කොඩිවිණයෙන් ගැබිනිය බේරන්න කාලි මෑණියන්ගේ පිහිට ලැබෙයි

ඔක්තෝබර් 4, 2024

 

වප් පොහොයට සති දෙකක් පමණ තිබියදී එළඹුණු සති අන්තයේ කොණ්ඩදෙණියේ සීලරතන නායක හිමියන් හිමිදිරි පාන්දර සිට සන්ධ්‍යා භාගය වන තෙක්ම තමන්වහන්සේ වෙත ලංකාවේ දසදෙසින් පැමිණෙන විවිධ ආගන්තුක ආතුරයන්ගේ ඕනෑ එපාකම්, දුක්ඛ දෝමනස්සයන්ට පිහිට වී දවසේ රාජකාරි කටයුතු අවසන් කොට ඩිංගිරි බණ්ඩා සකස්කර දුන් ගිලන්පස ද වළඳා මඳක් විවේක සුවයෙන් දිග හාන්සි පුටුවේ කෙටි සැතපීමකට සැරසුණා පමණි.

ඩිංගිරි බණ්ඩාද පන්සල් මහ ගේට්ටුවේ ඉබියතුරු දමා හිමියන්ට බාරදුනි. ගොම්මන් වේලාව එළඹීමත් සමඟ කොණ්ඩදෙණිය පන්සල් ගේට්ටුව අසල මයිනර් කාරයක් නතර කෙරිණි.

“ඩිංගිරි බණ්ඩෝ - හදිසි ලෙඩෙකු ද දන්නෙ නැහැ කවුරු වුණත් කමක් නැහැ. මහන්සිය නොබලා. ඔය ගේට්ටුව ආයි ඇරල හනිකට ඒ කාර් එක පන්සල ඇතුළට ගන්න ඉඩ දෙන්න කෝ”

හිමි අණ වහා ක්‍රියාත්මක විය.

මයිනර් කාරයෙන් තරුණ ගැබිනි මාතාවක්ද ඇයගේ ස්වාමිපුරුෂයා ද ආවතේව කරන ගැහැනියක ද පිටතට පැමිණියේ ය.

“රෑ බෝවී එන්නට මත්තෙන් මේ ඇත්තන්ට අර අලුත හදාපු නාන කාමරයෙන් මුහුණ කට හෝදා ගෙන සවස බෝධිපූජාවට ගෙන ඉතිරි වූ නෙළුම් මල් කූඩයෙන් මල් කිහිපයක්ද ගෙන බෝධි මළුව සහ බුදුමැදුර වන්දනාමාන කරගෙන තමන් පැමිණි කාරණාව ඉෂ්ට සිද්ධ වෙන්න ප්‍රාර්ථනා කරගෙනම එන්න කියන්න.

හිමි අණ එපරිදිම ඉටුවිණි.

“ආහ්.......ඩිංගිරි බණ්ඩෝ තව එකක්.......මේ ඇත්තන් බොහෝ දුර පළාතක ඉඳල එන අය වෙන්න ඕනෑ. ගමන් මහන්සියත් ඇති නොවැ. උන්දැලට කිතුල් හකුරු එක්ක තේ ටිකක් වත්කරල දෙන්න. අර කුරහන් හැලපත් පන්සලේ ගහේ ඉදුණු සුවඳැල් කැනේ කෙසෙලුත් එක්ක සංග්‍රහ කරලම මට මුලිච්චි කරවන්නකෝ......”

ඒ කටයුතු එලෙසින්ම ඉටු කිරීමට ඩිංගිරි බණ්ඩා යුහුසුළු විය.

“අවසරයි අපේ නායක හාමුදුරුවනේ”

“තෙරුවන් සරණයි. මේ ඇත්තො කොයි පළාතේ ඉඳලද මේ හැන්දැ කොරේ මෙහාට ආවේ? “අපි දකුණේ මාතර. දෙවුන්දර ඉඳලයි ආවේ හාමුදුරුවනේ”

“හොඳයි ආපු කාරණාව කීවානම්”

“මගේ නෝනාගෙ දරුගැබට මාස 9ක් සම්පූර්ණ වෙනවා. දරුවා පිළිසිඳගත් මොහොතේ පටන් මේ දක්වා විටින්විට කිසිම හේතුවක් නොමැතිව සිහිසුන්ව වැටෙනවා. වෛද්‍ය ප්‍රතිකාර කොතෙකුත් කළා. හරිහැටි ගුණයක් නැහැ. අද උදේත් කිහිපවරක්ම සිහි නැති වෙලා මොනවාදෝ දොඩවනවා අසිහියෙන්. ආයි සුළු මොහොතකට පස්සේ සිහිය එනවා. අපේ ඥාතියකු ඉන්නවා දෙවුන්දර දේවාලය කිට්ටුව එයා අපිටකොඩිවිණයක්ද කොහෙද කරලා.”

“කොඩිවිනයක් කළා කියල හරියටම දන්නේ කොහොමද? තමන්ගේ ඥාතියාව සැක කරන්නේ ඇයි?”

“අපේ පරම්පරාවේ උරුමය ගෙනියන්න ඉන්නෙ මේ ලැබෙන්න ඉන්න දරුවා විතරයි. මගේ බිරිඳගේ කුසේ ඉන්න දරුවා නැති කළොත් අපේ පරම්පරාවේ සියලු දේපළ එයාට අයිති කර ගන්න පුළුවන්. ඒ හින්දා තමයි මේ උප්පරවැට්ටිය එයාල කරල තියෙන්නෙ. අපේ පළාතේ හැමතැනම මන්තර සාස්තර පිරී ඉතිරී ගිහින්. ඒ නිසා අපිත් නොයෙක් ගුරුකම් අතේ දේවල් කළා. ඒත් ඒ එකකින්වත් හරිහමකට ගොඩවීමක් උනේ නැහැ. අපේ හාමුදුරුවනේ කරල තියෙන ගුරුකම මහා බලගතු එකක් වෙන්නැති. මේ හින්දා හැමදාම අපි මහ බයෙන් ඉන්නේ. අපට කුලුඳුලේ ලැබෙන්න ඉන්න දරුවට කරදරයක් වත් වේවිද? කියලා. නිතර ඒ ගැනම හිත හිතා ඉඳලා මනසිනුත් වැටිලයි ඉන්නේ.” ඇඬූ කඳුළින් යුතුව ගැබිණි මවද හිමියන් දෙපා මුල වැඳ වැටී තම දුක්ඛ දෝමනස්සය පැවසුවාය.

“හොඳයි අපි මොනව හරි යමක් කරන්න බලමුකෝ... ඕනෙ නම් පිල්ලියක් වගේ කොඩිවිණය ආපසු යවන්නත් පුළුවනි. කාරි නැහැ ඔය ඇත්තෝ දේව මන්දිරයට ගොඩ වෙන්නකෝ...

මේ දේව මන්දිරයේ පිළිම සෙළවෙන්න, දිලිසෙන්න පුළුවන්. පහන් ප්‍රභාස්වර වන්නත් පුළුවන්. සද්ද බද්ද ඇහනේනත් පුළුවන්. ඒ එකක්වත් වැඩිය හිතන්න එපා.”

සීලරතන හිමියෝ බලගතු මන්ත්‍රයක් ජීවම් කරන්නට පටන් ගත්සේක. ක්‍රම ක්‍රමයෙන් අප හිමියන්ගේ හඬ ප්‍රබල විය. එහි දෝංකාරයද වැඩිවන්නට විය.

ආතුර වූ දරුවා කුස දරා සිටින නෝනා මහත්මිය දේව පිළිමවල නේත්‍රා එක එල්ලේ බලා සිට වැඳගෙන සිටින ලෙසට හිමියෝ නියෝග කළ සේක. කාලි මෑණියන්ගේ පිළිමයේ ගෙලට කහ පැහැති මල් මාලයක් පැලඳවීමට ඇයට අවකාශ ලබාදුනි. ඩිංගිරි බණ්ඩා සුවඳ දුම් ඇල්ලීම කළේය.

ඒත් සමඟ කාලිමෑණියන්ගේ දේව පිළිමය සලිත වන්නට විය එකෙනෙහිම දේව මන්දිරයේ ජනේලයේ පිටතින් දේව මන්දිරයේ ඇතුළතට කලුතඩි බළලෙකු පැන හිමි දෙපා මුළ දැවටෙන්නට විය. ක්ෂණයෙන් ඉතා සුවඳවත් සමන්පිච්ච මල් සුවඳක් දේව මන්දිරය පුරා පැතිර පැවතිනි.

දසමසක් තිස්සේ කුසදරා සිටි දරුගැබට මේ ශාන්ති කර්මය සිදු නොකළහොත් නිරපරාදේ ජීවිතයක් අහිමි වන්නටද ඉඩ අවකාශ තිබුණු බව හිමියන්ට වැටහිණි.

“මේක පුංචිම පුංචි සිඟිති කොලුපැටියෙකු මරාදමන්න කරපු බලගතු ගුරුකමක්. ඔය දෙපළට කාලි මෑණියන් ඒකාන්තයෙන් පිහිට වේවි.”

තවත් බලගතු මන්ත්‍රයක් පිරිත් නූලකට පුරා හෝරාවක් තිස්සේ ජීවම් කර ගැබිණි මාතාවගේ දකුණුූ අතේ එම පිරිත් නූල ගැට ගැසූ සේක. ඇය ගෙන ආ රන් සුරයට ජීවම් කළ බලගතු තෙල්බිඳක්ද දමා ගෙලෙහි පැලැඳීමට සැලැස්ස වූ සේක.

“දැන් මගේ වැඩ අහවරයි.”

බොහෝ රෑ බෝවී ඇති නිසා හිමියන්ගේ සොහොයුරකුගේ නිවෙසේ ගැබිනි මාතාවට සහ සේවිකාවට නවාතැන් ගැනීමට සලස්වාලූහ. හදිසි අවස්ථාවක ප්‍රයෝජනයට ගනු පිණිස හිමියන් විසින් තම තිරික්කලයද තම සොහොයුරුගේ නිවෙසට පිටත්කර යැවූ සේක.

ඒ දරුවා පිළිසිඳ ගැනීමට බොහෝ ආසන්නව සිටි බැවිනි. ගමේ දායම්මාට (වින්නඹූ මාතාව) පණිවිඩයක් යවා කෝකටත් සූදානම් කර තිබිණි.

මධ්‍යම රාත්‍රිය එළැඹීමට මොහොතකට පෙර ගැබිණි මාතාවට විලිරුදාව ඇතිවී දරුවා මෙලොවට බිහිවිය. කිරි සප්පයාගේ හඬ ඇසීමත් සමඟ හිමියන්ගේ සොහොයුරා විසින් නිශ්චිත වේලාව සටහන් කර ගත්තේ සීලරතන හිමියන් ලවා වේලාපත්කඩය බලවා ගැනීමට පහසුවනු පිණිසය.

කලින් කුරුණෑගල ඥාති නිවෙසකට ගිය තරුණ යුවළගේ ස්වාමිපුරුෂයා උදේ පාන්දර කොණ්ඩදෙණිය පන්සලට නැවත ආවේය.

“හාමුදුරුවනේ කෝ අපේ ගෙදර උන්දැල කට්ටිය”

“ ඒ දෙන්නා මගේ මල්ලිලාගේ ගෙදර යැව්වා. අතරමගදී කරදරයක් වේවි ද කියල හිතුණ නිසයි මම ඒ අය එහෙ නතර කළේ.”

“ආහ්..අපේ නායක හාමුදුරුවනේ කුරුණෑගල ඥාති නිවසේදී මට ආරංචි වුණා. අපිට කොඩිවිණ කරපු මනුස්සයාට ඒක ආපිට පලදීලා. උන්දැගේ දරුවා ගෙදර ඉහළ මහලෙන් පහළට වැටිලා අනතුරක් කරගෙන”

ගතවූයේ නොබෝ වේලාවකි. ගෙජ්ජි සොලවමින් කොණ්ඩදෙණිය පන්සල වෙත එන තිරික්කලයෙන් කලින් දින කොණ්ඩදෙණියට පැමිණි මව සහ ආවතේවකාරියත් සමඟ කිරිසුවඳවත් තවම නිසි ලෙස විඳගත නොහැකි දරු සිඟිත්තා ද කොණ්ඩදෙණිය පන්සලට සපැමිණියේ මහත් සොම්නසිනි.

“හරි මම මේ පුංචි වාසනාවන්ත දරු සිඟිත්තාට ශාන්තිකර්මයක් කරන්නම් මේ දරුවාගේ මතු ආරක්ෂාවට.”

“එහෙමයි හාමුදුරුවනේ” හිමි දෙපාමුල වැඳවැටුණූ තරුණ යුවල සොම්නසින් ඉතිරෙමින් හිමියන්ට තුති පුදකළහ. එකෙනෙහිම රැහැයියකු මෙන් පුංචි දරු සිඟිත්තා කළ මිහිරි හඬ මොහොතකට නතර විය. සිගිති අත් එක්තැන් කළ දෙමව්පියන් හිමියන්ට වන්දනා කරවූයේ මහත් සතුටිනි.

කොණ්ඩදෙණිය රජමහා විහාරයේ වත්මන් විහාරාධිපති ශාස්ත්‍රවේද කඩම්බාව් අනුරුද්ධ හිමියන් හමුවීමට කොළඹ එක්තරා තරුණ යුවළක් පැමිණියේ කිහිප සැරයක්ම දරුවකු මවුකුස පිළිසිඳ ගත්තත් මෙලොවට බිහිවීමට ආසන්නයේදී විවිධ හේතු මත මළදරු උපත් බවට පත් වූ බැවිනි.

වෛද්‍ය පරීක්ෂණයේදී ඊට හේතු විද්‍යාත්මකව සනාථ කර ගැනීම නාරිවේද වෛද්‍ය විශේෂඥයන්ටද අපහසු විය. දෙවරක්ම මළ දරු උපත් සිදුවු බැවින් තෙවැනි වර ඉතා හොඳින් වෛද්‍ය උපදෙස් පරිදි කටයුතු කළ ද දරුගැබ මෝරා ප්‍රසූත කිරීමට ආසන්නයේදි සිය තරුණ බිරිඳට නිශ්චිතව හඳුනා නොගත් අමාරුකම් ක්ෂණිකව ඇතිවීම මහත් ගැටලුවක් විය. සුබසෙත පුවත්පතේ කොණ්ඩදෙණියේ හාස්කම් ලිපිපෙළ කියවූ මිත්‍රයකුගේ දැනුවත් කිරීම මත අනුරුද්ධ හිමියන් මුණගැසීමට මේ තරුණ යුවළ කොණ්ඩදෙණිය රජමහා විහාරයට පැමිණ තිබුණි.

මේ යුවළ දේව මන්දිරයට කැඳවූ අනුරුද්ධ නායක හිමියන් දහස්වර පිරිත්කළ පිරිත් නූලකට ප්‍රබල මන්ත්‍රයන් පුරා හෝරාවක් තිස්සේ ජපකර ඇයගේ දකුණු අතේ ගැට ගසා දිග පිරිත් නූලක් කරට පැලැන්දවූ සේක.

එම යුවල රැගෙන ආ රන්සුරයට ද බලගතු මන්ත්‍රයක් ජපකළ තෙල් බිදුවක් දමා දරු ගැබේ ආරක්ෂාව සඳහා පියවර ගත්සේක.

නිසිකලට කිසිදු අනතුරක් නොවී ස්වභාවික වාසනාවන්ත දරු උපතක් සිදුවිය. මාස තුනකට පමණ පසු එම තරුණ යුවළත් කුඩා තෙමස් හැවිරිදි පුතනුවන්ද සමඟ අනුරුද්ධ හිමියන් බැහැ දැකීමට කොණ්ඩදෙණියට පැමිණියේ ඉතිරී පැතිරී යන සොම්නසිනි. තම කිට්ටුවර ඥාතියකු සිදුකර ඇති කොඩිවිනය කපා දැමීමට අපගේ යතිවරයාණන් වහන්සේ සමත් වූ සේක.

 

හිටපු දුම්රිය සාමාන්‍යාධිකාරි (මෙහෙයුම්)

ඡ්‍යොතිෂ අවිශ්කාර්

ඡ්‍යොතිෂ ශිරෝමණී

ආචාර්ය විජය සමරසිංහ

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 12 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.