කතරගම වැඩසිටින තේවානි අම්මා දේවිය

ජනවාරි 17, 2025

මහා භාරතයේ සිට ලක්දිවට පැමිණ වල්ලිමාතාව සරණපාවා ගැනීමට පෙර භාරත දේශයේ නිජබිම කරගත් තේවානි අම්මා කතරගම දෙවියන්ගේ ප්‍රථම පාදපරිචාරිකාව හෙවත් බිරිඳයි.

කතරගම දෙවියන් ලක්දිවට ගොඩබැස විපරම් කර බලන විටදී කතරගම දෙවිඳුන් වල්ලිඅම්මා රැහේ සිරිත් විරිත අනුව සරණපාවාගෙන පාදපරිචාරිකාව ලෙසින් සිටින බැව් තේවානි අම්මා දේවිය දැන ගන්නීය.

තේවානි අම්මා කතරගම දෙවියන් සමඟත් වල්ලි අම්මා දෙවඟනත් සමඟ කිසිඳු අසමගියක් ඇතිකර නොගත්තීය. මහා බලපරාක්‍රමයෙන් යුත් තේජවන්ත කතරගම දෙවියන් සමඟ අමනාප ඇතිකර ගැනීමෙන් තේවානි අම්මාට සිදුවිය හැකි විපත ගැන දේවිය කල්පනා කරන්න වූවාය. ඇයද කතරගම දෙවියන් වැඩ සිටින වල්ලි ගුහාව ආසන්නයේම පදිංචි වීමට තීරණය කළාය. පසුකලෙක කතරගම මහා දේවාලයට දකුණු පවුරෙන් එපිට කොටසේ මහා දේවාලයට යාබදව අදත් තේවානි අම්මා දෙවොල දක්නට ඇත. හින්දු බැතිමතුන් සහ ද්‍රවිඩ ජනයා මහත් ගෞරවයෙන් අදත් තේවානි අම්මා දේවිය අදහමින් පූජා තබා අවසර ගනී.

කතරගම පෙරහර කාලයේදී තේවානි අම්මා දෙවොල වෙත හින්දු බැතිමතුන් මෙන්ම බෞද්ධ දේව බැතිමතුන්ද පූජා තබා ආශිර්වාදය ලබා ගනී. විශේෂයෙන් ලෙඩදුක් හිරිහැර කරදර දාරක සම්පත් නැතියන්ට එම සම්පත් ලබා ගැනීම් ආදියට තේවානි අම්මා කෝවිලේ යාතිකා කරවා ගනී.

බොහෝ සිංහල දේව බැතිමතුන්ද විවාහය ප්‍රමාද වන විට එය ඉක්මන් කර ගැනීමට, පවුල් ප්‍රශ්න ඇති අය නැවත සමඟි වීමට තේවානි අම්මා දේවියට පුද පඬුරු තබන බව පෙනේ. කාන්තාවක් තවත් කාන්තාවකට විරුද්ධව ඊර්ෂ්‍යා කරමින් සිටීම වැනි අයහපත් චර්යා රටාව ඉවතලා කතරගම දෙවියන්ට යටහත් පහත්ව ඇය සිටින බැව් නොරහසකි. කතරගම චිත්‍රය නිර්මාණය කරන චිත්‍ර ශිල්පීන්ද දකුණුූ පසින් තේවානි අම්මා දෙවඟනද වම් පසින් වල්ලිමාතා දේවියද නිරූපණය වන සේ චිත්‍ර සැලසුම් කරයි. කතරගම මහදෙවොලට ගොස් පුද පූජා තබා වල්ලි මාතාව සහ තේවානි අම්මා දෙවොලටද අනිවාර්යයෙන්ම පුද පූජා තැබීම විශේෂයි. වල්ලිඅම්මා සිටි වල්ලිගුහා දෙවොලටද පුද පූජා තැබීම සිදු කෙරේ.

දේව පුරාණයේ සඳහන් වන පරිදි තේවානි අම්මා දේවියට සුවිශේෂිව බැතිපූජා දැක්වීම ඉතාම සුබදායක වන බැව් අපි අත්දැක ඇත්තෙමු.

ඔබත් කතරගම ගිය විට තේවානි අම්මා දෙවොල වෙත ගොස් පුද පූජා පවත්වන්න අමතක නොකරන්න. කතරගම දේව පූජාව අතිසාර්ථක වන්නේ තේවානි අම්මා දෙවඟනට පූජා තැබීමෙන් බැව් දේව පුරාණ සංග්‍රහයේ සනිටුහන් වී තිබේ.

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.