කාන්තාවන්ට වැළඳෙන කොන්දෙ අමාරුව හා අක්ෂි රෝග

දෙසැම්බර් 18, 2020

රැකියාවේ යෙදී සිටින සමහර කාන්තාවන් රැකියාව නිමවා නිවසට එන්නේ මහත් තෙහෙට්ටු ගතියෙනුයි. නිවසට ගොඩවෙන සමහර කාන්තාවන් රැකියාවට ඇඳගෙන ගිය ඇඳුම පිටින් පුටුවක හෝ ඇඳක් ඇලවී සිටිති. තවත් සමහරු නිවසට ගොඩවන්නේ ආවේගශීලිවය. තද කේන්තියෙනුයි. කුමක් හෝ දෙයකට කෑ කෝ ගසමින් බැණ වැදීම සිරිතකි. මේ නිසා දෙමාපිය වැඩිහිටියන් පමණක් නොව දූ දරුවන්ද ඉන්නේ මහත් බියකින්ය. මෙවැනි තත්ත්වයකට ඔවුන් පෙලඹෙන්නේ රැකියාව නිසා ඇතිවන කොන්දෙ අමාරුව හේතුවෙනුයි. දීර්ඝ කාලයක් තිස්සේ රැකියාව වෙනුවෙන් එකම ඉරියවුවක එකම විදියට සිටින විට ඊට අදාළ විවිධ රෝග ඇතිවීම වැළැක්විය නොහැකියි.

දිගුකලක් එකම ඉරියව්වෙන් වාඩි වී සිටිමින් ලිපි කටයුතුවල යෙදෙන හා පරිගණකයේ වැඩවල යෙදී සිටීමෙන් කොඳුඇටවලට වගේම ඇස්වලටද අයහපත් තත්ත්වයක් ඇතිවේ. කොන්දේ අමාරුවට මූලිකම හේතුව වන්නේ එකතැන එකම විදියට වාඩිවී සිටීමයි. කොන්ද කෙළින් තියාගෙන වාඩිවී නොසිට කොන්ද ඉදිරියට නවාංගෙන සිටීමෙන් කොන්දෙ කැක්කුම ඇතිවේ. අද රජයේ මෙන්ම පෞද්ගලික සේවා ස්ථානවලටද රැකියාවේ නියුතුවූවන්ගේ පහසුව සඳහා වායුසමීකරණය හා දැඩි විදුලි ආලෝකයද ලබා දී ඇත. මින්ද සමහර කාන්තාවන් දැඩි අපහසුතාවට ලක්වේ. ඊට හේතුවන් පවතින සමහර රෝගාබාධවලට එයද නුසුදුසුවන බැවිනි. වායුසමීකරණයේ දැඩි සිසිලස නිසා ශ්වසන පද්ධතිය ආශි‍්‍රත කල් පවතින සෙම්ප්‍රතිශ්‍යාව ,කැස්ස හිස කැක්කුම ඇතිවීම මෙන්ම බෝ නොවන රෝගවලට ද හේතුවන බැවිනි.

මේ වන විට සැම කාර්යාලයකම මෙන්ම සියලුම සේවා ස්ථානවල සේවා කටයුතුවල පහසුව සඳහා ලබාදී ඇත්තේ පරිගණකයයි. එහි සේවාවේ යෙදී සිටින අය දිගු කලක්ම එහි නිරතව සිටීමෙන් දෘෂ්ටි ආබාධ මෙන්ම හිසේ කැක්කුමද ඇතිවේ. බොහෝවිට දිගටම පරිගණයට දෑස් යොමුව සිටීමෙන් ඒ තත්ත්වයන් ඇතිවේ. එමෙන්ම අධික ශබ්දයට යොමුවීමෙන් ශ්‍රවණාබාධවලට පවා ලක්වේ. පැය ගණනාවක් එකම ඉරියවුවකින් වාඩිවී සිටීමෙන් කොන්දේ වේදනාව ඇතිවේ. එවැනි වේදනාවක් හටගත් විට අසුනෙන් නැගිට ටික වේලාවක් එහාට මෙහාට ඇවිදීමෙන් හා වෙනත් අයකු සමඟ කථා කිරීමෙන් වේදනාව නැතිවේ. වාඩිවී එම ඉරියවු වෙනස් කර කර සිටීමටද උනන්දුවන්න. පැය කීපයක් කකුල් එකම ඉරියවුවකින් එකම විදියට තබාගෙන සිටීමෙන් කලක් ගත වන විට විවිධ සන්ධි ආශි‍්‍රතව රෝගවලට ලක් විය හැකිය. ශරීරයේ අස්ථි පද්ධතියේ විවිධ සංකූලතා ඇතිවීමට ද මෙය හේතුවක් වේ.

පැය භාගයකට වරක්වත් ඉඳගෙන සිටින අසුනෙන් නැඟිට ඇවිද නැවත රාජකාරියේ යෙදීම සුදුසුය. තවද එකම විදියට බොහෝ වේලාවක් සිටීමෙන් ශරීරයේ රුධිර ගමනාගමනයට ද යම් බාධාවක් ඇතිවේ. මේ නිසා ඉරියව් වෙනස් කරමින් සිටීම වඩාත්ම යහපත්ය. පරිගණකය දෙස බොහෝ වේලාවක් එකඑල්ලේ බලා සිටිමින් රාජකාරියේ යෙදී සිටීම අක්ෂි වේදනාවට හේතුවකි. මේ නිසා අක්ෂිකණ්ඩිවලට පවා යොමුවීමට සිදුවේ. පරිගණකය දෙස බලා සිටින විට විනාඩි කීපයකට හෝ දෑස් වෙනත් දෙසකට යොමු කොට දෑස්වලට විවේකයක් ලබා දෙන්න එසේ නොවුනුහොත් දෑස්වලින් කඳුළු පවා මතුවීමට ඉඩ ඇත. නිසි විවේකයක් ලබා නොදී දිගටම එකම ඉරියවුවෙන් කටයුතු කිරීමෙන් බොහෝ රෝගාබාධවලට ලක්වේ. එය මතුවෙන්නේ කලක් ගිය පසුවය. නමුත් සමහර කාන්තාවන්ට එම රෝගාබාධවලින් රාජකාරියේ නියැළෙන අවස්ථාවලදී පවා පීඩා විඳීමට සිදුවේ.

කොන්දේ අමාරුව නිසා මහත් වේදනාවෙන් පීඩාවට පත්ව සිටින වැඩිහිටියන් ද එමටය. විශේෂයෙන් තරුණ පිරිස අතර කොන්දේ අමාරුවලට ලක්වී ඇත්තේ පුටුවක වාඩිවී සිටියත් බසයක ගමන් ගත්තත් දෙකට නැමී සිටීමට පුරුදුවීමෙනි. මෙවැනි රෝගී තත්වයකට මුහුණදීමට සිදුවන්නේ සන්ධි ආශි‍්‍රතව ඇතිවන වේදනා නිසයි. ඒ මාංශපේශී සහ තන්තු ඇදීම හේතුවයි. කොන්දේ අමාරුවට තවත් හේතුවක් වන්නේ කාටිලේජ්වල පලුදුවීමයි. ශරීරයේ බර ඉහළ යෑමක් කොන්ද අමාරුවට හේතුවක්. එම නිසා උසට සරිලන බරක් පවත්වා ගෙන යෑමට උනන්දු විය යුතුය. එමෙන්ම අතපයවල නැමෙන දිග හැරෙන තැන්වලින් ඇතිවන හන්දිපත් වේදනාවට ගොදුරුවූවන් ද බොහෝය. අධික ලෙස වෙහෙසවීමත් වයස්ගත වීමත් මෙයට එක හේතුවකි. මෙයට බැක්ටීරියා ආසාදන ද හේතු විය හැකිය. යටි කොන්දේ පිහිටි අස්ථි කශේරුවාකාව අතර කාටිලේජ් පිහිටා ඇත. කොන්ද නැවීමට දිගහැරීමට කොන්දට හැකියාව ලැබී ඇත්තේ කාටිලේජ් මගිනි.

කොන්ද ආශි‍්‍රතව හටගැනෙන වේදනාවට වැඩියෙන්ම හේතුවන්නේ නිවැරදි ඉරියවුවලින් කටයුතු නොකිරීමයි. කෙසේ වෙතත් කොන්දේ අමාරුව ඇත්නම් වෛද්‍යයකුට පවසා ප්‍රතිකාර ගැනීමට උනන්දු විය යුතුයි. හාල්මැස්සන් කුඩා මාළු වර්ග, කිරි මෙන්ම කොළ, පලා වර්ග වැඩියෙන් අහාරයට ගන්න. කොන්දේ අමාරුව ඇතිවීමට උදරයේ හා පාදවල මාංශපේශීන් දුර්වල වීමද බලපාති. විෂබීජ ශරීර ගතවීම නිසාත් වේදනාකාරි තත්ත්වයක් ඇතිවිය හැකිය. එවැනි තත්ත්වයකදී උණගත.ිය කෑමට පි‍්‍රය නොවීම නින්ද නොයෑම මල මූත්‍රා පිටකිරීමට බාධා ඇතිවීම ආදි රෝග ලක්ෂණ පෙන්නුම් කෙරේ. නිතරම පිපාසය ඇතිව හෝ නැතිව වතුරබීමට උනන්දු විය යුතුය. දිනකට වතුර වීදුරු අටක් හෝ දහයක් හෝ පානය කරන්න පුරුදු වෙන්න. කොන්දෙ අමාරුව පවතින්නේ නම් කැල්සියම් හා ඩී විටමින් අඩංගු ආහාර වැඩි වැඩියෙන් ගත යුතුය. ඒ සඳහා වඩාත්ම සුදුසු එළවළු වන්නේ කරවිල, මුරුංගා, නෙළුම් අල හා කොළ පැහැති පලාවන්ය.

මොනරාගල සිරිගල ආයුර්වේද වෛද්‍ය මැණික් නේරංජනා හෙට්ටිආරච්චි

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.