සුබසෙතින් සුවය

පෙබරවාරි 5, 2021

අවුරුදු 68ක විශ්‍රාමිකයෙක්මි. නිතරම වාතය පිටවීම කරදරයකි. ප්‍රතිකාරයක් පතමි.

බෙලිමුල්, තොටිලමුල්, පළොල් මුල්, අස්වැන්න ,පොල්පලා, නෙරෙංචි, සුදුහඳුන්, නෙල්ලි, රසකිඳ, කොත්තමල්ලි, නෙරෙංචි මුල්, කුඹුක්පොතු කලං 1 බැගින් ගෙන වතුර පත 24-3ට හිඳ පෙරා සීනි, මී පැණි දමා උදේ 6ට සවස 5ට රාත්‍රී 10ට පත 1 බැගින් බොන්න. දින 4ක්. සතියකට බීම ඉතාම හොඳයි.

 

සුමනාවතීගේ වයස 45 කි. පල්ලේබැද්ද, බඩ වාතයෙන් පිරීමත් අධෝවාතය නිතරම පිටවීමත් සඳහා ඔබතුමාගෙන් සහනයක් ඉල්ලමි.

 

පෙර රෝගියාට නියම කර ඇති ඖෂධ ගන්න. මෙම ප්‍රතිකාර ද කරන්න.

1.හරිතකී ඛණ්ඩය තේ හැඳි 1 ක් උණුවතුරෙන් දියකර බොන්න.

2.භාෂ්කර ලවණ චූර්ණය දවල්ට රෑට කෑමට පෙර තේ හැඳි 1/2 බැගින් උණු දියෙන් බොන්න.

3.රෑට සාරණ මාළුව කන්න ටිකක් වැඩියෙන්. ඉහත පළමු රෝගියාට ද මෙම ප්‍රතිකාරත් ගත හැකියි.

 

රංජන් කොස්ගම අවුරුදු 29 කි. නිතරම බඩ වාතයෙන් පිරීමත් වාතය පිටවීමත් සිදුවීමට බෙහෙත් දක්වන මෙන් ඉල්ලමි.

 

ඔබටත් පෙර සඳහන් දෙදෙනාටත් එම ප්‍රතිකාර ද මෙම ප්‍රතිකාර පන්තිය ද ඉතාම ගැළපේ. තිදෙනාටම ඔවුනොවුන්ට සඳහන් සියලු ඖෂධ ගැළපේ. එක සමාන රෝගීන් තිදෙනෙකුටම ප්‍රතිකාර දක්වන්නේ මෙයට සමාන රෝගී සිය දහසකටම යහපතක් ලෙසය.

1.කොත්තමල්ලි, අතිවිඩයන්, වියළි ඉඟුරු, අසමෝදගම් ,කලාඳුරු අල, බෙලිමුල්, ඉරිවේරිය දඬු, බැබිල මුල්, කලං 1 1/2 බැගින් සීනි, මීපැණි දමා සතියක් බොන්න.

2.දවල්ට රෑට කෑමට පෙර මුස්තකාරිෂ්ඨය මේස හැඳි 2 බැගින් බොන්න.

3.නින්දට පෙර සුකුමාර චූර්ණය තේ හැඳි 2 ක් උණු දියෙන් බොන්න.

යටිපතුල් පුළුන් කොට්ටයක් වගෙයි. ඇවිදීමට අමාරුය.

ඔබට ඇත්තේ හිරිවාතයයි. මෙම ප්‍රතිකාර ගන්න. 1 නික මුල් බෙලි මුල්. එරඬු මුල්, කටුකරඬු මුල්, බැබිල මුල්, වියළි ඉඟුරු කලං 2 බැගින් ගෙන වතුර පත 16-2ට සිඳ පෙරා එඬරු තෙල් මේස හැන්දක් දමා උදේට ද , සීනි දමා සවසට ද දින 7 ක් බොන්න. දියවැඩියාව ඇත්නම් සීනි නොදමා බොන්න.

1.ඉන්පසුව අශ්ව ගන්ධ ඍතය උදේ සවස තේ හැඳි 1 බැගින් කා සුදුළූනු , බැබිල මුල්, තැම්බූ වතුර සීනි දමා බොන්න.

2.දවල්ට රෑට කෑමට පෙර අශ්ව ගන්ධ අරිෂ්ඨය මේස හැඳි 2 බැගින් බොන්න.

3.ශූලහර තෛලය හා මහා නාරායන තෛලය මිශ්‍ර කර හොඳින් ගා විනාඩි 20ක් බැගින් හොඳින් අතගාන්න. දවසට තුන් වරක්.

අවුරුදු 62කි. සිරිරත්න පාදුක්ක, පාදවල හිරිය ඇත.

 

ඉහත රෝගියාට නියම කර ඇති ප්‍රතිකාර ගන්න. ඊට අමතරව දවල්ට රෑට කෑමට පෙර බලාරිෂ්ඨය මේස හැඳි 2 බැගින් බොන්න.

 

සුමනාවතී අඟුරුවැල්ල 64කි. යටිපතුල් හිරිවැටීමට ප්‍රතිකාර පතමි.

 

අංක 04, අංක 05 රෝගීන්ට සඳහන් ප්‍රතිකාර ඔබට ද ගත හැකිය. ඔබට සඳහන් ප්‍රතිකාර එම දෙදෙනාට ද ගත හැකිය. එක් බෙහෙත් වට්ටෝරුවකින් කිසිම අයෙකුගේ රෝගයක් සුව නොවේ.

1.බෙලි මුල්, තොටිල මුල්, පළොල් මුල්, ඇද්දෙමට මුල්, එළබටු මුල්, කටුවැල්බටු, අස්වැන්න, පොල්පලා. ගොකටු මදටිය 12 බැගින් ද, නික මුල් කලං 6ක් ද ගෙන වතුරපත 16- 2ට සිඳ පෙරා උදේ සවස සීනි මී පැණි දමා පත 1 බැගින් දින 2 ක් බොන්න. ඒ සමඟම යෝගරාජ ගුලි 2 බැගින් ගන්න.

එරබදු කොළ යුෂ මේස හැඳි එකක් මීපැණි දමා උදේ 8ට බොන්න.

ළපටි කොසොඹ කොළ තම්බා නිතර බොන්න.

 

අවුරුදු 63කි. ශරීරය පුරාම සමේ ඉරි රැළි ඇත.

 

මේ පාරම්පරික වාතරක්ත දෝෂ තත්වයකි. මෙම ප්‍රතිකාර ගන්න

1.රසකිඳ, දුම්මෑල්ල, කටුකරෝෂණ, හාතවාරිය අල, රත්කිහිරිය, අරළු, බුළු, නෙල්ලි, කලං 1 1/2 බැගින් ගෙන වතුර පත 16-2ට සිඳ පෙරා උදේට සවිදළුණු ද සවසට සීනි ද දමා පත 1 බැගින් දින 2ක් බොන්න.

උදේට ලුණු කැඳ පමණක් ගන්න. දවල්ට තැම්බුම් හොදි සමඟ බත් කන්න. රෑට කිරට උයා එළවළු 2ක් සමග බත් කන්න. එසේ ආහාර ගන්න. එවිට ඉක්මන් සුවයක් ලැබේවි .

2.ඉන්පසුව එම කසායම සීනි මී පැණි දමා තව දින 5ක් ගන්න.

3.දවල්ට රෑට කෑමට පෙර මෘජිෂ්ඨාදී ක්වාථය මේස හැඳි 2 බැගින් බොන්න.

4.උදේ 8ට රාත්‍රී 8ට නීලරසායනය තේ හැඳි 1 බැගින් කා නෙල්ලි රසකිඳ තැම්බූ වතුර සීනි දමා බොන්න.

5.එළවළු පලතුරු පලා වර්ග නිතර වැඩියෙන් ආහාරයට ගන්න.

6.ගිනියම් ආහාර, ඇඹුල් ආහාර. කරවල යනාදිය අඩු කරන්න.

7.නිතර ඇල්දිය බොන්න.

අවුරුදු 57 කි. ගුණවතී හංවැල්ල

තුනටියෙන් පහළ හිරිවැටේ. අත්පාවල ඇඟිලි ද හිරිවැටේ. අතින් යමක් ඇල්ලූ විට අතහැරේ. කකුල් හිරිවැටීම නිසා ඇවිදීම අමාරුයි.

 

ලේ දෝෂ සහන වාතරක්තයෙන් පෙළෙන බව පෙනේ. ඇඹුල් ආහාර වලින් වැළකී ප්‍රතිකාර ගන්න. දවල් කෑමට පෙර උණුදිය නාන්න.

01.තිප්පිලි, රසකිඳ , හාතාවාරිය අල, දේවදාර , බෙලි මුල්, එරඬු මුල්, වියළි ඉඟුරු, කලං 1 මදටිය 14 බැගින් ගෙන වතුර පත 24-3ට සිඳ පෙරා සීනි දමා උදේ 6ට සවස 6ට රාත්‍රී 10ට පත 1 බැගින් දින 6ක් බොන්න.

02.දින 2ක් කෂාය නවතා මෙම කෂාය බොන්න. තව දින 8ක්. අරළු, බුළු, නෙලලි, රත්කිහිරිය, රසකිඳ, බැබිල මුල්, දුම්මැල්ල, සාරණ මුල්, හාතාවාරිය අල, කලං 1 1/2 බැගින් ගෙන වතුර පත 24-3ට සිඳ පෙරා උදේට සවිඳළුණු ද සවසට සීනි ද දමා දින 2ක් උදේ 6ට සවස 6ට රාත්‍රී 10ට තව දින 6ක් තුන් වේලටම සීනි දමා බොන්න.

 

කෙණ්ඩ නසයි. තුවාල වේ. සැරව එයි. යටිපතුල් පැලේ, යටිපතුල් දැවිල්ල ඇත. ප්‍රතිකාර පතමි.

 

නමක් ගමක් වයසක් ස්ත්‍රී පුරුෂ බවක් දක්වා නැති ඔබට ඇත්තේ රක්ත වාතයයි.

01.අරළු, බුළු, නෙල්ලි, රසකිඳ, දුම්මැල්ල, කටුකරෝෂණ, හාතවාරිය, අල කලං 1 මදටිය 14 බැගින් ගෙන වතුර පත 16-2ට සිඳ පෙරා උදේ සවස පත 1 බැගින් සීනි දමා බොන්න 23 6ක්

02.මහා මංජිෂ්ඨාදී ක්වාථය දවල්ට රෑට කෑමට පෙර මේස හැඳි 2 බැගින් බොන්න.

3.කෛශෝර් ගුලි 2 බැගින් උදේ 9ට සවස 3ට රාත්‍රී 9ට සාරණ ,රසකිඳ තැම්බූ වතුරින් බොන්න.

04.අමුකහ. කොහොඹ කොළ, අතික්ක කොළ, නිදිකුම්බා තම්බා සෝදා පිණ්ඩ තෙල් ගාන්න.

 

කඳානේ අමරාවතී වයස අවුුරුදු 52 කි.

දිනපතාම හිස් කැක්කුම පවතී. ඊ.ඍ බලන්න බෑ. ඔළුව රිදේ. අව්වේ ඉන්නන් අමාරුයි. නෑවොත් තව වැඩිවේ. කඳුළුත් එයි.

අධීක ශරීර උෂ්ණයක් පවතින බව තේරුම් ගන්න. අම්ලතාවයද වැඩියි. උෂ්ණ ආහාර, ඇඹුල් ආහාර ශීත කළ ආහාරපානවලින් වැළකී ප්‍රතිකාර ගන්න.

01.ප්‍රත්‍යක්ෂ ධාත්‍රී ක්වාථය පටෝල කටුකාදී ක්වාථය මිශ්‍රකර දවල් රෑ කෑමට පෙර මේස හැඳි 2 බැගින් බොන්න.

02.කෛශෝර් ගුලි 2ක් ඒ සමඟම ගන්න.

04.නීල්‍යාදී තෛලය රත්කර නිවා උදේ 9ට පෙර හිසට දමා හොඳින් අතගාන්න.

05.උණු වතුරට කැටලුණු දියකර වේදනා තැන් තවා මහානාරායන තෛලය ගා හොඳින් අතගාන්න.

06.දිනපතාම නාන්න.

වයස 22 කි. කාන්ති මිරිස්වත්ත ගම්පහ

සෙම පවතී. බරපතල නැතත් කරදරයකි.

1.කළුහර ක්වාථය හා පිප්පල්‍යාද්‍යාසවය මිශ්‍රකර දවල්ට රෑට කෑමට පෙර මේස හැඳි 2 බැගින් බොන්න.

2.අමුඉඟුරු, කටුවැල්බටු, කොත්තමල්ලි, තම්බා සීතාරාම 2ක් සමඟ උදේ 7ට සවස 5ට බොන්න.

3.නිශාදි තෛලය හිසට දමන්න

අයිස්ක්‍රීම්, ඉදුණු කෙසෙල් කෑම ටික දිනකට නතර කරන්න.

 

අවුරුදු 72 කි ගුණසිරි – දොම්පේ

නොදැනීම මුත්‍රා පිටවේ. දවල්ට හා රෑට හිටි ගමන් පිටවේ.

 

1.බැවිල මුල් , සුඳුහඳුන්, නෙල්ලි, හීංගොකටු මුල්, බෙලි මුල්, කොතලහිඹුටු, මුල් කලං 2 බැගින් ගෙන වතුර පත 16-2ට සිඳ පෙරා උදේ සවස මී පැණි දමා දින 8ක් බොන්න.

2.ධාත්‍රී රසායනය දවල් 10ට සවස 4ට රාත්‍රී 10ට තේ හැදි 1 බැගින් බෙලි තැම්බූ වතුර ගන්න.

3.දවල්ට රෑට කෑමට පෙර දසමූලාරිෂ්ඨය මේස හැඳි 2 බැගින් බොන්න.

4.ගෝක්ෂරාදී ගුලි 2 බැගින් බැබිල මුල්, සුදුළූනු, තැම්බූ වතුරින් උදේ දවල් රෑ කෑමට පැයකට පසුව ගන්න.

 

(අවුරුදු 47ක කාන්තාවක්මි. බෙල්ලේ වායු ගෙඩියක් මතු වෙමින් ඇත. ප්‍රතිකාරයක් ඉල්ලමි.

01.දේවාදර, පත්පාඩගම්, කලාඳුරු අල, වදකහ, සිරිතේක්කු, කොත්තමල්ලි, කට්ඵල, අරළු, වියළි ඉඟුරු, බිංකොහොඹ කලං 1 මදටිය 4 බැගින් ගෙන වතුරපත 16-2ට සිඳ පෙරා සීනි, මී පැණි දමා පත 1 බැගින් උදේ 6ට සවස 6ට දින 8ක් බොන්න.

2.දවල්ට රෑට කෑමට පෙර දසමූලාරිෂ්ඨය සහ ලෞහාසවය මිශ්‍රකර මේස හැඳි 2 බැගින් බොන්න.

3.නින්දට පෙර කාංචනාර ගුග්ගිලි 2ක් කොබෝලීල පොතු තැම්බූ වතුරින් සීනි දමා බොන්න.

4.දවල් 10ට සවස 3ට භාෂ්කර ලවණ චූර්ණය තේ හැදි 1/2 බැගින් උණු වතුරින් සීනි දමා බොන්න.

5.කෝල ශ්ලේෂ්මා තෛලය බෙල්ලේ ගා අත ගාන්න. තේ හැන්දක් නින්දට පෙර බොන්න.

6.අමු හැල්මැස්සන් නිතර ආහාරයට එක්කර ගන්න. තව ප්‍රතිකාර වට්ටෝරු දෙක තුනක් ලබා ගෙන ස්ථිර සුවය ලබන්න.

 

ආයුර්වේද වෛද්‍ය

ඊ.එම්.නිමල් විමලරත්න ඒකනායක

වලකුඹුර, අලව්ව

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.