ලෝක ජනගහනයෙන් මිලියන තුනකට වැඩි ප්‍රමාණයක් පීඩා විඳින ඇදුම රෝගය

මැයි 7, 2021

ඇදුම රෝගය යනු ශ්වසන පද්ධතිය ආශි‍්‍රතව හටගන්නා රෝගයකි. ශ්වසන පද්ධතියට අයත් නාසය නාකුහරය ස්වසනාලය අනු ශ්වාසනාලිකා, පෙනහලු කුහර යන පෙණහලු ගර්ත ආදී කොටස් ඇදුම රෝගයෙන් පීඩාවට පත් වෙයි. මෙම රෝගයේ දී ශ්වාසනාල පටු වීම පෙනහලු තුළ පවතින සෙම නරක්වීම ආදී හේතූන් නිසා හුස්ම පිට කිරීම හා ගැනීමට බාධා පැමිණේ. ආයුර්වේදයේ සඳහන්වන වාත සහ නෂන හේතුන් දෙක නිසා ඇදුම රෝගය ඇතිවේ.

 

ආයුර්වේදය ප්‍රධාන වශයෙන් ප්‍රභේද පහක් පෙන්වා දී තිබේ. සුද්ධාශ්වාසය, මහා ශ්වාසය, චින්නප් ශ්වාසය, උර්වද් ශ්වාසය හා තමක් ශ්වාසයයි. මේ ප්‍රභේද අතරින් සමාජයේ වැඩි දෙනකුට වැලඳී ඇත්තේ තමශ්වාසය වන අතර තමක යනු රාත්‍රී කාලයේදී බෙහෙවින්ම රෝගය ඇතිවන බැවිනි. ඇදුම රෝගය යනු පරම්පරා රෝගයකි. ඇදුම රෝගයෙන් පීඩාවිදි තාත්තාගෙන් පුතාටත් පුතාගෙන් මුණුපුරාටත් ආදී වශයෙන් ඥාති සම්බන්ධතාවයක් පවතින රෝගයකි. එහෙත් සමහරුන්ට එසේ පැවතීමක් ද සිදු නොවේ.

සමහරුන්ට ප්‍රකෘති තත්ත්වය මත ඇතැම් පරම්පරාවලද රෝගය හට නොගනී. උපතේ දී පපුවේ පිහිටීම හා පෙණහළුවල දුර්වලතාවයන් මතද උපතේ සිටම ඇදුම රෝගය වැලඳිය හැකි ය. ඇදුම රෝගය යනු ඕනෑම වයසක අයකුට වැලඳිය හැකි රෝගයකි. ඇදුම රෝගය වැලඳීමට ප්‍රධාන වශයෙන් බලපාන කරුණු රැසක්ම පවතී. ඒ අතර රථවාහනවලින් නිකුත් කෙරෙන මීදුමක් මෙන් පැතිරයන ඕසෝන් වායුව පෙණහලුවලට තදින්ම බලපායි. පරාග මල් රේණු පුස් සත්ව ලොම්, දුම්, දූවිලි සහිත පරිසරය විකිරණශීලි මූලද්‍රව්‍ය සහිත පරිසරය වී මෝල්, ගල් මෝල් සහ ලී මෝල්වල සේවය කිරීම දූවිලි ආඝ්‍රාණයවීම, වැස්සට, පින්නට නිතර අසුවීම, තෙල්, සීනි, ලුණු අධික ආහාර ගැනීම, අධික මත් පැන් පානය, අධික දුම්පානය, දුම්වැටිවල පවතින නිකොටින් වැනි තාර වැනි අංශුන් පෙණහලු ගර්භ තුළ තැන්පත් වීමෙන් හුස්ම ගැනීමට අපහසුවේ. එහිදී ඇති වන විෂ නිසාද ඇදුම රෝගය ඇති වේ. සුරතලයට නිවෙස්වල ඇතිකරන බල්ලන් බළලුන්ගේ හා කුරුල්ලන්ගේ ඇඟෙහි පවතින දූවිලි හා සුනිදු ලොම් ආඝ්‍රාණය කිරීමෙන් ද මෙම රෝගී තත්ත්වය ඇතිවේ.

පාරම්පරික හේතුවලින් තොරව දරුවන්ට මෙම රෝගය හටගනු ලබන්නේ වැඩිහිටියන්ගේ නොසැලකිලිකම හේතුවෙනි. පාසලට යන දරුවන්ට හෝ වෙනත් ගමනක් යන දරුවකුට හෝ කැස්සක්, සෙම්ප්‍රතිෂ්‍යාවක්, කිවිසුම් යෑමක් මලපහ කිරීමේ අපහසුතාවයක් හිස රිදීමක්, බඩ රිදීමක් හෝ වෙනයම් අසනීප තත්ත්වයක් පවතින්නේ නම් එවේලට ෆාමසියකින් බෙහෙත් අරන්දීම නොව කළ යුත්තේ වෛද්‍යවරයකුට පෙන්වා ප්‍රතිකාර දීමයි. ඇදුම රෝගයේදී සෙම් සොටු ආදිය පිටකර යැවීම සඳහා මොළයේ පිහිටි නාස කේන්ද්‍රය ක්‍රියාත්මක වේ. වියළි කැස්ස හටගනු ලබන ශ්වාසනාල ඉදිමී ඇති නමුත් සුවයක් පිටවන්නේ නැතිවිට ශ්වාසනාල පේශී සංකෝචනයවීමෙන් ඇදුම රෝගී තත්ත්වයක් හටගනී. ස්වාස පළමු අවස්ථාවේදී මෙලෙස හටගනු ලබන්නේ රාත්‍රී කාලයේදී ය. පසු වන විට කාලවේලාවක් අවශ්‍ය නොවේ. ශ්වාසනාල අවරෝධනය වී පවතින නිසා වාතය පිට කර ගැනීමට නොහැකිව ප්‍රාශ්වාස කිරීමට දරුනු ලබන් මහත් වෑයමකි.

රෝගී අවස්ථාවේ දී පපුවෙන් ඇසෙන නළාවක් පිඹින්නාසේ ඇසෙන හඬ ද පූසකු හඬන්නාමෙන් ඇසෙන හඬද පිට කරන්නේ පපුවට දැනෙන මහත්වේදනාකාරී තත්ත්වය අනුවය. රෝගියාගෙන් මෙම ශබ්දය රාත්‍රී කාලයේ දී මෙන්ම අලුයම් කාලයේ දී හොඳින් ඇසේ. ඒ සමඟම කැස්සද මතු වේ.පපුවේ ගැස්මද අධිකවන අතර මහත් මහන්සියක්ද දැනේ. කුඩා දරුවන්ට ඇදුම වැලඳීමේ හැකියාව වැඩිය. සමේ රෝගයක් හෝ අසාත්මික තත්ත්වයක් හෝ පවතී නම් නැත හොත් දූෂිත පරිසරයක හෝ දේශගුණයකදී හුස්ම ගැනීමේ අපහසුතාවයකට පත්වන්නේ නම් ඒ ගැන වඩාත්ම සැලකිලිමත් විය යුතු ය. ඇදුම රෝග ලක්ෂණ පෙන්වන තවත් රෝග ද ඇත. එබැවින් ඇදුම රෝගය ගැන නිශ්චිත දැන ගැනීමෙන් පසු ප්‍රතිකාරවලට යොමු විය යුතු ය. ඇදුම රෝගය මානසික හා ශාරීරික වශයෙන් වේදනාකාරී වූ රෝගයකි. පපුවෙන් හටගැනෙන වේදනාව කන් හා නාසයෙන් ද මතු කෙරේ. ඇදුම රෝගියකු විඳින වේදනාව අන් අයට ද මහත් දුකක් වේදනාවක් ඇති කරන්නකි.

එමෙන්ම ශීත කළ ආහාර වර්ග අයිස් බීම, බීම පැකට්, පිටි කෑම, අධික ලුණු සහිත කෑම වර්ග, අච්චාරු වර්ග හා විනෝද ක්‍රීඩාවල යෙදීමෙන් ආඝ්‍රාණය වන දූවිලි ද රළු ආහාර මෙන්ම පිටි ජලජ අල ජාති විෂම ආහාර වර්ග කෘත්‍රිම ආහාර වර්ග ශීතල ආහාර වර්ග තම සෞඛ්‍යයට නොගැළපෙන ආහාර වර්ග ගැනීමෙන් වැළකිය යුතු ය. පුරුද්දකට මෙන් රාත්‍රී කාලයේ ස්නානය කිරීම, ඇඟ සේදීම රෝගයට තවත් හේතුවකි. සෙම්, උණ සෙම්ගෙඩි, අතීසාර, වමනය, ඔඩු පීනස, රක්තපිත්තය, උදාවර්තය, විසුචිකාව පාංඩුව, රක්ත වාතය යන මෙම රෝගවලින් හා විෂ දෘෂ්ටියෙන් ද ඇදුම හටගනී. ළය පීනසට නිසි ප්‍රතිකාර නොකළ හොත් ඇදුම රෝගියකුවීමට හැකියාව ඇත. එබැවින් රෝගී ලක්ෂණ සෙම්ගතියක් පවතී නම් ප්‍රතිකාරවලට යොමු විය යුතුමය. ඇතැම් කාන්තාවන්ට ගර්භිණී සමයේ දී සුළු ඇදුම තත්ත්වයක් ඇතිවේ. ගර්භණී තත්ත්වය අවසන් වීමෙන් පසු එම රෝගී තත්ත්වයද ඉවත් වේ.

ඇදුම රෝගියකුට ආහාරපාන ලබා දීමේ දී සැලකිලිමත් විය යුතු ය. තිරිඟු, කිරි අල වැනි පිෂ්ඨය බහුල ආහාර බණ්ඩක්කා, අලු පුහුල්, තක්කාලි, ගෙද නිවිති, අර්තාපල් ආදී එළවළු ද, අන්නාසි, වැල්දොඩම් වැනි පලතුරු ද ඉස්සෝ, දැල්ලෝ, පොකිරිස්සෝ, කකුළුවෝ, බලයෝ, හුරුල්ලෝ වැනි මාළු වර්ගද ඌරු මස්, හරක් මස් වැනි මස් වර්ගද ක්ෂණික බීම වර්ගද අහිතකරය. ඇදුම රෝගයෙන් පෙළෙන රෝගියා මානසික වශයෙන් මහත් පීඩාවට පත්ව සිටින රෝගියෙකි. ඒ නිසා අධික කේන්තිය නොරිස්සුම්ගතිය ක්ෂණික කෝපය, නිතර නිතර ඇති වේ. ඒ ගැන වටහාගෙන රෝගියාට නිසි ප්‍රතිකාර දිය යුතු ය. එමෙන්ම රෝගියා සිටින ස්ථානයේ පවතින අවිවේකී බව යම් යම් ශබ්දයන් ශබ්දනඟා කතාබස් කිරීම නිවෙසේ පවතින ආරවුල් ඔහුට හෝ ඇයට මහත් වදයක් වන බැවින් තද කේන්දි ගතියක් ඇතිවේ. එබැවින් නිසි විවේකයක් මෙන්ම නිහඬතාවයක් ද ඇති කළ යුතු ය. ඇදුම රෝගයෙන් පෙළෙන අයට සමහර ප්‍රතිකාරවලින් ක්ෂණික සුවයක් ලබාදේ. එහෙත් වරින්වර රෝගය උත්සන්න වීමෙන් රෝගියා මහත් පීඩාවට පත්වේ. එබැවින් ඇදුම රෝගය නිට්ටාවටම සුවකළ හැකි ආයුර්වේද ප්‍රතිකාර රෝගියාට මෙන්ම අන් අයටද මහත් සැනසිල්ලක් ගෙන දෙන්නකි.

බත්තරමුල්ල පැළවත්ත

රාජපුර වෙද මැදුරේ

ප්‍රධාන ආයුර්වේද වෛද්‍ය

සුමිත් එම්.පී. රාජපුර

 

සටහන

මාධ්‍යවේදී

බී.ඇල්. ප්‍රේමරත්න

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
6 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.