සැප්තැම්බර් 13 - 19 අතර උපන් ඔබ...

සැප්තැම්බර් 13, 2024

 

සැප්තැම්බර් 13

පෞද්ගලික අංකය 4

දෙවැනි පෙළින් නැවතත් රවි-යුරේනස්ට අයත් පෞද්ගලික අංකයක් නිර්මාණය වෙලා. රවි-යුරේනස් හා ගුරුගේ සුසංයෝගයෙන් ගොඩනැගුණු ඉතාම සුවිශේෂී චරිතයක් තමයි ඔයා. පඨවි සස ත්‍රිවංකයේ බලපෑම වගේම කන්‍යා රාශියේ බුධ(-) කාලය මෙහිදී සක්‍රීයව පවතිනවා.

සෘජු බව නිසාම නිතර හතුරෝ ඇතිවෙනවා. හවුල් ව්‍යාපාර සිතන පරිදි සාර්ථක වන්නෙත් නෑ. ජීවන සහකරුවකු රැඳෙන්නේ දෙදෙනාගේ අරමුණු සමාන වුණොත් විතරමයි. සල්ලි ගැන මහා ඉහළින් තකන්නෙත් නෑ. ඒ වගේම යටත් සේවකයන් පවා වංචා කරනවාත් වැඩියි. නීතියෙන් නම් සහණයක් පතන්න හිතන්නවත් එපා. ඔයාට මඩ ප්‍රහාර දියත් කරන්න මිතුරු වේසින් ඉන්න පසමිතුරෝ දතකනවා. තමන්ගේ ඉදිරි සැලසුම් නිහඬව ක්‍රියාත්මක කර වැඩ පෙන්වන ක්‍රමය තමයි ඔයාට උචිතම. ශාස්ත්‍රීය අංශයෙන් මෙන්ම කාර්මික අංශවලින් සාර්ථක වියහැකි දෛව බලයක් උපතින්ම හිමිවෙලා තියෙන්නේ. දොස්තරලටත් හිතා ගන්න බැරි ලෙඩ හැදුණත් දරා ගැනීම හොඳ නිසා ඉක්මනින් ලෙඩේ ගොඩ දා ගන්නත් වාසනාව හිමි වෙනවා.

ඔබතුළ වැඩි බලය හිමි රවිට ද යුරේනස්ටද යන සාධකය පදනම් කර ගෙන හුදෙකලා බව හෝ පිරිවර මැද බැබළීම තීරණය කෙරෙනවා.

ලාංකීය සංගීත ඉතිහාසය තුළ විස්කම් පෑ එම්.කේ රොක්සාමි (1932) මහතාත් ඔබට පෙර ඔබේ උපන් දවසට හිමිකම් කියූ කෙනෙක්.

සැප්තැම්බර් 14

පෞද්ගලික අංකය 5

දෙවැනි පෙළින් නැවතත් බුධගේ පෞද්ගලික අංකයක් නිර්මාණය වෙලා. මෙහිදී රවි-යුරේනස් දෙවරක් සංයෝග වීම නිසා රවිගේ අභිමානයත් යුරේනස්ගේ වේගවත් බවත් බුධට එක් වෙලා තියෙන්නේ. බුද්ධිය මෙහෙයවා කරන ඕනෑම අංශයක රැකියාවකින් ඔයා සාර්ථක වෙනවා. එක තැනක එක රස්සාවක් කිරීම අපහසුයි. ආගන්තුක පරිසරයකට හුරුවෙන්න ගත වෙන්නේ ටික දවසයි. ඕනෑම භාෂාවක් ඉක්මනින්ම අල්ල ගන්නත් තියෙන්නේ සුවිශේෂී හැකියාවක්. පවා හොඳීන් ආකර්ෂණය වන ස්වභාවයක් පෙන්නුම් කෙරෙනවා. පදිංචි වී සිටියත් නැතත් ඔබට දේපළ නිවාස කිහිපයකම හිමිකම් ලැබෙනවා. ඒ වගේම ඔබට මාධ්‍යකරණය වැනි අංශයකින් දුර ගමනක් යා හැකියි. වැඩි ප්‍රතිලාභයක් පතාගෙන අපැහැදිලි ව්‍යාපෘතිවල පවා ආයෝජනයට යෑමෙන් මුදල් පාඩුද බොහෝ විට ඇතිවේවි. සඳෑ සමය අගහිඟතා නැතිව ගත කළ හැකි ක්‍රමය ගැනත් දැන් දැන්ම අවධානය යොමු කරන්න.

පොත් පත් ගැන ළැදියාව වගේම සුවිශේෂී දක්ෂතා බොහෝමයක් ඔබට හිමියි. නොකා, නොබී, නිදිවරා වුවද මුදල් පසුපස හඹා යන්නත් ඔබ රුසියෙක්. එසේ වුවත් නිසි විවේකයක් නොගැනීම වගේම මනස නිවන විනෝදාංශයක නිරත නොයෙදීමේ අවසාන ප්‍රතිපලය ඔබ හිතන තරම් සුන්දර එකක් නොවේවි. අවසානයේ ඔබේ පවුලත් සෞඛ්‍යත් එකටම කඩා වැටෙන්නට ඉඩ තබන්න එපා.

රංගන ශිල්පනී දමිතා අබේරත්නත් (1979) මෙදිනයි උපත සනිටුහන් කරන්නේ.

 

සැප්තැම්බර් 15

පෞද්ගලික අංකය 6

දෙවැනි පෙළින් නැවතත් සිකුරුගේ පෞද්ගලික අංකයක් නිර්මාණය වෙලා. මෙහිදී රවි, යුරේනස් හා බුධ සංයෝග වීම නිසා එකී ග්‍රහයන් දෙදෙනාගේ බලයත් සිකුරු තුළ අන්තර්ගත වෙනවා. පඨවි සස ත්‍රිවංකයේ බලපෑම වගේම කන්‍යා රාශියේ බුධ(-) කාලය මෙහිදී සක්‍රීයව පවතිනවා.

ඔයා ඉතා ප්‍රේමණීය චරිතයක්. වන ඹබරෙක් වගේ එකවර මල් පොකුරක් ඉඹින්න තමයි ආසා. තරුණ වියට පා තැබීමත් සමග ලෞකික හා අධ්‍යාත්මික අතරින් කුමන මඟ යනවාදැයි තීරණය කරගන්න වෙනවා. ඔබ නිතරම පිරිස් සමග ගැවසෙන්න කැමතියි. ඔවුන්ගෙන් ආර්ථික වාසි පවා අත්පත්වීමට නියමිතයි. දක්ෂතාවය අනුව දවසක කලාවේ හිණිපෙත්තටම වුවත් පහසුවෙන් ළඟා වීමේ වාසණාවද හිමියි. ඔබ එළිමහන් ජීවිතයට ඉතා ප්‍රියයි. ගොවිතැන් කටයුතුවලට මුදල් යොදවන්නත් ඔයා ආසයි.

හිත හොඳකම නිසාම සතුරාට වුවත් මෛත්‍රිය පතුරුවන ස්වභාවයක් ඔබ තුළ පවතින්නේ. අනෙක් අයට ප්‍රිය වචනයෙන්, රස අහාර පානාදියෙන් සලකන්න ඇත්නම් ඔබට ඊට වඩා සතුටක් තවත් නෑ. සුරාව,ප්‍රේමය හා සුඛෝපභෝගී ජීවිතය සමග පරිවාර බලය ඔබගේ කර්ම ශක්තිය අනුව ඔබට අඩු වැඩි වශයෙන් ආකර්ෂණය වේවි. ඔබේ ජීවිතයේ සුඛෝපභෝගී නැඹුරුව වැඩිවන තරමට වයස අවුරුදු 51 සිට ඔබට හෘද්‍යාබාධ හා කොලෙස්ටර්රෝල් පිළිබඳ අවධානය ද වැඩියෙන් යෙදවීම සුදුසුයි. 2006 ආසියානූ ක්‍රීඩා උළෙලේ දී ශ්‍රී ලංකා ජාතික පිහිණුම් කාණ්ඩායමේ නායකත්වය දැරූ මයුමි රහීම් (1991) ඔබ සමඟ උපන් දිනය සමරන කෙනෙක්.

සැප්තැම්බර් 16

පෞද්ගලික අංකය 7

දෙවැනි පෙළින් නැවතත් සඳු-යුරේනස්ගේ පෞද්ගලික අංකයක් නිර්මාණය වෙලා. මෙහිදී රවි, යුරේනස් හා සිකුරු සංයෝග වීම නිසා එකී ග්‍රහයන්ගේ බලයත් මෙහිදී ක්‍රියාත්මක වෙනවා. පඨවි සස ත්‍රිවංකයේ බලපෑම වගේම කන්‍යා රාශියේ බුධ(-) කාලය මෙහිදී සක්‍රීයව පවතිනවා. ගුප්ත ශාස්ත්‍ර සැක කිරීම මෙන්ම ඒවා විවේචනාත්මකව බැලීම ඔබ තුළ කැපී පෙනෙනවා. ඔබේ ද්‍රව්‍යවාදී පුද්ගලයකු බවත් කැපී පේනවා. කලාත්මක අංශයේ සුවිශේෂී දක්ෂතා සහිතයි. වයස 40 පමණ වන තෙක් ඔබගේ දියුණුව මන්දගාමී වන්නේ සැම දෙයක්ම සැක කිරීමේ ප්‍රතිපත්තිය නිසයි. එය ආර්ථික දියුණුව සලසා ගත හැකි මාර්ගවල මුදල් යෙදවීමටත් ඇති කරවන්නේ උදාසීන හා මසුරු ස්වභාවයක්. ආශ්‍රය කරන යහළුවන් පවා අමුතු ස්වභාවයේ අයවීම ඇත්තෙන්ම පුදුම සහගතයි. උපන් මාසයෙන් ලැබෙන බුද්ධිමත් බව නිසාම නිතර අවබෝධයකින් යුතුව පින් දහම් සිදුකිරීමට වගේම බණ භාවනා කටයුතුවලටත් ළැදිවනවා. වැඩි මෝස්තර විච්චූර්ණවලට වියදම් කරන්න අකමැති වුවත් ලස්සනට පිළිවෙලට අඳීන්න පලඳින්නත් ඔයා ඉතා කැමතියි නේද? ශරීරයේ ශක්තිමත් බවක් නැතත් පිරුණු ස්වභාවයක් තමයි පෙන්නුම් කරන්නේ.

උත්සාහ කළොත් විදෙස්ගත වීමේ වාසනාවකුත් පවතිනවා. අඩුම තරමින් විදෙස්ගත නෑදෑ හිත මිතුරන්ගෙන් හෝ ඔබට වාසි සැලසෙනවා. කලා අංශයේ යම් හැකියාවක් පුංචි තල්ලුවකින් වුවත් වැඩි වර්ධනය කර ගැනීමට වාසනා බලයක් ඔබට හිමියි. යටිබඩ ආශ්‍රිත ගැටලු අන් අයට සාපේක්ෂව ඔබට වැඩි වේවි.

රංගන ශිල්පී, හිටපු මන්ත්‍රී උද්ධික ප්‍රේමරත්නත් (1980) ඔයත් එක්ක එකට කේක් කනවා ඇති.

සැප්තැම්බර් 17:

පෞද්ගලික අංකය 8

ඔයා පමණට වඩා මිනිසුන්ව සැක කරන්න එපා. අසාමාන්‍ය විෂයන් හොර රහසේ ඉගෙන ගෙන විතරක් නෙවෙයි ඒවායේ ප්‍රතිපලත් රහසේම තියා ගන්නවා නේද? හදවතට එකඟවම කැපවෙලා කොච්චර නම් හොඳ කළත් කාගෙන්වත් හොඳක් අහ ගන්නවා නම් බොරු. ඒ ඔක්කොමත් විඳ දරාගෙන වෙනසක් නැතිව ඉන්න ඔය මානසික ශක්තිය මනින්න පුළුවන් තරගයක් තිබුණොත් ඔයා උඩින්ම ඒකෙන් එක. ජීවිතයේ පළමු කාල පරිච්ඡේදය ඇතුළත සැලකිය යුතු සාර්ථකත්වයක් නැති වුණත් අනිවාර්යයෙන්ම ඔබේ ජීවිතයේ ජය මාවතට ප්‍රවිශ්ඨ වීම ඇරඹෙන්නේ හරියටම වයස 40 න් පස්සෙයි.

අංක 8 න් උපදින අය ක්‍රමාණුකූලව වැඩ කරන්න කැමති, නායකත්වය හඹා යන, හැම තිස්සෙම තමන් පිළිබඳ අධි තක්සේරුවකින් කටයුතු කරන අයයි. බොහෝම සැලසුම් සහගතව හීන්සීරුවේ සැලසුම් සකස් කර ඒවා ක්‍රියාත්මක වනතුරු ඉවසීමෙන් බලා සිටීමට ඔබ වැනි අයට තියෙන්නේ පුදුම දක්ෂකමක්. බුධ (-) බලපෑමට නතුව මේ කාලයේ උපදින බොහෝමයක් මොළයෙන් හා වචනයෙන් හොඳ හැටි වැඩ ගන්න දක්ෂයි. කුඩා කාලයේ මේ අය සමාජයෙන් හැංඟිලා වගේ හිටියත් අවසානයේදී ලොකයම සමඟ වුවත් තනිව සටන් වදින්න වුවත් මේ අය මානසිකව ශක්තිමත්.

ඩී.ජේ විමලසුරේන්ද්‍ර (1874), අනගාරික ධර්මපාල (1894), විලියම් ගොපල්ලව (1897), ජේ.ආර් ජයවර්ධන (1906) වැනි ශ්‍රී ලංකා ඉතිහාසය තුළ දිදුළන යුග පුරුෂයන් අතර ඔබේ නාමයත් සනිටුහන් කිරීමට උත්සහා දරන්න.

සැප්තැම්බර් 18

පෞද්ගලික අංකය 9

කන්‍යා රාශියේ බුධ (-) බලය බලපවත්වන විටකදී රවි-යුරේනස් හා ශනි විසින් එක්ව ගොඩනගන ලද ඔබේ පෞද්ගලික අංකය පිළිබඳවයි දැන් අවධානය යොමු කෙරෙන්නේ. මෙහිදී රවි-යුරේනස් විසින් ඔබට නායකත්වය හා ඉදිරියට කඩා බිඳගෙන යාමේ ජවය ලබා දී තියෙනවා. ඒ වගේම ශනි විසින් ඔබේ කලබලකාරී ස්වභාවයට බාධාවක් කරමින් යම් පාලනයට යටත්කොට සැලසුම් සහගත ගමනකට ඔබව යොමු කරවා ඇත. ජීවිතයේ මඟ හමුවන සෑම අභියෝගයකටම ඔබ දිරියෙන් යුතුව මුහුණ දෙනවා, දහසකුත් එකක් දුෂ්කරතා මැද වුවත්. පෞද්ගලික අංකය කුජගේ ශ්‍රේණියට අයත් වීම නිසා ඔබගේ ළමා කාලයේ දුෂ්කරතා බහුල කරවනවා. කුඩා කල සිටම තමන්ගේ කටයුතු තමන්ටම වගබලා ගැනීමට ඉඩ සැලසෙනවා. නිතර වැලඳෙන වසංගත රෝගවලින්ම පත්තියම් වෙලා දවසක ශරීර අභ්‍යන්තරයෙන්ම මතුවන ප්‍රතිශක්තිය තුළින් තමයි ඔබ ශක්තිමත්ව නැඟී සිටින්නේ. උපහාසාත්මකව නිරතුරු අන් අයව විවේචනයට ලක් කරන්න ඔයා තරම් රුසියෙක් තවත් නෑ. ඒ වගේම තමයි ඔය වගේ නිදහස් මතධාරී දාර්ශනිකයෝ මේ ලොව විරළයි. කෘෂි අංශය ප්‍රමුඛ භූමිය සම්බන්ධ කර්මාන්තවලින් හොඳ ලැබීමක් ඔයාට තියෙනවා. ඔයා වගේ අයට මහා පරිමාණ යන්ත්‍ර සූත්‍ර ක්‍රියාත්මක ව්‍යාපෘති අධීක්ෂණය කිරීමට වැඩි වශයෙන් සිදු වෙනවා. ඒ වගේම තමයි ඒ ආශ්‍රිත අනතුරුවලින් මිදීමටත් ඔබ විසින් සම්මා සතිය උපරිමයෙන් යුතුව පවත්වාගත යුතු වෙනවා. පඨවි සස ත්‍රිවංකයට අයත් වීමෙන් භූමිය ආශ්‍රිත වැටීම් තැලීම් වගේම නායයාම්වලට මැදිවීමේ අවදානමක් ද පවතින බව සිහියේ තබා ගත යුතුයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී දිසානායක (1951) ඔබත් එක්කමයි උපන් දිනය සමරන්නේ.

 

සැප්තැම්බර් 19

පෞද්ගලික අංකය 1

කන්‍යා රාශියේ බුධ(-) බලය බලපවත්වන විටකදී රවි-යුරේනස් හා කුජ විසින් එක්ව ගොඩනඟන ලද ඔබේ පෞද්ගලික අංකය පිළිබඳවයි දැන් අවධානය යොමු කෙරෙන්නේ. මෙහිදී රවි-යුරේනස් විසින් ඔබට නායකත්වය හා ඉදිරියට කඩා බිඳගෙන යාමේ ජවය ලබා දී තියෙනවා. ඒ වගේම කුජගේ බලපෑමත් සමඟ ඔබගේ දැඩි අහංකාර ස්වභාවයට වැඩි එඩි බලයක් සපයා දෙනු ලබනවා. සුවිසල් දැණුම් සම්භාරයක් මෙන්ම ප්‍රබල තාර්කික බවක් ඔබ සතුයි. එමෙන්ම ඔබ ස්වභාව සෞන්දර්‍යයටද ඉතා ළැදි අයෙක්. විශේෂයෙන් භාෂා හැදෑරීම කෙරෙහි ඔබ ඉතා රුසියෙක් වනු ඇති. ඉක්මනින් නිගමනවලට එළඹීමත් සුළු ප්‍රශ්නයක දී පවා කලබල වීමත් දුර්වලතාවයක්.

කෙනකුගේ හොඳ හෝ නරක මුහුණටම කියලා දාන්නේ ඔබගේ අවංකභාවය වැඩි නිසයි. ඔබ සතු දැඩි ආත්ම ශක්තිය නිසා කිසි විටෙකත් ගත් තීරණයක් වෙනස් කිරීමට පෙලඹෙන්නේ නෑ. පෙනුමෙන් අහිංසක ස්වභාවයක් පෙන්නුම් කළද ඔබව කෝප ගන්වනූ ලැබූ කලෙක එහි ප්‍රතිපලය අතිශය බිය ජනක වනු ඇති. කෙසේ වෙතත් ඔබ අවංක භාවයත්, ආත්මගරුත්වයත් ආරක්ෂා කර ගැනීම තුළින් දීප්තිමත් අනාගතයකට පියමන් කරන්නට සිහින දකින්නෙක් කිව්වම වඩාත් නිවැරිදියි. පඨවි සස ත්‍රිවංකයටත් අයත් වීම නිසා වැටීම් තැලීම් සිදුවීමේ අවදානමක් ද පවතිනවා. යුරේනස්ගේ බලයට වැඩියෙන් නතුව ඇත්නම් හුදෙකලාවේ දිවි ගෙවීමට වුවත් සිදුවිය හැකියි.

මළල ක්‍රීඩා ශූරී නිමාලි ලියනාරච්චි (1989) ත් ඔයාගේ උපන් දින සගයෙක්.

 

පාරවිද්‍යා පර්යේෂක

එස්.පී.එන් සේනානායක

 

විශේෂ ස්තූතිය -

අයිරිෂ් ජාතික කවුන්ට් ලුයිස් හැමන් සාමිවරයා

හා වෛද්‍ය බන්දුල සිරිවර්ධන

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.