ජනවාරි 27 රාත්‍රියේ දරුණු ග්‍රහ යුද්ධයකින් කුජ පරදා බුධ දිනයි

ලග්න හතරකට රජ සැප
ජනවාරි 12, 2024

ලග්න දොළහටම කීර්තිය, ප්‍රසිද්ධිය, ඥානය, අවබෝධය, ධාරණ ශක්තිය

කාලගුණික බලපෑම් දැඩි වෙයි

ප්‍රවීණ ඡ්‍යොතිෂවේදී

කොත්මලේ විජිත ඩී. ලියනආරච්චි

 

දැනුමට අධිපති බුධ ග්‍රහයා සහ යුද්ධයට අධිපති කුජ ග්‍රහයා අතර ජනවාරි 27 වැනිදා සෙනසුරාදා රාත්‍රී 8.30ට ඇතිවන බිහිසුණු ග්‍රහ යුද්ධයෙන් බුධ ලබන විජයග්‍රහණය සමඟ පංච මහා පුරුෂ යෝග අතරින් සස යෝගය උදා වන වෘෂභ, සිංහ,වෘශ්චික, කුම්භ ලග්න හිමියන්ට රජවරුන්ට හා සමාන සැප සම්පත් ගලා එන පින්වත් කාලයක් උදා වන බව ඡ්‍යොතිෂයෙහි සඳහන් වෙයි. ධර්මයට ළැදියාව හා සමාජයේ උසස් දියුණුව ඇති කරයි.

මෙහිදී වෘෂභ, මිථුන, සිංහ, කන්‍යා, වෘශ්චික, ධනු, කුම්භ, මීන ලග්න හිමියන්ට චතුර්සේනා දෘෂ්ටි යෝගයෙන් සහ මේෂ, කටක, තුලා, මකර රාශිවලට කේන්ද්‍රස්ථානගත ගජකේශරී යෝග බලයෙන් ද කීර්තිය, ප්‍රසිද්ධිය, ඥානය, අවබෝධය, ධාරණ ශක්තිය යහමින් ලැබෙයි. රාශි දොළසටම රවි ශුභකර්තරීව ඇති අතර, වෙශී, වොශී උභයචාරී සහ පාශ යෝග ප්‍රබලව යෙදීමෙන් සියලු වාසනාව උදා කරනු ඇත.

මෙහි සුබ පල ලෙස කෘෂිකාර්මික, කාර්මික ක්ෂේත්‍රවල නව නිෂ්පාදන සහ නව නිර්මාණ සඳහා නව ජීවයක් ලැබීම මෙන්ම වෛද්‍ය වෘත්තිය, හෙළ වෙදකම් සහ අධ්‍යාපනයේ වර්ධනයක් ඇති වීම දැක්විය හැකිය. දැන උගත් පිරිස ස්වෛරී ලෙස හැසිරෙනු දැකිය හැකි වෙයි.

එහෙත් මේ ග්‍රහ යුද වාතාවරණය හේතුවෙන් පරිසරයේ ගුණාත්මකබවෙහි විශාල වෙනස්කම් රැසක් මතුවෙයි. වෘක්ෂලතාදියෙහි විකෘතිතා ඇති විය හැකිය. කාලගුණික හා දේශගුණික වශයෙන් දැඩි බලපෑමක් පෘථිවි තලය පුරා ඇතිවනු ඇත. වර්ෂාපතනයේ ඉහළ යෑමක් දැකිය හැකි වෙයි. ගැටුම්කාරී හා විකෘති මානසිකත්වය ලොව පුරා ඇතැමුන්ගේ දැකිය හැකි වනු ඇත. බුද්ධිය අඩු අයගේ විකෘති ක්‍රියා නිසා සමාජ පැවැත්මට නොගැළපෙන ආකාරයේ කටයුතු සිදුවිය හැකි බැවින් බහුතර ජනයා සිහිබුද්ධියෙන් කටයුතු කළ යුතු කාලයකි.

 

මේෂ රාශිය

යෝග රැල්ලකින් ප්‍රබල වූ මේෂ රාශි හිමියනට නිරෝගිකම, අධ්‍යාපනය, රැකියා ආදායම් මාර්ගය, ආරම්භක කටයුතු බාධක ප්‍රමාද දෝෂ, පවුලේ සමඟි, සමාදානය, ආශි‍්‍රත සතුරු එදිරිවාදිකම් අමනුෂ්‍ය දෝෂ යෙදී ඇතොත් විමසුම් සහගත වෙන්න. සියලු දෝෂ දුරුකොට ආරක්ෂාව සලසා ගන්න.

 

වෘෂභ රාශිය

රෝගාබාධක සතුරු එදිරිවාදිකම් ආදී ගැටලු සහගත තත්ත්වයක් උදාවී ඇතොත් අප්‍රමාදිව ක්‍රියාත්මක වෙන්න. නිසි ප්‍රකාර ආරක්ෂා කටයුතු කරගෙන උත්සාහයද උනන්දුවද, උදාකරගන්න. ප්‍රබල රැල්ලක් ද ඔබට උදාව පවතිනු පෙනී යන්නේය.

 

මිථුන රාශිය

තැන්පත් ධනය, දේපළ වස්තු, පවුල් මතභේද, විවාහ කටයුතු ආශි‍්‍රතව හෝ පදිංචිය , රැකිරක්ෂා කටයුතුවල ප්‍රගතියක් උදාවිය හැක. එසේම ජීවිතයෙහි ස්වර්ණමය අවස්ථාවන් කීපයක්ම මතු කෙරෙනු ඇත. ඉතාම හොඳින් පරීක්ෂාකාරිව අපේක්ෂාවන් සාර්ථක කර ගත යුතුව ඇත.

 

කටක රාශිය

බොහෝදුරට අපේක්ෂාවන් සාර්ථකත්වයට තුඩු දෙයි. සැලකිලිමත් නොවීම හේතුකොට ගෙන රැකියා හා විවිධ ආදායම් මාර්ගයනටද සෞඛ්‍ය තත්ත්වයටද බාහිර බලපෑම් මතුවිය හැකිය. උසස් ජන ජීවිතයකට යුගකාලීන යෝග රැල්ලක බලපෑම යෙදී ඇත. ඊර්ෂ්‍යා වෛර ක්‍රෝධකාරි සතුරු බලවේග මතුවිය හැකිය.

 

සිංහ රාශිය

දිගුකාලීනව පැවැති අපේක්ෂාවන් ඉතාම සතුටුදායකත්වයට පාත්‍ර කෙරෙනු ඇත. පදිංචි භූමිය, නිවාසය, සහකරු සහකාරිය ආශි‍්‍රතව අසුබ බලපැම් මතු කෙරෙනු ඇත. ඔබ සුහදශීලි අවංක, ඍජු හැඟීම් ඇති සත්පුරුෂ ආකර්ශණීය වෙයි. අපේක්ෂාවන් මුදුන්පත්කරවා ගැනීමට උත්සාහයෙන් ජයගන්න.

 

කන්‍යා රාශිය

මන්දගාමී වූ ජීවන ගමන්මඟ අලුත්කර ඉදිරියටද උත්සාහය, උනන්දුව ඇති කරගන්න. සතුරු බලවේග හඳුනා ගන්න. ප්‍රබලතම අමනුෂ්‍ය දෝෂ, දුරුකොට ස්ථානය භූමිය ආරක්ෂා කොට ගැනීම අතිශයෙන්ම සුදුසු වෙයි. ශරීරික නිදුක් නීරෝගි බව වැදගත් කොට සලකන්න. උත්සාහය, උනන්දුව වර්ධනය කර ගන්න.

 

තුලා රාශිය

යෝග රැල්ලකින් උසස් ජීවිතයකට තුලා රාශි හිමියනට භාග්‍ය උදාවෙයි. උත්සාහය, උනන්දුව පවුලෙහි සමඟි සමාදානය කෙරෙහි සතුරු බලවේග සමඟ රැකියා ආදායම් මාර්ග ප්‍රශ්න මතු කෙරෙයි. උසස් ජනදිවියකටද භාග්‍යය වාසනාව උදා වෙයි. සිතැඟියාවන් බොහෝදුරට සාර්ථක වෙයි. ආගමික ක්ෂේත්‍රය කෙරෙහිද යොමු වෙයි.

 

වෘශ්චික ලග්නය

තැන්පත් ධනය දේපළ වස්තු ආශි‍්‍රතව අර්බුධකාරි බවක් මතු කෙරෙනු ඇත. තරමක් දුරට රෝගාබාධක මතු කෙරෙයි. ආරම්භ කරන ලද කටයුතු කෙරෙහි අවහිර බාධක මෙන්ම ලැබීම් අංශයට ද බලපානු ලැබෙයි. නිර්භීත එඩිතර ඍජු බවක් ගෙන දෙන සාර්ථක පසුබිමක් උදා කෙරෙනු ඇත.

 

ධනු රාශිය

බොහෝ දුරට රෝගාබාධක හෝ සතුරු බලවේගයක් ආශි‍්‍රත බාධකවලට ඉඩ කඩ ඇත. කෙසේ හෝ ස්ත්‍රී ඇසුරින් අවහිර බාධක ගෙන දිය හැකි බැවින් ප්‍රවේශම් වෙන්න. සමාරම්භකව කටයුතු සතුටුදායක වෙයි. රැකියා ආදායම් මාර්ග ආශි‍්‍රත හැලහැප්පිලි බාධක ගෙනදීම් හැකි කල්පනාකාරිව කටයුතු කරලීම යහපත් වෙයි.

 

මකර රාශිය

විවාහ මංගල කටයුතු කෙරෙහි මෙන්ම රෝගා බධාක සතුරු උපක්‍රම කෙරෙහි දැඩි අවධානය යොමුකරලීම ශුභවාදී වෙයි. උත්සාහය, උනන්දුව, අවරෝහණ බවට තුඩුදෙනු ඇත. ආරක්ෂා සෙත් ශාන්ති කටයුතු කර ගැනීමද යහපත් වෙයි.

 

කුම්භ රාශිය

ආලෝක ග්‍රහබලය 06 වැන්නේද සෙනසුරු ලග්නයේද තැන්පත් වීමද රාහු කේතු 02 -08 ස්ථානගතවීමද ඉදිරි කාලයේ හැලහැප්පිලි ඇතිවීමට හේතුවේ. බෝධිපූජා, කපුටු දානදීම ආදී කාර්යයන් ඇතුළුව ලැබීම් මාර්ග කෙරෙහි අවධානය යොමුකරලීමද වැදගත් වෙයි. සතුරු එදිරිවාදිකම් මතුවීමට ඉඩකඩ ඇත.

 

මීන රාශිය

ආදායම් ස්වභාවය මෙන්ම රැකියා මාර්ග ආශි‍්‍රතවද ආකූල ව්‍යාකූල බවක් මතු කෙරෙනු ඇත. නිර්නාමික නාමික සොර සතුරු අභිරහස් කුමන්ත්‍රණ අධික වෙයි. ඊර්ෂ්‍යාව, වෛරය, ක්‍රෝධය, ඉහවහා ගිය ජනකොටස් ඔබ වටා සැරිසරනු ඇත.

 

----------------

උමා ඡ්‍යොතිෂයෙන් පැතුම් තුනක් නියතව ඉටු වන සුබ මුහුර්තයක්

එළැඹි 2024 වසරේ ඔබට අත්‍යවශ්‍ය බලාපොරොත්තු තුනක් සපල කර ගැනීමට උමා ජ්‍යොතිෂයට අනුව සම්පාදනය කරන ලද සුබ මුහුර්තයක් මෙසේ ඔබට ඉදිරපත් කරමු. ජනවාරි මස 12 වැනිදා රාත්‍රී 7.10ට බටහිර බලා ඔබට මේ වසරේ ඉටු කරගැනීමට අවශ්‍ය ප්‍රධාන කරුණු තුනක් පිරිසුදු හරි හතරැස් කඩදාසියක ලිවිය යුතුය. ඉන්පසු එය කවරයක බහා ආරක්ෂිත ස්ථානයක තැන්පත් කළ යුතුය. අදාළ කරුණු තුන ලිවිය යුත්තේ එය ඉටු වී නිම වූ පසු තමන් විසින් යම් අයකුට පවසන්නාක් මෙන් පූර්ණ සුබවාදී ආකාරයටය. (උදා- වැඩ ඇණ සිට තිබූ මගේ නිවෙස සම්පූර්ණයෙන් තනා නිම කර ඇත.) මෙය විනාඩි 48ක් පුරා පවතින ක්‍රමයේ සුබ මුහුර්තයක් බැවින් පස්වරු 7.10 වේලාව ඕනෑම ප්‍රදේශයක අයකුට කිසිදු වේලා සංශෝධනයකින් තොරව භාවිත කළ හැකිය. ජනවාරි 14 වැනිදායින් නිම වන කෝණ මාසයේ බලපෑමක් මේ සුබ මුහුර්තයට නැත. (මේ මුහුර්තයේ පූර්ණ ප්‍රතිඵල ලබා ගන්නා ආකාරය පිළිබඳ විස්තරාත්මක ලිපියක් පසුගිය සතයේ සුබසෙත පුවත්පතේ පළ විය.)

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.