ඉදිරි සති දෙකේ සියලු ලග්න හිමියන්ට වාසනාව පෑදේ

ජනවාරි 19, 2024

ප්‍රවීණ ඡ්‍යොතිෂවේදී

කොත්මලේ විජිත ඩී. ලියනආරච්චි

ඉතා ප්‍රබල ද්විත්ව යෝගයක් සිංහ ලග්නය මුල් කොටගෙන ජනවාරි 18 වැනිදා රාත්‍රී 8.56 සිට පෙබරවාරි 01 වැනිදා දහවල් 2.22 දක්වා සති දෙකක කාලය තුළ උදා වේ.

රවි, චන්ද්‍ර, කුජ ආලෝක ග්‍රහ බල රවි, බුධ, කුජ, ශුක්‍ර චතුර්ග්‍රහ බල, බුධ ආධිත්‍ය, ධර්ම කර්මාධිපති සහ විෂ්ණු ලක්ෂ්මී යෝග බලය මේ දෙසතිය පුරා සියලු ලග්න හිමියන්ට වාසනාව උදා කරමින් බල පැවැත්වේ. වෘෂභ, සිංහ, වෘශ්චික, කුම්භ ලග්න හතරට පංච මහා පුරුෂ යෝග අතරින් සස යෝග බලය උදා වන අතර සියලු වාසනාව කැඳවන පිහිටීමකි. බ්‍රහස්පති සහ චන්ද්‍ර සංයෝගයෙන් උදාවන ගජකේශරී යෝගය ලග්න දොළහටම උදාරතර බලයක් මතු කරයි.

විශේෂයෙන් සිංහ ලග්න හිමි ශ්‍රී ලංකා ජනරජයට සහ රටවැසියන්ට මෙය ප්‍රශස්ත ග්‍රහ පිහිටීමක් වන බව ඡ්‍යොතිෂයේ මතයයි. සිංහ ලග්නයේ නව වැන්න වූ මේෂයට අධිපති කුජ ග්‍රහයාත්, දසවැන්න වූ වෘෂභයට අධිපති සිකුරු ග්‍රහයාත් එක්ව ධර්මකර්මාධිපති යෝගය උදාකරයි. මෙය වෙළෙඳ ව්‍යාපාර, රැකී රක්ෂා, ආදායම් මාර්ග, වගා කටයුතු මෙන්ම කාර්මික කටයුතුවල දියුණුවටත් නිවැරැදි සෙත් ශාන්ති කිරීමටත් සුබ කාල සීමාවකි.

මේ දෙසතිය තුළ සෞභාග්‍යමත් කාලයක් උදා වීමට අවශ්‍ය වටපිටාව රටෙහි නිර්මාණය කිරීමට සුදුසු වන අතර පොදු ජනතාවගේ පීඩනය අවම කිරීමට වැඩකටයුතු සැලසුම් කළ හැකිය. පාරිභෝගික භාණ්ඩ, දේශීය ආදායම් මාර්ග නව පරිවර්තන රටාවකට හැඩ ගැසීමට කටයුතු යෙදේ. සැම ක්ෂේත්‍රයකම පවතින අක්‍රමිකතා ඉවත් කිරීමට කටයුතු යෙදිය හැකි කාල පරාසයකි.

එහෙත් කාලගුණික හා දේශගුණික මෙන්ම අනෙකුත් පාරිසරික විපත් බහුලව ඇති වන ඉඩකඩ වැඩිවේ. විෂමාචාර පුරුදු ඇති පුද්ගලයන්ගේ ක්‍රියාකලාප නිසා අකල් මරණ ඉහළ යෑමේ ප්‍රවණතාවක් පවතී. සංචාරක ව්‍යාපාරය ශක්තිමත් කිරීමට අවධානය යොමු කළ යුතු කාලයකි. හදිසි තීන්දු තීරණ ගැනීම නිසා ස්ත්‍රී පුරුෂ ගැටුම් බහුල විය හැකිය. සාමාන්‍ය දැනුම අවබෝධය මඳක් දුරස්ව යෑම නිසා ගැටලු මතු වනු පෙනේ. සමාජයේ යහ පැවැත්ම තහවුරු කිරීම කෙරෙහි දැඩි අවධානය යොමු කළ යුතුය.

රංගනය, ගායනය, වාදනය වැනි ක්ෂේත්‍රවල නියුතු අය තමන්ගේ මෙන්ම සමාජයේ හදවත් ආලෝකවත් කිරීම උදෙසා ඒ කලා කටයුතු යොදාගතහොත් සුබපල නෙළා ගැනීමට හැකි සමයකි.

මේෂ රාශිය

අඟහරු හිමි මේෂ රාශියෙහි ලග්නගතව ගජකේෂරී යෝග බලය ඇතුළුව ග්‍රහචාරය ශුභවාදි වෙයි. උසස් ජීවන ගමන් මඟකට මේ ග්‍රහචාරය වඩාත්ම තුඩු දෙනු පෙනී යයි.

 

වෘෂභ රාශිය

තිරසාර අපේක්ෂාවන් මල්ඵල ගැන්වෙන සස යෝග කර්මස්ථානගතව ඇති සිකුරු හිමි වෘෂභ රාශි හිමියනට ඊශ්වර දෙවිඳුගේ ආශිර්වාදය විස්මිතව යෙදෙනු ඇත.

මිථුන රාශිය

බ්‍රහස්පතිගේ දීප්ත යෝගය අයස්ථානගතව 07 වැන්නේ චතුර් ග්‍රහ යෝග බලයද, බුධ ආධිත්‍ය යෝගය ආදියෙන් ප්‍රබලතම සෙත් ශාන්ති ලැබෙනු ඇත.

කටක ලග්නය

චතුර්ග්‍රහ යෝග බලය ඔබට ඇතිවන නිර්ණාමික නාමික සොර සතුරු බලවේග, මර්දනය කෙරෙයි. වාසනාවේ රන් දොරටුව විවර වන මේ කාලය ඉතාම ශුභවාදී ආශිර්වාදයෙකි.

සිංහ රාශිය

සස යෝග බලය 07 වැන්නේද බුධ ආධිත්‍ය මෙන්ම 05 වැන්නෙහි චතුර්ග්‍රහ බලයද කුජ ශුක්‍ර ධර්ම කර්මාධිපති යෝග බලය මේ වසර සාර්ථක වීමට අතිශයෙන් සීහුම් වෙයි.

කන්‍යා රාශිය

චතුර් ග්‍රහ යෝගය පදිංචි නිවාසයට, භූමියට ද සමඟ පදිංචි පිරිසට ප්‍රබලව ආශිර්වාද වෙයි.

තුලා රාශිය

බ්‍රහස්පති දීප්ත යෝග බලය 07 වැන්නටද චතුර්ග්‍රහ යෝග බලය සමඟ 03 වැන්න වූ වික්‍රමස්ථානය බැබළෙයි. අපේක්ෂාවන් බොහෝ දුරටම සාර්ථක වෙනු ඇත.

වෘශ්චික රාශිය

සස යෝග බලය පදිංචි ස්ථානයට, භූමියට, නිවැසියනට ප්‍රබලතම ආශිර්වාදයක් වන අතර දෙවැන්න වූ ධනස්ථානගත චතුර්ග්‍රහ බලය ඉතා ප්‍රබලව ආශිර්වාද කෙරෙයි.

ධනු රාශිය

චතුර්ග්‍රහ යෝගය ලග්නගතවද ලග්නාධිපති 05 වැන්නෙහි ප්‍රබලව යෙදී ඇත. මේ සමය අතිශය ශුභවාදි වෙයි.

මකර රාශිය

පදිංචි ස්ථානයට දීප්ත යෝග බලයද චතුර්ග්‍රහ යෝගය 12 වැන්නටද යෙදීම ජීවිතය නව ගමන් මඟකට සතුටුදායක පරිවර්තනයක් සිදුවන ග්‍රහචාරයෙකි.

කුම්භ රාශිය

ලග්නගත දුර්ලභ සස යෝග බලයකි. 11 වැන්නවූ අයස්ථානගත වීම විස්මිත ලෙස ආශිර්වාදය ගලා ඒමකි. මෙකී සෙත ශාන්තිය රටටත්, ඔබටත් ඉතාම වැදගත් වෙයි.

මීන රාශිය

චතුර්ග්‍රහ යෝගය කර්මස්ථානගතව ද, දීප්ත යෝගය ධනස්ථානගතවද පිහිටීම ඉතා වැදගත් බවක් දෘශ්‍යමාන වෙයි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.