තොරව සිදු කිරීම, මවගේ හා දරුවන්ගේ සෞඛ්‍ය ආරක්ෂාවත් මේ මඟින් අපේක්ෂා කෙරේ. මෙහිදී ආහාරපාන, විහරන හා මානසික තත්ව යන තෙආකාරයක හැසිරීමේ ක්‍රම අයත්වේ. මව විසින් පෝෂ්‍යදායි ආහාර මෙන්ම පහසුවෙන් දිරවන ආහාර ගත යුතුය. නිතර කෑම, අමු ආහාර, පිළුණු ආහාර, ඉතා උෂ්ණ ආහාර, අධික ශීත ආහාර ගැනීම නුසුදුසුය.

මවගේ ඇඳුම් ඉතා පිරිසුදු විය යුතුය. තද ඇඳුම්, කිලිටි ඇඳුම්, කෘත්‍රිම ඇඳුම් නුසුදුසුය. පවිත්‍රතාවය හා නින්ද ගැබිනියට අවශ්‍ය වේ. සතුටු සිතින් නිතර සිටිය යුතු අතර ඊර්ෂ්‍යා, භය, ක්‍රෝධ වලින් තුරන් විය යුතුය.

 

වැදූ මවගේ චර්යා

දරු ප්‍රසූතියේ සිට දින 45 දක්වා කාලය තුළ මව විසින් පිළිපැදිය යුතු ඇවතුම් පැවතුම් ගැනත් දරු ප්‍රසූතියෙන් පසු ශරීරයේ සියලු ඉන්ද්‍රියයන් සාමාන්‍ය තත්වයට පත්වන තෙක් මව විසින් ආරක්ෂා විය යුතුය. එසේ නොවීමෙන් විවිධ රෝගාබාධ ඇති විය හැකිය. ඒ අතර දරුවාගේ පෝෂණය සඳහා හොඳ ශාරිරික පෝෂණයක් හා මානසික පසු විවේකය තිබිය යුතුය.

 

බඹසර හැසිරීම

උතුම් හැසිරීම යනු බඹසරෙහි හැසිරීමය. ධර්ම මාර්ගවලට පිවිසි අයට මෙන්ම ගිහිගෙයි සිටින අයද පිළිපැදිය යුතු යහපත් පිළිවෙත් මෙයින් අදහස් කෙරේ. පවින් වැලකීම, යෝග ව්‍යායාම, තපස, ධර්ම ශාස්ත්‍ර හැදෑරීම යන කරුණු මෙයට අයත් වේ.

ලිංගික ක්‍රියා

ගිහිගෙයි වසන අය ගිහි කලදී යුග දිවියට පත්වීමත්, ලිංගික ක්‍රියා ඉටු කිරීමත්, අබ්‍රහ්මචර්යාව ලෙස හැඳින්වේ. මේ සඳහා සුදුසු වයස , සුදුසු කාලය, සුදුසු ආකාරය, ස්ත්‍රි පුරුෂ වර්ග හා ඒ අයගේ ගුණාගුණ ද ආයුර්වේදයේ පැහැදිලිවම දක්වා ඇත.

යහපත් දිවි පෙවෙතක් හා නිරෝගිමත් දරු පරපුරක් ඇති කිරීමත් මෙම හැසිරීම් රටා මගින් උගන්වා ඇත. ඒ අනුව දිවිය හැඩගන්වා ගැනීමෙන් යහපත් සමාජයක් ගොඩනැඟිය හැකිය.

 

උපදෙස් –

වෛද්‍ය

දේවපි‍්‍රය අබේවර්ධන

දේශීය වෛද්‍යක්‍රම

ජාතික ආයතනයේ හිටපු අධ්‍යක්ෂක

වෛද්‍ය

ස්වර්ණා චන්ද්‍රලතා

 

සටහන

ජයන්ති කුරේ

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.