වර්ෂ 2024 ක්වූ November 15 වැනිදා Friday
ආගමික ස්ථානවලදී පරල වීම මානසික විඝටනයක්
මහගෙදරින් සමු අරගෙන යන තුරුම හරින්දිට ‘දුක’ යන අකුරු දෙකේ අරුත වැටහෙන්නට ඇයගේ මාපියන් ඉඩ ලබා දුන්නේ නැත. එහෙත් හිතුමනාපයට කවින්ද සමඟ දීග යාමෙන් පසු ඇය අඩුවක් නැතිව එහි අරුත වටහා ගත්තාය. කවින්දගේ මව සැම විටම හරින්දිට නපුරු කුඩම්මා කෙනකු වූවාය.
නිවෙසේ සෑම බිම් අඟලකම ආධිපත්‍ය දැරුවේ නැන්දණියයි. නව යුවළට නිදහසේ කතාබහ කරන්නට ඉඩක් ලැබුණේ ඇය නිවෙසේ නැති මොහොතක පමණි. හරින්දි සූපවේදයට අති දක්ෂය. විවාහයට පෙර ඇය ඇති තරම් කවින්දට රසට කෑම බීම සාදා දුන්නාය. එහෙත් නැන්දම්මාගේ නිවෙසට පැමිණි පසු තේ කෝප්පයක්වත් සාදා දීමට හරින්දිට වරම් ලැබුණේ නැත. නැන්දණිය සැම විටම සිටියේ ඔවුනගේ හුස්ම පොදේ හඬ ද ඇසෙන දුරකින්ය. කාමරයේ යතුර පවා තිබුණේ ඇය ළඟය. දෙදෙනා කාමරයට යන සෑම මොහොතකම නැන්දණිය කුමන හෝ හේතුවක් පවසමින් කාමරයට පැමිණියාය.
නැන්දණියට එරෙහිවීමට තරම් ශක්තියක් හරින්දිට නොතිබිණි. කුඩා වියේ සිටම ඇය දබරකාර චරිතයක් නොවූවාය. ඇය සියලු චිත්ත පීඩාවන් ජලයෙන් මතුපිටට එන රබර් බෝලයක් මෙන් අසීරුවෙන් යටපත් කර ගත්තාය. කවින්දට මවගේ හැසිරීමේ වරද නොවැටහුණා නොවේ. එහෙත් බිරියත් මවත් අතර දෝලනය වෙමින් අසරණයකු ලෙස බලා සිටීම හැර ඔහුට අන් කළ හැකි කිසිවක් තිබුණේ නැත.
එහෙත් නැන්දණියට දිගු කලක් ආධිපත්‍ය පැතිරවීමට ලැබුණේ නැත. හිටි හැටියේම හරින්දිගේ සිදු වූ පෙරළිය කවින්දගේත් නැන්දණියගේත් හරින්දිගේත් ජීවිතවලට සිදු කළේ නොසිතූ විරූ බලපෑමකි.
හරින්දිට විවාහයටත් පෙර මියගිය කවින්දගේ සීයා ආවේශ විය. සීයාට කවින්දගේ මව හොඳින් සැලකුවේ නැති බව ගම්මුන් පවසනු ඇය අසා තිබිණි. ඇසට නොඇසෙන ගණනට කතා කරන තැන්පත් හරින්දි එක්වරම චණ්ඩ මාරුතයක් මෙන් ප්‍රචණ්ඩ විය.
“මට සලකපු හැටි රටම දන්නවා. වෙලාවට කන්න බොන්න දුන්නෙ නෑ. අඳින්න දුන්නෑ. නිගණ්ඨනාථ පුත්‍ර වගේ නුල් පොටක්වත් නැතුව හිටියා”. සීයාගේ හඬට සමාන හඬක් හරින්දිගේ මුවින් පිට වෙයි. කවින්ද ඒ හඬට සවන් දුන්නේ මවිතයෙනි. ඇයගේ චර්යා රටාව සම්පූර්ණයෙන්ම වෙනස් වූ පසු නැන්දණියට නිවෙසේ අධිරාජිනියගේ ධූරයෙන් සමු ගැනීමට සිදු විය. ඉන් පසු ඒ තැන අර ගත්තේ හරින්දියි.
සීයා ආවේශ වූ පසු හරින්දිගේ දෑත් දෙපා යකඩ අඩු මෙන් දැඩි වෙයි. ඇතැම් අවස්ථාවල ඇයගේ මුවින් අසැබි වචන පවා පිට වෙයි. මේ නිසා හරින්දි ආවේශ වනවාට නැන්දණිය බිය වූ අතර හැකි සැමවිටම කළේ ඇයගෙන් ඈත් වී සිටීමය.
කවින්දට මෙය මානසික වධයක් වූයේ හරින්දි සමඟ පන්සල් යාමට ඔහුට නොහැකි නිසයි. පිරිමින් සිල් ගැනීමට අඩුවෙන් යන ප්‍රවණතාවක් රටේ ගොඩ නැඟී තිබුණ ද කවින්ද පෝයට සිල් ගත්තේය. එහෙත් හරින්දිගේ වෙනසින් පසු ඇය හේවිසි හඬට පවා දැක්වූයේ දැඩි නොරිස්සුම් සහගත බවකි. හේවිසි හඬට ඇය ආවේශ වීමට නිමේෂයක්වත් ගත වන්නේ නැත.
වැඩිදුර තොරතුරු සදහා මෙවර කලාපය බලන්න (සිකුරාදා) >>>
උපදෙස් :– වෛද්‍ය, ස්වාපනික විද්‍යාවේදීන්ගේ සංගමයේ සභාපති
පී.එන්.විද්‍යාකුලපති
සටහන
චම්පිකා දීපානි රණසිංහ