මහින්දාගමනයෙන් පසු දියුණුවූ ආයුර්වේද සේවාව

ජුනි 21, 2019

යො ගිලානං උපට්ඨහෙය්‍ය
සො මං උපට්ඨහෙය්‍ය

සුගත තථාගත අප සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ මේ උතුම් දේශනාව අනුව යමෙක් ගිලනුන්ට උපස්ථාන කරන්නේ නම් ඔහු බුදුරදුන්ට උපස්ථාන කිරීමක් හා සමාන වන්නේය.

මෙම බුද්ධ දේශනාව නියම ලෙසම ක්‍රියාත්මක කිරීමෙහිලා බුද්ධාගමේ දැක්වෙන කරුණාව, පරාර්ථචර්යාව, ඉවසීම වැනි ගුණාංග උපයෝගී කරගෙන ථේරවාදි හා මහායාන බුද්ධාගම් ව්‍යාප්ත කළ ධර්ම දූතයන් ආයුර්වේද වෛද්‍ය විද්‍යාව දියුණු කොට සත්වයන්ගේ ශාරිරික මානසික රෝගාබාධයන් සමනය කරන්නට තමන්ගේ බුද්ධියට, ක්‍රියාකාරිත්වය උපයෝගී කරගෙන ඇත.

මිනිසාගේ ආයු කාලය දන්නා විෂය ආයුර්වේදයයි අර්ථ විවරනය අනුව දැක්වෙන අතර එය විද්‍යාවක්ද, ශාස්ත්‍රයක්ද, විඥානයක්ද, චිකිත්සාවක්ද වන්නේය. බුදුදහම එයට සංයුක්ත වූ විට එයින් වන සේවාව සිතා කියා නිම කළ නොහැක්කේ මය.

භාරත ජනතාව පිළිබඳව ඉතා තියුණු දැනීමක් ලැබූ අප බුදුරජාණන් වහන්සේ විවිධ පුද්ගලයන්ගේ හැඟීම් උපයෝගී කරගෙන වෙද, බමුණා, කම්කරුවා, පාලකයා, ශ්‍රමණයා , අසරණයා, පඬිවරයා, ආදි සියල්ලන්ට චින්තනයෙන් අවවාදයෙන්, උපදේශයෙන්, ආදර්ශයෙන්, සෙසු ආගමික නායකයන්ට වඩා යථාර්ථයෙන්ම ශාන්ති දායක වූ සේක.

ක්‍රි.පූ. 6 වැනි සියවස භාරතයේ පැවති අධ්‍යාපන විෂයන්ට ත්‍රිවේදය, ආයුර්වේදය, ත්‍රිපිටක ධර්මය, ජෛන සාහිත්‍ය, යන විෂයන් ප්‍රධාන වශයෙන් අයත්වූ අතර ආයුර්වේය ඉතාමත් උසස් විෂයක් ලෙස සෑම දෙනාගේම අවධානයට යොමුවී ඇත.

අප බුදුරජාණන් වහන්සේ සත්වයාගේ භව දුකට මෙන්ම වර්තමානව ඇතිවන ශාරීරික ලෙඩ දුක් වේදනාවන්ටද වෙද හෙදකම් හා ඒ සම්බන්ධ විනය ප්‍රඥප්තිද පැනවු අයුරු චුල්ලවග්ග පාලියේ භේසජ්ජක්ඛන්ධකයේ විස්තර වන්නේය.

භාරතීය ආර්ය ජනතාව ලක්දිව ජනාවාස ඇතිකොට සමකාලීන අධ්‍යාපන ක්‍රමද ඇතුළත්ව තම ජන ජීවිතය සාරවත් කරගත් අයුරු ඓතිහාසික වාර්තාවලින් ප්‍රකට වන්නේය. භාරතයෙන් පැමිණී ආයුර්වේද වෛද්‍ය ක්‍රමය ලක්දිව වෛද්‍යවරයන් විසින් දේශීයත්වයෙන් දියුණු පමුණු කරගත් වග ලියන ලද වෛද්‍ය ග්‍රන්ථවලින් ප්‍රත්‍යක්ෂ වන්නේය.

ජගත් පාලන තන්ත්‍රයේ අසහාය බෞද්ධ අධිරාජයාණන්වූ ධර්මාශෝක රජතුමා බුද්ධාගම ව්‍යාප්ත කළ සෑම රාජ්‍යයකම මනුෂ්‍ය චිකිත්සා , මෙන්ම පශුචිකිත්සා ක්‍රමද ඇතිකොට අවශ්‍ය ඔසු උයන්, උපකරණ, වෛද්‍ය පුහුණුව ආරෝග්‍යශාලා, ආහාරපාන වැටුප්, සපුරා සම්පාදනය කරවූහ.

ආරෝග්‍ය මිච්ඡේ පරමංචලාභං උතුම්ම ලාභය වූ ආරෝග්‍ය කැමති වන්නේය යන අශෝක ශිලා ලේඛනයේ අදහස බුදුරදුන් විසින් වදාළ (ආරෝග්‍යා පරමාලාභා) යන අදහස අනුගමනය කිරීමකි.

අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ මෙරටට බුදුදහම හඳුන්වා දීමෙන් පසු ජනතාවගේ පොදු අවශ්‍යතා සියල්ලම බුදුදහම පදනම් කරගෙනම සකසා ගත් අයුරු දක්නට පුළුවන.

අථර්වන් වේදයේ උපාංගයක් වශයෙන් දැක්වෙන ආයුර්වේදය ඉගෙණීම, ඉන් සේවය කිරීම මහා පුණ්‍ය කර්මයක් වශයෙන් චරක සංහිතාවේ දැක්වෙන අතර කරුණාවෙන් ලෙඩුන්ට උපස්ථාන කිරීම බුද්ධ උපස්ථානයක් ලෙස බුදුදහමේ විස්තර වන්නේය.

මිහිඳු මහරහතන් වහන්සේ ලක්දිවට වැඩීමට පෙර සිටම ලක්දිව ආයුර්වේද සේවාව පැවති බවට පණ්ඩුකාභය රාජ්‍ය පාලනයෙන් දක්නට පුළුවන.

සම්බුදු සසුන පිහිටුවීමෙන් අනතුරුව හෙළ රජදරුවන් ජනතා අවශ්‍යතා සියල්ල සම්පාදනය කළේ බෝසත් ගුණය මූර්තිමත් කරමිනි. බුදුදහමත්, ධාර්මික පාලනයත්, ආයුර්වේදයත් කෘෂිකාර්මික ආර්ථිකයත් එක්වන්ව දියුණු පවුණු කිරීම නිසා පොදු ජනතාවගේ, ලෞකික ලෝකෝත්තර අපේක්ෂාවන් ඉෂ්ඨ සිද්ධ කරගැනීමට හැකිවිය.

වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>

අස්ගිරි මහා විහාරයීය
මහෝපාධ්‍ය ශාස්ත්‍රවේදී රාජකීය පණ්ඩිත
අමුණුපුර පියරතන නාහිමි

සටහන
කේ.බණ්ඩාරනායක

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
6 + 10 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.