ඉදිරි මාස දෙකක් පුරා සුබපල දෙන රාජ යෝග තුනක්

මැයි 17, 2024

 

මේ මස 19 වැනිදායින් ආරම්භ වන මාස දෙකක කාලය තුළ රාජ යෝග රැල්ලක් ලග්න දොළහ කෙරෙහිම බලපායි. මැයි 19 වැනි ඉරිදා පෙරවරුවේ සිකුරු වෘෂභ රාශි ගතවීමෙන් මාලවී නම් පංච මහා පුරුෂ යෝගය ද, ජුනි මස 01 වැනි දින සවස් යාමයෙහි කුජ තම මූල ත්‍රිකෝණ රාශිය වූ මේෂ රාශියට පැමිණ රුචක යෝගයද, ජුනි මස 14 සිකුරාදා රාත්‍රි කාලයේ බුධ මිථුන රාශියට පැමිණ භද්‍රා යෝගය ද යෙදේ.

මාලවී යෝගය මේ මස 19 වැනිදා සිට ජුනි 12 වැනි දින සවස් යාමය වනතුරු පවතින අතර එය වෘෂභ, සිංහ, වෘශ්චික හා කුම්භ ලග්නවලින් එකී කාලය තුළ ජන්ම ලාභය ලබන දරු දැරියන්ගේ ජන්ම පත්‍රයන්හි පිහිටනවා ඇත. ඒ පිළිබඳ ජාතක රත්නාකරයේ සඳහන් වන්නේ මෙලෙසය.

 

මාලෙහි උපනුන් ලියෙකුට බඳු නිති

කායික වැඩ කටයුතුයෙහි යෙදූ මැති

බෝකොට සත දැනුමෙන් පණ්ඩිතවෙති

දීමෙහි තුටුවෙයි සුන්දර ගුණ මෙති

 

අඟහරු හෙවත් කුජගේ රුචක යෝගය 2024 ජුනි මස 01 වැනිදා සවස් යාමයේ සිට ජූලි 12 වැනිදා සවස් වනතුරු යෙදෙයි. මේ කාලය තුළ මේෂ, කටක, තුලා, වෘශ්චික හා මකර ලග්නවලින් උපත ලබන දරුවන්ගේ කේන්දරවල මේ රුචක රාජයෝගය පිහිටනවා ඇත.

ජාතක රත්නාකරයෙහි ඒ පිළිබඳ මෙසේ දැක්වේ.

 

රුචකෙහි උපනුන් මද රත් පැහැ වෙති

ඇඟ වෙර විරියද සතරත් දැනුමැති

යහපත් පැවතුම දීමෙහි තුටු වෙති

රජෙකුට බඳු යස ඉසුරෙන් යුතු වෙති

 

මේ යෝග බලය රඳා පවතින්නේ ඒ ඒ ජන්ම පත්‍රවල කේන්ද්‍ර ගතව හෙවත් 1 -4 - 7 - 10 යන ස්ථාන වල මේ යෝගය යෙදීමෙනි.

භද්‍රා යෝගය යෙදෙන්නේ බුධ ග්‍රහයා මිථුන, කන්‍යා, රාශිවල ගමන් කරන කාලවලදීය. ඒ අනුව එළැඹෙන ජුනි 14 සිකුරාදා රාත්‍රි කාලයේ බුධ මිථුන රාශියට පැමිණ ජුනි 29 ශනි දින දහවල් කාලය වනතුරු එහි ගමන් කරනු ලබයි. මේ කාලය තුළ මිථුන, කන්‍යා, ධනු, මීන රාශිවලින් උපත ලබන දරුවන්ගේ ජන්ම පත්‍රවල භද්‍රා යෝගය පිහිටනවා ඇත. මෙහි පල ලෙස ජාතක රත්නාකරයෙහි දක්වන්නේ

බදයෙහි උපනුන් බඹයක් උස වෙති

දිවියෙකු බඳු මුව ගජ ගමනය වෙති

සපිරුණ උරතල කලවා මහතැති

උඩඟුවෙ නිතරම බඳුනට සලකති

 

බුදහුට හිමි රැස කන්‍යා මිථුනෙත්

ලද අට දස සිවු සත්වන ලග්නෙත්

තද බද භද්‍රා යෝගෙන් උපනොත්

විඳ සව් සිරි සැපතින් සත දයුණත්

යනුවෙනි.

මාලවී, රුචක, භද්‍රා යන යෝග උපතේ දී පිහිටි ජන්මීන්ට මෙන්ම ලග්න දොළොසටම පොදු වේ ගත් කල මේ කාලසීමාව සුබපල අත්කර දෙනු ඇත. සියලුම ලග්න හිමියන්ගේ ග්‍රහ බල දුබලතා අනුව ඔවුනට මේ යෝගවල බලපෑම යෙදෙනු ඇත. විශේෂයෙන්ම මාලවී යෝගයෙන් විශේෂ අධ්‍යාපන දියුණුව ගෙන දෙන අතර කලා කෂේත්‍රයේ දියුණුව ද පිහිටනු ඇත. එමෙන්ම මේ යෝග නරකට පිහිටිය හොත් සියල්ල අහිම වී යෑමට ද හැකියාව ඇත. ඒ තත්ත්වය තීරණය වන්නේ ජන්මියාගේ කේන්දරයේ ග්‍රහ පිහිටීම්වල බල දුබලතා මතය.

රුචක යෝගයෙන් මේෂ, වෘශ්චික, මකර ලග්න හිමියන්ට සුවිශේෂී පල ලැබෙන අතර සෙසු ලග්න හිමියන්ට ද ග්‍රහබලය මත සුබ අසුබපල අත්වෙනු ඇත. නිර්භීත බව, බලවත් සහෝදර සහෝදරියන්ගේ උදවු උපකාර මෙන්ම පුළුල් ඥානයක් මේ කාලසීමාවේදී ජන්මීන්ට අත් වනු ඇත.

භද්‍රා යෝගයෙන් ජන්මීන්ගේ ඥාන ශක්තිය වැඩි දියුණු වන කාල සීමාවක් ඇති වන අතර ශිල්ප ශාස්ත්‍ර අතින් ඉහළට යොමුවීමටත්, යහපත් සමාජ මෙහෙවරකට අවතීර්ණවීමටත් අවස්ථාව සැලසෙනු ඇත.

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 10 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.