වර්ෂ 2024 ක්වූ November 15 වැනිදා Friday
නොරිස්සුම් සහගත බවට විසඳුමක්
‘විසබීජ ආකර, මොන තරම් ලෙඩ තියෙනවාද දන්නේ නැහැ. අපිටත් බෝවෙයි. නාකින්ගේ හුළඟවත් වදිනවට මම කැමැති නැහැ’ ඔහු කියාගෙන කියාගෙන ගියේය. මිථිලාට තවදුරටත් මව නිවෙසේ තබා ගැනීම ගැටලුවක් විය.
‘අද ඕනතරම් ගෙදර කෑම තියෙද්දි කඩෙන් කෑම කන්නේ ඇයි’ මිථිලා ඇසුවේ අහිංසක ලෙසිනි. ගයාන් නුරුස්නා සහගත මුහුණින් පැවසුවේ මිථිලාගේ මව කෑම පිසීමට උපකාර වන්නට ඇති නිසා එම කෑම ගැනීමට අකැමැති බවය. මව පැමිණ සිටින්නේ මිථිලාගේ උපකාරයටය. ඇය කුළුඳුල් දරුවා බිහිකර තවමත් දෙසතියක්වත් ගත වී නැත.
මව නොපැමිණියා නම් ගයාන්ට දිනකට අධික මුදලක් ගෙවා උපස්ථායිකාවක් සොයා ගැනීමට සිදු වෙයි. ගයාන් නැන්දණිය කරන උපකාරයට දිනපතා වන්දනාමාන කළ යුතුය. එසේ නමුත් ඇය ලබන්නේ වඳින්න ගිය දේවාලය ඉහ මත කඩා වැටීමේ අත්දැකීමය. මව සිටින විට ඔහු හැසිරෙන්නේ පිටස්තරයකු මෙනි. බොහෝ විට නිවෙසේ රැඳෙන්නේ ද නැත. මව කතාබහ කළ ද ඊට ප්‍රතිචාර දක්වන්නේ නොරිස්සුම් සහගතවය. මෙයින් වඩාත්ම සිත් තැවුලට පත් වන්නේ මිථිලාය.
දරුවා ලැබෙන්නට පෙරදී පවා ගයාන් මහගෙදරට කැඳවාගෙන යාම ඉතා අසීරු විය. එනිසාම බොහෝ විට ඇය ගියේ තනිවමය. විවාහ වූ අලුත හුදෙකලාව යාමට සිදු වීම නිසා මිථිලා දැඩි අසීරුතාවයකට පත් වූවාය. එසේ තනිව යාම විවාහ ජීවිතයේ යම් ගැටලුවක් ඇත් ද යන සැකය අසල්වැසියන්ගේ සිත්වල ඇති කිරීමට හොඳටම ප්‍රමාණවත්ය. ගයාන් තම ඥාතීන් පමණක් නොව ඔහුගේ ඥාතීන් ද බැලීමට නොයයි.
එනිසා තම නෑයන්ට මෙසේ සැලකීම ගැන ඇය පුදුම නොවූවාය. ඇය සිතුවේ ඔහු පියකු වූ පසු මේ ගති ස්වභාවයන් වෙනස් වේ යයි කියාය. එහෙත් දශමයකින් හෝ ඔහුගේ පුරුදු වෙනස් වූයේ නැත. මිථිලා සැමවිටම ඔහුට වැඩිහිටියන් ගැන සංවේදී කතා පවසා උත්සාහ කළේ වැඩිහිටියන් කෙරෙහි ඇති නුරුස්නා බව නැති කිරීමටය. එහෙත් ඇය පවසන කිසිවක් ඔහු සිතට ගත්තේ නැත. ගයාන්ගේ උපන් දිනයට මිථිලා හොර රහසින් වැඩිහිටි නිවාසයකට දානයක් සූදානම් කළේය. ඔහු එදින නිවාසයට රැගෙන ගියේ යුද්ධයක් කිරීමෙනි. ඇය කල් ඇතුව එහි පාලිකාවට සහ සෙසු නිලධාරිනියන්ට ගයාන්ගේ ස්වභාවය ගැන පවසා තිබිණි. ඔහු නිවාසයට ඇතුළු වූයේ මුහුණ ඇඹුල් කරගෙනය. ඇය අහිංසක වැඩිහිටියන් පෙන්වමින් ඔවුන්ගේ පින්වත් සිරියාවන්ත පෙනුම ගැන පැවසුවාය. ඔහු කළේ මුවින් නොබැණ සිටීමය.
ඇයගේ බලවත් පෙරැත්තයටම ඔහු ආහාරපාන බෙදුවේය. ඒ ඉතා අකැමැත්තෙනි. නිවාසයේ වැඩිහිටියෝ ගයාන්ට සසරටම ඇතිවන්න පින් දුන්හ. එවිට මිථිලාගේ දෑස් කඳුළින් තෙත් වුව ද ගයාන්ගේ නෙත් වියළි කාන්තාරක් බඳු විය. ගයාන්ගේ අසංවේදීකම නිසා මිථිලා පුදුමයෙන් පුදුමයට පත් විය. දෙදෙනා හමු වූයේ සරසවියේදීය. එකල ද ඔහු වයෝවෘද්ධ මහාචාර්යවරුන්ට දැක්වූයේ මහත් අකැමැත්තකි. මිථිලා ඒ ගැන එතරම් සිතුවේ නැත. ඔහු වැඩිහිටියන්ට මෙතරම් අකැමැති බව දැනගත්තා නම් මිථිලා ඔහු හා විවාහ නොවීමට ද ඉඩ තිබිණි.
වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>
උපදෙස් :–
වෛද්‍ය, ස්වාපනික විද්‍යාවේදීන්ගේ සංගමයේ සභාපති
පී.එන්.විද්‍යාකුලපති
සටහන
චම්පිකා දීපානි රණසිංහ