නොවැම්බර් 01-07 අතර උපන් ඔබ...

නොවැම්බර් 1, 2024

නොවැම්බර් 1

(පෞද්ගලික අංකය 1)

වෘශ්චික රාශියේ බලපෑම හේතුවෙන් ඔයාට තරමක් සටන්කාමී ස්වරූපයක් පෙන්නුම් කෙරෙනවා. නායකත්වය දැරීමට වගේම සමාජයට විශාල බලපෑම් කළ හැකි සුවිශේෂී ශක්ති ධාරවක් ඔයා සතුව පවතිනවා. විශේෂයෙන්ම දේශපාලන දිවියේ උසස් සාර්ථකත්වයක් ඇති කර ගැනීමට ඔබ වැනි අයට සුවිශේෂී වාසනා ගුණයක් පවතින්නේ. හොඳ හාස්‍ය රසයකින් හා උපහාසයකින් යුතුව අන් අයව පතුරු හරින ස්වභාවයත් විස්මිතයි. ඒ අතර ඔයාගේ පදේට නටන අයට ඕනෑම උදවුවක් උපකාරයක් කරන්නත් ඔයා මැළි වන්නේද නෑ. ඉතා නිර්මාණශීලී ස්වභාවයත් තීන්දු තීරණ ගැනීමේ දැඩි ස්වභාවයත් ඔයා තුළ හොඳීන් කැපී පෙනෙනවා. වරදක් දුටු විට ඔයා කිපෙන්නේ දණ්ඩෙන් පැහැර කෑ නයෙක් ගානටයි. ඒ වගේ වෙලාවට ඔයා කොච්චර දුරට අන්තගාමී වෙනවද කිව්වොත් වැරැද්ද කළේ තමන්ගේම අම්මාද තාත්තාද කියන එක පවා ඔයාට අමතක වෙලා යනවා. කොහොම වුණත් කෙළින් කතා කරන පුරුද්ද නිසා ඔයාගෙන් යාළුවෝ පිරිසක් නම් හැලිලා යනවාම තමයි. ඒ වුණාට ඔයාගේ අමුතු ස්වරූපය හඳුනාගත් සැබෑ මිතුරන් ඔයාව කවදාවත් තනි කරන්නේ නෑ. ඒ වගේම ඔයා වුණත් හැම විටම අවංක කෙනෙක් කියලා කියන්නත් බෑනේ? කල් පවතින විවාහයක් කෙරෙන්නේ ජීවිතය මැදි වියේදී යුග දිවියට එළඹුණොත් විතරමයි. ඒ වගේම ඔබ අප සැම විසින් දැනට විශ්වාසයෙන් යුතුව භාවිතයට යොදා ගන්නා නූතන අංක විද්‍යාවේ පියා ලෙස සැලකෙන අයිරිෂ් ජාතික කවුන්ට් ලුයිස් හැමන් සාමිවරයා (1866) හා ක්‍රිෂ්ණමූර්ති පද්ධතියේ නිර්මාතෘ භාරතීය මහාචාර්ය කේ.එස් ක්‍රිෂ්ණමූර්ති පඬිතුමා (1908) යන දෙදෙනාම මේ විස්මිත උපන් දිනයට අයත් බව සිහිපත් කරන්නේ සතුටකින්.

නොවැම්බර් 2

(පෞද්ගලික අංකය 2/7)

වෘශ්චිකයේ ගෝනුස්සාගේ විෂ දල අවි වගේ ඔයාගේ ආරක්ෂාව වෙනුවෙන් ඕනෑම වෙලාවක සීරුවෙන් රඳවා සිටිනවා. එයින් ලැබෙන තල්ලුව නිසා ඔයාගේ සන්තානය තුළ ජනිත වන දහසකුත් එකක් නිර්මාණාත්මක සිතුවිලි ක්‍රම ක්‍රමයෙන් එකිනෙක උද්දීපනය කරන්න පටන් ගන්නවා. අවසානයේදී විවිධ නිර්මාණාත්මක කටයුතු හා නව නිර්මාණවලින් මෙන්ම ව්‍යාපාර කටයුතු ආදියෙනුත් වඩාත් සාර්ථකව නැඟී සිටීමට හැකි වෙනවා. මෙකී සාර්ථකත්වය ඇති කර ගන්න නම් ඔයා විසින් දෙවියන්, බුදුන් නැත්නම් අඩුම තරමින් තමුන් ගැනවත් විශ්වාසයක් ඇති කර ගැනීම අනිවර්ය වනවා. අනාගතේ වෙන්න තියෙන දේවල් කළින්ම දැන ගැනීමේ සුවිශේෂි හැකියාවක් ඔයාට පිහිටලා තියෙන මුත් ඔයා ඕනෑවට වඩා අධි තක්සේරුවකින් වැඩ කරන්න ගියොත් ඔය හොඳ කණ පිට පෙරළිලා ආතතියෙන් හා මානසික අවපීඩනයෙන් යුතුව තමයි කල්ගත කරන්න වෙන්නේ. කෑමෙන් පරිස්සම් වීම අනිවාර්යයයි. යටිබඩ ආශ්‍රිත ආබාධ හා සෙම් රෝග ගැනත් සැලකිල්ලකින් ඉන්නවා නම් තවත් හොඳයි. හැම විටම යහපත් මිතුරු ඇසුරට යොමු වීමටත් වගබලා ගන්න. ඔයාගේ උපන් දිනය ඇති පිරිමි අයට බොහෝ විට දෛවෝපගත විදිහට ජීවිතය දුෂ්කර වන බවක් දැක ගත හැකි වෙනවා. එසේම මේ කාලයේ උපදින කාන්තාවන් පවා වඩා හැඟීම්බර වීමත් පුරුෂ පාර්ශ්වයටත් වඩා ජීවිතයේ දුෂ්කරතාවලට මුහුණ පෑමටත් නියමිත බව සඳහන් වෙනවා. ඔයාලගේ ආදර ලෝකේ පරිණත බව ඉතා සෙමින් සිදුවන එක ගැන ඔයාටම හිතලා බලන්න වේවි. කිං ඛාන් විරුදාවලිය ලත් භාරත රිදී තිරයේ මහා නළු ෂාරුක් ඛාන් (1965) මහත්තයත් එක්ක සමරමු ද උපන් දිනේ?

නොවැම්බර් 3

(පෞද්ගලික අංකය 3)

ඔයා ඉතා ශක්ති සම්පන්න බවින් හෙබි අයෙක් වෙනවා. ගණිත, විද්‍යා, කාව්‍ය රසාස්වාදය හා සිතුවම් නිර්මාණකරණය ආදී කටයුතුවලදී ද ආත්මාරක්ෂක සටන් හැදෑරීමේදී ද සුවිශේෂි සමත්කම් දැක්විය හැකි වෙනවා. මැදි වියේදී ඔයා ප්‍රසිද්ධියට පත් වන සුවිශේෂී ස්වභාවයක් ද පවතිනවා. මේ ලෝකේ තියෙන හැම වසංගත රෝගයකටම කුඩා කාලයේදී ගොදුරු වීම ඔයාගේ ජීවිතයේ අනිවාර්ය සිදුවීමක් වෙනවා. ඒ වුණාට වයස 21 න් පස්සේ ඔයා ශක්තිමත්ව නැඟී හිටින්නේ මුළු ලෝකයක් සමඟ හරි තනිව පොර බදන්න තරම් හොඳ ආත්ම විශ්වාසයක් සමගයි. ඔයා සතු නායකත්ව පෞරුෂයත් සුළුපටු නෑ. ඇයි කියනවා නම් ඔයාගේ වයසේ සෙසු දරුවෝ ඇඳ තෙමන කාලෙදීමයි ඔයාගේ භාරකාරීත්වය ගැන ප්‍රශ්න මතු වෙන්න ගන්නේ. පියාගේ බීමත් බව, දෙමාපියන් සතු ආර්ථික බලය පිරිහීම, මහා අයගේ අඬ-දබර හේතුවෙන් පවුල් විසිරිලා යාම නැත්නම් දෙමාපියන් අතරින් අයෙක් හෝ අකාලයේ ජීවිතයෙන් සමු ගැනීම වැනි තීරණාත්මක දෛවෝපගත සිදුවීමකින් ඔයාටත් පීඩා විඳීන්න සිදුවන නිසා. නිතරම ඒකාධිපති විදිහට බලය පතුරවන ස්වභාවය නිසා කල්යාමේදී යටහත් සේවකයන් පවා ඔයාට විරුද්ධව නැඟී සිටිනවා. සාමාන්‍ය මනුෂ්‍යයකුට කරන්න බැරි තරම් වැඩ කන්දක් ඔළුවේ පුරෝගත්තම ඔයා ඉන්නෙත් පීඩනයකින්නේ? මේ වගේ වෙලාවක නම් ඔයාගේ කඩා වැටීම නවත්තන්න උදවු කරන්න හැකි කෙනෙක් මේ ලෝකේ නෑ. ආයේ වැටුණු තැන ඉඳලා අලුතින්ම පටන් අරන් වඩාත් සාර්ථක වුණු චරිත කතාවලින් නම් ලෝක ඉතිහාසය පිරිලා ඉතිරිලා යන තරම්. සුබසෙත පාඨකයන් සමඟ එක්ව මෙවර කසුන් කල්හාර නම් කීර්තිමත් සංගීතවේදියාට හා ඔයාට සුබාශිංසන එකටම පිරිනමන්නම්.

නොවැම්බර් 4

(පෞද්ගලික අංකය 1/4)

රවි හා යුරේනස් දෙදෙනා වෘශ්චික රාශියේ ඒකරාශී වීමෙන් අසාමාන්‍ය චරිතාපදාන බිහිවන බව සුවිශේෂී කරුණක් වෙනවා. මෙහිදී පුද්ගල කොට්ඨාස 3 ක් බිහිවීමට නියමිතයි. ඉන් මුල් කාණ්ඩය විද්‍යාත්මක පර්යේෂණ පාර්ශ්වයටත්, මැද කාණ්ඩය අභිරහස් ගවේෂණයටත් යොමු වෙන්නේ 3 වැනි පාර්ශ්වය අසාමාන්‍ය ලිංගික චර්යා පාර්ශ්වයට යොමු වෙද්දී. ඇත්තටම ඔයා අයිති ඉහත කුමන කාණ්ඩයටද? ගොඩ යන්නනම් මුලින්ම ඒ කාරණය පැහැදිලි කර ගැනීම ඉතා වැදගත්. හවුල් කටයුතු සාර්ථක නැතත් සම්ප්‍රදායික නොවන මාර්ගවලින් අත මිට සරු කර ගන්නත් ඔයා සමතෙක් වෙනවා. ඔයාට ජීවිත කාලය පුරාම විවිධ අභියෝග රැසකට මුහුණ දීම අනිවාර්යය වෙනවා. එසේ වුවද ඒ සෑම අභියෝගයකටම හමුදා සෙබළෙකු වගේ වඩාත් ආත්ම විශ්වාසයෙන් හා කැපවීමකින් යුතුව මුහුණ දී ජය ලබා ගන්නා ආකාරය ඉතා ප්‍රශංසනීයයි. ඒ සඳහා මහෝපකාරී වන්නේ ඔයා සතු දුර දක්නා නුවණ හා පරිණත ස්වභාවයයි. ඒ කොහොම වුවත් අනික් අයගේ සිත් වසඟයට ගත හැකි ආකාරයේ වාග් වින්‍යාසයක් සුසර කර ගැනීමත් ඔයාගේ සාර්ථකත්වයට අනිවාර්‍ය අවශ්‍යතාවයක් බව නම් නොකියාම බෑ. නිදහස් ශ්‍රී ලංකාවේ 3 වැනි අග්‍රාමාත්‍ය ජෝන් කොතලාවල ශ්‍රීමතාණන් (1864) සමඟ ඔයාටත් අංක විද්‍යාත්මක සමානකම් ඇති බව දැන හිටියාද?

නොවැම්බර් 5

(පෞද්ගලික අංකය 5)

ඔයා වගේම ඉතාම ආකර්ෂණීය හා වේගවත් සිතුවිලි සමුදායන්ගෙන් අනූන අය තමයි මේ උපන් දිනයේ උපත ලබන්නේ. ඇත්තටම ඔයාගේ උපන් දිනයත් හරි පුදුම උපන් දිනයක් තමයි. කුඩා කාලයේදී අසනීප ගණනාවක් එක පෙළට වැලඳෙන ස්වභාවයක් පෙන්නුම් කරනවා. ඊට පසුව ඕනෑම වසංගතයකට හොඳීන් මුහුණ දීමේ හැකියාව ඔබ තුළින් වැඩි වර්ධනය වෙනවා. කෙසේ වෙතත් මානසික ආතතිය කියන කාරණය ඔබ තුළ සාමාන්‍යයට ඉහළ තත්ත්වයකයි පවතින්නේ. නොවටිනා දේකට පවා කෝප ගැනීමෙන් වටිනා ජීවිතයෙන් තත්පර ගණනාවක් හරි ඔබ විහින්මයි අඩු කර ගන්නේ. මේ තත්ත්වය පාලනය කර නොගත් අය හදිසියේම අසනීප වෙලා කෙටි කාලයක් තුළ මිය ගිය අවස්ථා පවා අපට අනාවරණය වෙනවා. ඔයාගේ ආර්ථික තත්වය වුණත් කියන්න වරදක් නෑ. යාන-වාහන, සුව පහසු නිවාස පවා වැඩි හරියක් ඔයා විහින්මයි උපයා සපයා ගන්නේ, අත පය අකුලාගෙන ගෙයි නිදන්නේ නැතිව හොඳට මොළය පාවිච්චි කරලා වැඩ කරලා. ඔයාට අනෙක් සාමාන්‍ය කෙනෙකුට වඩා බොහෝම උසස් සංවිධාන ශක්තියක් තියෙනවා. ඔයාගේ වැඩ කටයුතු ඉතා ප්‍රායෝගිකයි. සුවිශේෂී කලා හැකියා තෝතැන්නක හිමිකාරීත්වයත් ඔයාගෙ නමට ලියැවිලා තියෙන්නේ. අසාමාන්‍ය ක්‍රම සහ විධිවලින් මුදල් උපයන්නත් ඔයා රුසියා. ඔය මොනවා වුණත් මැදි වියට පෙර සාර්ථක විවාහයක නතර වෙන එක ඔයාට ජීවිතයේ අතපසු වෙන කරුණක්. හැබැයි ඔයාට ඔයා ඇර මුළු ලෝකෙම සැක කරන එක එතරම් හිතකර නෑ. අනික් විරාත් කෝලි (1988) කියන්නේ හිටපු ඉන්දීය ක්‍රිකට් නායකයෙක් විතරක් නෙවෙයි. ඔහු ජීවත්ව සිටියදීම වරක් ඔහු දේවත්වයෙන් සලකා අදහන්නට දෙවොලක් ඉදිකිරීමට තරම් ගලා ගිය මහජන රැල්ලක් තමන්ගේම මැදිහත් වීමෙන් නවතා දැමූ අයෙක්. එවැනි අයෙක් සමඟ උපන් දිනයක් සමරණ එකත් වචනයෙන් කියන්න බැරි තරම් වැදගත් සිදුවීමක් නොවෙයිද?

නොවැම්බර් 6

(පෞද්ගලික අංකය 6)

ශ්‍රී ලාංකේය දේශපාලන ඉතිහාසයේ නමක් රැන්ඳූ විධායක ජනාධිපතිවරුන් දෙදෙනෙකු සිරිලකට දායාද කළ දිවංගත ඩී.ඒ රාජපක්ෂ (1905) වගේම වියත් දේශපාලනයේ පෙර ගමන් කරුවෙක් වූ නීතිවේදී දිවංගත ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායක (1930) යන මහත්වරුන් විතරක් නෙවෙයි සර්වෝදය ශ්‍රමදාන ව්‍යාපාරයේ නිර්මාතෘ දිවංගත සමාජ සේවක ඒ.ටී ආරියරත්න (1931) මහත්තයාගේත් ජන්ම සැමරුම යෙදෙන දා උපන් දිනය සමරන ඔයාත් සුළු පටු කෙනෙක් නම් වෙන්න බෑ. මේ උපන් දිනය තුළ යම් වාසනාවන්ත බවක් ගැබ්ව තියෙනවා. එනිසා භෞතික සම්පත් ප්‍රමාණවත් පරිදි ඔයාගේ ජීවිතයට නොඅඩුව හිමි වේවි. හැබැයි ආදරය සම්බන්ධයෙන් ගැටලුකාරී තත්ත්වයකට මුහුණ පෑමට සිදුවන බවත් පෙනී යනවා. නව යොවුන් වියේදී පොපියන දහසකුත් එකක් බලාපොරොත්තු හදවතේ කොණක හිර කරලා කාගේ හරි පදේකට නටන්නයි වෙන්නේ. මෙවැනි වාතාවරණයකින් මිදීමට ඔයාට උපක්‍රම හොයන්න වෙනවා. එහිදී තෝරා ගැනීමට ලැබෙන හොඳම විමුක්ති මාර්ගය වෙන්නේ විවාහය. තමාට වඩා ධනවත් හෝ වයස්ගත සහකරුවන්ගේ ආකාර්ෂණය බොහෝ විට ඔබ වැනි අයට හිමි වෙනවා වැඩියි. හදිසි විවාහයක් නිසා දෙදෙනාට දෙදෙනා හඳුනා ගැනීමටවත් කාලයක් නොලැබෙන නිසා දෙදෙනා අතර ඊරිසියාව පෙරදැරිව ආරම්භයේදී ගැටුම් උද්ගත වෙනවා. ඒ කොහොම වුණත් මනා ජීවිත අවබෝධයකින් යුතුව ජීවිත ගමනට ධෛර්යයෙන් යුතුව මුහුණ දෙද්දී ඔයාට වාසිදායක විදිහට පසුබිම සැකසෙනවා. කලාකාමී, අවිහිංසක හදවතක් ඇති ඔයා වගේ සිකුරු ආකර්ෂණයට නතු වූවන්ට තමන්ගේ මූලික අවශ්‍යතා ඉටු කර ගන්න එක අපහසු වුණොත් වෙන්නේ බොහෝම කලාතුරකින් කෙනෙකුට විතරමයිලුනේ?

නොවැම්බර් 7

(පෞද්ගලික අංකය 7)

ඉහත උපන් දිනය තුළ සන්සුන් සිතුවිලි සහිත බවත් අන්‍යයන්ට ඉඩ දී නිහඬව බලා සිටීමේ ස්වභාවයත් කැපී පේනවා. විටෙක ළමා සිතුවිලි හා කෙළිලොල් ගුණාංග බහුල ස්වභාවයක් පෙන්නුම් කරන අතරම ඒ නිසාම ගෘහ ජීවිතය පවා ගැටලු සහගත විය හැකි බවක් පෙන්නුම් කෙරෙනවා. ප්‍රේමයේදී හා කලාවේදී දැඩි තීරණ ගන්නා ස්වභාවයක්ද දැක ගත හැකි වෙනවා. ඒ කෙසේ වෙතත් සමස්තයක් හැටියට තියුණු බුද්ධියත් උසස් කලා රසඥතාවයත් විතරක් නෙවෙයි දෙවියන් හා ධර්මය ගැන උසස් නැඹුරු වීමත් මෙදින ජන්ම ලාභය ලද ඔයා වගේ අය තුළ පොදුවේ දැකගත හැකි වෙනවා. කුජ(-) ගේ ආකර්ෂණය තුළ ඔයා වැනි අය එක පාරට සටනට යන්නේ නෑ. අංක විද්‍යාත්මකව වුණත් මේ මාසය ඇතුළත් කෙරෙන්නේ ගෝණුස්සාගේ සංකේතයට. ඉතිං ඔය ගෝණුස්සා නිතරම එළුවෙක් වගේ පැන පැන අනින්න යන්නේ නෑ. කවුරු හරි කරන පුංචි හරි නරකක් හිතේ ඇතුළේ පැසව පැසව තියාගෙන ඉඳලා දවසක විදින්නේ රිදෙන්නමයි. ඒ වගේම අධ්‍යාත්මික ගුණාංග උත්සාහයෙන් හදවතේ වැඩි වර්ධනය කර නොගත් අය කරන්නේ ආගම-දහම පවා තමන්ට කැමැති කැමැති ආකාරයට අර්ථකථනය කරන එකයි. ඒ කොහොම වුණත් මේ කාලයේ උපදින අයගේ අධිමානසික ශක්තීන් සෙසු කාලවල අයට වඩා උසස් මට්ටමක පවතිනවා. ගුප්ත ශාස්ත්‍ර ආදියට ද වැඩි නැඹුරුවක් දක්වනවා. වීර හැන්දිගේ ෆ‍්‍රැන්සිස් ප්‍රනාන්දු (1812) නමින් මොරටුවේදී අද වැනි දිනෙක උපත ලද වීර පුරන් අප්පු නිදහස් සටනේ පතාක යෝදයකු වන අතර පසුකාලීනව වලිසිංහ රජු නමින් කන්ද උඩරටදී රාජාභිෂේකයට පත් බවද සඳහන් වෙනවා.

 

පාරවිද්‍යා පර්යේෂක එස්.පී.එන් සේනානායක

 

විශේෂ ස්තූතිය -

අයිරිෂ් ජාතික කවුන්ට් ලුයිස් හැමන් සාමිවරයා

හා වෛද්‍ය බන්දුල සිරිවර්ධන

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
15 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.