ආමාශයේ සහ ග්‍රහණියේ ක්‍ෂත

දෙසැම්බර් 25, 2020

අප මුඛයෙන් ගන්නා ආහාර ගලනාලය තුළින් ආමාශයට ද ඉන්පසු ග්‍රහණිය, කුඩා අන්ත්‍රය සහ මහාන්ත්‍රය තුළින් ගමන් කර ගුද මාර්ගයෙන් අසූචි ලෙස ශරීරයෙන් බැහැර වේ. ආමාශයේදී ආහාර දිරවනු ලබන්නේ ‘පාචකපින’ නම් වූ ස්‍රාවය මඟිනි.

නව්‍ය මාත්‍රා අනුව ආමාශයේ ඇති ස්‍රාවය (gastric juice) හයිඩ්‍රොක්ලෝරික් අම්ලය (HCI) සහ නඥනඵඪද වලින් යුක්තය. ආමාශයේ තිබෙන ශ්ලේෂ්මල ස්‍රාවය (mucous) ආමාශය ආරක්ෂා කරයි. ආමාශයේ තුවාලයක් හටගන්නේ ආමාශයේ තිබෙන පාචක පිතෙහි අඩංගු අම්ල pepsin සහ ආරක්ෂක ද්‍රව්‍ය අතර සමතුලිතතාවය නැතිවීම නිසාය. ආහාර දිරවන (පිත) ජීර්ණ ශක්තියට ඔරොත්තු දීමට ආමාශයේ සහ ග්‍රහණියේ ශ්ලේෂ්මධරා කලාව සමත් විය යුතුය. ආමාශයේ HCL අම්ලය සහ pepsin  ඇතිවිට පමණක් ක්‍ෂත (තුවාල – ulcers) හටගන්නා බව වාර්තා වේ.

ආමාශයේ ක්‍ෂත ඇතිවීම ආයුර්වේද ග්‍රන්ථවල අන්ත්‍රද ශූල යනුවෙන් ද, ග්‍රහණියේ ක්‍ෂත ඇතිවීම පරිණාමශූල යනුවෙන් ද දැක්වේ. අන්නද්‍රවශූල ආහාර දිරවන විට හටගනී. රෝගියා වමනය කර පිත පිටවූ පසු වේදනාව අඩුවේ. වේදනාව නාභිය ආශි‍්‍රතව ඇතිවන අතර, ආහාර ග්‍රහණියට ගිය පසුව ද වේදනාව අඩුවේ. කෙනෙකු ගන්නා ආහාර දිරවන අවස්ථාවේදී (පරිණාම කාලය) වේදනාව ඇතිවන නිසා, පරිනාම ශූල යන නාමය ලැබී ඇත. කෝප වූ වාතය,ආහාර දිරවන විට බලවත් වී, සෙම සහ පිත ආවරණය කර උදර වේදනාව ඇති කරන බව ආයුර්වේද මතයයි. සාමාන්‍ය වේදනාව Pain ලෙස ද උලකින් අනින්නාක් වැනි වේදනාව ශූල හෙවත් colic ලෙස ද දැක්වීම වඩාත් උචිතය.

අන්නද්‍රවශූල සහ පරිණාමශූල යන රෝගයන් පිත්තජශූල සහ ආමාජශූල යන රෝගයන්ගෙන් වෙන්කරගත යුතුය. ඉතා තීක්ෂණ , දැවිල්ල ඇති කරන, අබ, අබතෙල්, අන්නාසි, අච්චාරු, සෝස් වර්ග, විනාකිරි ,මත්පැන්, කොල්ලු තැම්බූ වතුර වැනි ආහාරපාන වැඩියෙන් ගැනීම නිසාත් අධිකව ක්‍රෝධ කිරීම, නිදිවැරීම, මෙවුන්දම් සේවනය, අව්වේ සිටීම, අධික වෙහෙසවීම නිසා පිත පැසීමට යාම නිසාත් පිත්තජශූලය නාභිය ආශි‍්‍රතව හටගනී. මෙහිදී පිපාසය, ක්ලාන්තගතිය, දැවිල්ල, අධිකව දහදිය දැමීම, කරකැවිල්ල හටගනී. මෙය හෘද රෝගයක් යැයි වරදවා සිතන අවස්ථා ද ඇත. මධ්‍යාහ්නයේ හෝ මැදියම් රැයේ ද, ආහාර දිරවන විට , වේදනාව හටගනී. ශීතල ඍතුවේ ද, මධුර ආහාර හෝ ශීතල ආහාරපාන ගැනීමෙන් වේදනාව අඩුවේ. ආමාජශූල රෝගයේදී ආහාරගන්නා විට උදර වේදනාව හටගනී. මලවලින් හෝ වාතය නිසා බඩපිපීම , උගුරට ඒම, නිතර සෙම උගුරට ඒම හෝ වමනය හටගනී.

ගලනාලය, ආමාශයේ පහළ කොටස, ග්‍රහණිය සහ කුඩා අන්ත්‍රයේ ඇතිවන ක්‍ෂත (තුවාල) Pepticulcer යනුවෙන් හැඳින්වේ. ආමාශයේ සහ ග්‍රහණියේ ඇතිවන තුවාල තීව්‍ර (acute) හෝ කාලීන (chronic) වශයෙන් හටගනී. මේවා ආමාශයේ හෝ ග්‍රහණියේ මාංශමය තට්ටුව (Muscuaris mucosae) සිදුරු කරයි. තීව්‍ර ලෙස හටගන්නා ක්‍ෂතවල පතුලේ පටක ඝන (fibrosis) නොවේ. Pepti ulcers ක්‍ෂත බටහිර රටවල අඩුවෙන් දක්නට ලැබෙන අතර, දියුණු වන රටවල වැඩිවෙමින් පවතී. ග්‍රහණියේ ක්‍ෂත , පුරුෂ ස්ත්‍රී අනුපාතය 5:1 - 2:1 වන අතර, ආමාශයේ ක්‍ෂත 2:1 හෝ ඊට අඩුය.

කාර්මිකරණය නිසා සංවර්ධනය වූ රටවල Halicobacter pylor ආසාදනය ,වයස්ගතවීමත් සමඟම වැඩි වී ඇත. එක්සත් රාජධානියේ වයස අවුරුදු 50 ට වැඩි අයගෙන් 50%ක් පමණ දෙනා මෙම ආසාදනයෙන් පෙළෙන බව වාර්තා වේ. ග්‍රහණි ක්‍ෂත රෝගින්ගෙන් 90%ක් පමණ ද, ආමාශක්‍ෂත රෝගීන්ගෙන් 70% ක් පමණ ද H.Pylori  ආසාදනයෙන් පෙළෙන බව හෙළිවේ. අධික දුම්පානය නිසා ආමාශයේ ක්‍ෂත වැඩියෙන් ද ග්‍රහනික්‍ෂත අඩුවෙන් ද හටගනී. ක්‍ෂත හටගත් පසු එයින් උපද්‍රව ඇතිවන අතර, දුම්පානය දිගටම කළහොත් ක්‍ෂත ද දිගටම පවතී.

සන්ධි ඉදිමීම සහ වේදනාව ඇති රෝගීන්ට යොදන NSAID (Non -Steroidal Anti Inflammatory Drugs) ඖෂධ ගන්නා රෝගීන්ට ද Peptic ulcer  රෝගය හටගනී. මෙම ඖෂධ රාත්‍රියට ගැනීමෙන් උදේට සන්ධි තදවීම වළකී. තවද පිළිකා රෝගීන්ගේ සන්ධි වේදනාව අඩු කිරීමට ද මෙම ඖෂධ යෙදේ. පැරණි සන්ධි රෝගයන්ට ද NSAID ඖෂධ සති 2-3 පමණ යෙදේ.

කාලීන ආමාශක්‍ෂත ,බොහෝවිට ඇතිවන්නේ එකකි. කාලීන ග්‍රහණි ක්‍ෂත එහි මුල් කොටසේ හටගනී. රෝගින් 10% දෙනෙකුගේ ආමාශය සහ ග්‍රහණිය යන කොටස් දෙකේම ක්‍ෂත හටගනී. රෝගීන් 10-15% දෙනෙකුට ක්‍ෂත එකකට වැඩියෙන් පවතී. ක්‍ෂතය පරණ වූ විට මාංශමය තට්ටුව සිදුරු කරයි. ආමාශ සහ ග්‍රහණික්‍ෂත වරින්වර ඇතිවෙමින් දිගු කාලයක් හෝ ජීවිතය පුරාම පවතී. මෙහිදී උදර වේදනාව වරින්වර තදින් හටගනී. උදරයේ ඉහළ කොටසේ ඇතිවන වේදනාව, එය ආහාර සමඟ ඇති සම්බන්ධතාවය සහ රෝගය වරින්වර ඇතිවීම යන ලක්ෂණ 3 මෙහිදී වැදගත් වේ. ක්‍ෂත රෝගීන් 40% කට වමනය හටගනී. රෝගියා දිනපතා නොකඩවා වමනය කරයි නම් ආමාශයේ අවරෝධයක් බවට සැක කර වහා රෝගියා රෝහලකට ගෙන යා යුතුය.

ක්‍ෂත රෝගීන් 1/3 කගේ රෝග ඉතිහාසය අපැහැදිලිය. විශේෂයෙන් NSAID ඖෂධ ගන්නා වැඩිහිටියන්ගේ මෙම තත්ත්වය පවතී. මෙම රෝගීන්ට බොහෝවිට උදර වේදනාව නැත. ආමාශය ප්‍රදේශයේ අපහසුතාවයක් ඇතිවේ. ඉඳහිට අරුචිය, ඔක්කාරය සහ ආහාර ගැනීමෙන් පසු බඩ පුරවා දැමීම යන ලක්ෂණ පමණක් හටගනී.

සමහර රෝගීන්ගේ ක්‍ෂතය නිශ්ශබ්දය (Silent) අපට නොපෙනී ක්‍ෂතයෙන් ලේ පිටවීම නිසා හෝ හදිසියේ ලේ වමනය කිරීම හෝ ක්‍ෂතය සිදුරුවීම නිසා නිරක්තිය හටගනී. වේදනාවෙන් තොරව ක්‍ෂතයෙන් ලේ පිටවිය හැකිය. නව්‍ය මාත්‍රා අනුව Endoscopy පරික්ෂාව කළ යුතු බව දැක්වේ. ආමාශයේ ක්‍ෂත , පිළිකා තත්ත්වයට පත්විය හැකි නිසා, සුවවන තුරු biopsy පරික්ෂා කළ යුතුය. රෝග ලක්ෂණ අඩුකිරීම, තුවාල සුව කිරීම, වරින්වර ඇතිවීම වැළැක්වීම සහ H.pylor ආසාදනය තුරන් කිරීම කළ යුතුය.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.