වර්ෂ 2024 ක්වූ November 08 වැනිදා Friday
ලේ බිඳුවක පාපෝච්චාරණය
මෙතෙක් කතාව
ප්‍රකට ශල්‍ය වෛද්‍යවරයකු වෙත පැමිණෙන එක්තරා පුද්ගලයකු තමාගේ අතෙහි බරපතළ වේදනාවක් ගෙන දෙන තුවාලයක් ඇති බව පවසා සැත්කමකින් සුවපත් කරදෙන මෙන් ඉල්ලයි. එහෙත් වෛද්‍යවරයා ඔහුගේ අතෙහි එවැනි තුවාලයක් නැති බව දකියි. එහෙත් ඔහුගේ බලවත් ඉල්ලීම පිට වෛද්‍යවරයා එයට එකඟ වෙයි.
තුවාලයක් නැති නමුදු එම සැත්කම නිසා බලවත් සැනසීමක් ලබන රෝගියා පිටත්ව යනමුත් නැවත දින කීපයකින් වෛද්‍යවරයා හමුවී සිය තුවාලය සනීප නොවූ බව පවසා නැවතද සැත්කමක් සිදු කරවා ගනියි. ඉන් අනතුරුව ඔහු යළි නොපැමිණෙන අතර වෛද්‍යවරයාට දීර්ඝ ලිපියක් එවනු ලබයි. එම ලිපියෙන් කියා ඇත්තේ ඔහුට තම පෙම්බර බිරියගේ ලාච්චුවක තිබී පෙම්පත් මිටියක් අසු වූ බවයි.
“ඇති වී තිබූ ආකූල ව්‍යාකූල ස්වභාවය හේතුකොටගෙන සවස් භාගයේ ඇය ආපසු කැඳවාගෙන ඒම සඳහා සිටු මැදුර වෙත යාමට මා හට නොහැකි විය. නමුත් නොඅනුමානව ඇය සවස් යාමයේ ආපසු නිවෙස වෙත පැමිණෙන බව මා දැන සිටි බැවින් ඵ් ගැන කලබල වීමේ වුවමනාවක්ද නොවීය”
“සුපුරුදු ආකාරයටම සිටුවරියගේ රථයෙන් ආපසු පැමිණි ඇය, ඉන් බිමට බැස ළාබාල දැරියක සේ මා වෙත දිව ආවාය. සුපුරුදු ලෙසම සිය පෙම්වත් වැළඳ ගැනීම් සහ සිපාචාර දැක්වීම් සියල්ල ඇය අතින් සිදු වූ අතර, කිසිවක් සිදු නොවුණාක් මෙන් මමද ඒ සියල්ලටම ප්‍රතිචාර දැක්වුවෙමි”
“සුපුරුදු පරිදි සිදු කෙරෙන සන්ධ්‍යා පිළිසඳරින්ද, රාත්‍රි භෝජනයෙන්ද, අනතුරුව අපි එකිනෙකාට සුබපතා ගනිමින් තම තමන්ගේ කාමරවලට පිය නැඟුවෙමු. ඒ වන විටත් මම මේ මානසික ගැටලුව විසඳා ගැනීම උදෙසා ගත යුතු ක්‍රියා මාර්ගය ගැන දැඩි තීරණයකට එළැඹී සිටියෙමි”
“ඒ අනුව මැදියම් රැය උදාවත්ම මම ඇයගේ කාමරයට පිය නැගුවෙමි. මන්දාලෝකයක් විහිදුවමින් දැල්වුණු පහනේ ආලෝකය ශාන්තව නිදන ඇයගේ වත කමල මත වැටී තිබුණි. අවදිව සිටින විට මෙන්ම නින්දේදී ද ඇය ඉතා සුන්දර අහිංසක විලාසයක් පෙන්නුම් කළාය. ඒ අතිශයින් සුන්දර අහිංසක ස්වභාවය මා තුළ ඇය කෙරෙහි වූ ක්‍රෝධය වඩාත් උත්සන්න කරනු ලැබුවේ, ඒ සා විශාල ද්‍රෝහිකමකින් පසුව පවා මෙසේ සිටීමට කොතරම් හැකියාවක් ඇය සතුව පවතින්නේද යන්න කල්පනා වීමෙනි”
“ඒ වනවිට ක්‍රෝධයට හැර අන් කිසිවකට මගේ හදවතේ ඉඩක් රැඳී තිබුණේ නැත. තවදුරටත් දෙවරක් කල්පනා නොකළ මම මගේ දකුණතට සිරුරේ මුළු ශක්තියම යොදා, ඇයගේ ගෙල සිර කරනු ලැබුවේ එක්වරම මිය යන පරිද්දෙනි”
“ස්වකීය දිවි බේරා ගනු පිණිස සටන් කිරීමටවත් ඉඩක් නොලබා ඇය මිය ගියාය. ඇයගේ අවසාන ප්‍රතික්‍රියාව වූයේ මොහොතකට දෙනෙත් විවෘත කොට භීතියෙන් මා දෙස නෙත් හෙළීම පමණි. මා සිතන්නේ ඇය සිහිනයක් දකින්නා සේ මිය ගිය බවකි. පසුව මට දැනුණ ආකාරයට, තමා මරා දැමීම පිළිබඳව හෝ මා ගැන වෛරයක් ඇය තුළ ඇති නොවන්නට ඇතැයි සිතේ. ඇයගේ ජීවිතය අවසන් කිරීමෙන් අනතුරුවද, තත්පර දෙක තුනක කාලයක් මම ඇගේ ගෙල සිරකරගෙන අල්ලා සිටියෙමි. ඒ අතරතුර වූ ඉතා කෙටි කාල පරාසය තුළ ඇයගේ මුවින් ගලා ආ එකම එක රක්ත වර්ණ රුධිර බිංදුවක් මගේ අතට වැටිණි. මා හැරුණු කල එය වැටුණු තැන නිශ්චිතවම දන්නා එකම පුද්ගලයා ඔබ පමණකි. එය වැටුණු තැන මා හටද ඉතා හොඳීන් සිහිපත් කළ හැක්කේ එය දුටුවේ පසුදා උදෑසන බැවිනි. ඒ වන විට වේළුණු රුධිර බිඳුව විසින් අතෙහි පැල්ලමක් සලකුණු කොට තිබිණි”
“කිසිදු ප්‍රශ්නයක් නොනැඟෙන ආකාරයෙන් ඇයගේ හදිසි මරණයේ අවසන් කටයුතු නිම කරන්නට මා හට ඉතා හොඳීන් ඉඩ කඩ සැලසී තිබිණි. අප දෙදෙනා අසීමිත ප්‍රේමයෙන් දිවි ගෙවූ බවත්, කිසි දිනෙක වදනකින් හෝ සිත් රිදවා නොගත් බවත්, මන්දිරයේ සේවක කාරකාදීහු හොඳාකාරව දැන සිටියහ. වෙනකක් තබා ඇයගේ ජීවිතය අවසන් වීමට බලපෑ සිද්ධියේදී පවා අප දෙදෙනා අතර මොනම විදියක හෝ නොහොඳ නෝක්කාඩුවක් සිදූ වූයේ නැත. මා සුවිශාල වතුයායක හිමිකරුවකු ලෙස ජීවත් වූ හෙයින් අපගේ කටයුතු පරීක්ෂා කිරීම සඳහා නිලධාරීන්ගේ පැමිණීමක්ද සිදු නොවුණි. ඇයටද සිටුවරිය හැරුණු කොට වෙනත් නෑ හිත මිතුරෝ නොසිටියහ.
එහෙත් කිසිවකුගේ සැකයට යම්තමින් හෝ පාත්‍ර වීමෙන් වැළකෙනු පිණිස මම ඇයගේ මරණය පිළිබඳව නිවේදනයක් නිකුත් කළෙමි.
එසේ වුව ද ඒ කටයුත්ත සිදු කරනු ලැබුවේ අවසන් කටයුතු නිම කිරීමෙන් අනතුරුවය”
“මේ බරපතළ සිදුවීම පසුපස ඇති විශේෂත්වය වන්නේ කිසිම ආකාරයකින් හෝ මා තුළ පශ්චාත්තාපයක් ඇති නොවීමයි. මගේ බිහිසුණු දඬුවමට සුදුසු අපරාධයක් ඇය විසින් සිදු කරනු ලැබ ඇති බව මම තරයේ විශ්වාස කළෙමි. ලෝකයේ කිසිදු මනුෂ්‍ය ඝාතකයෙකු එතරම් සැහැල්ලු සිතකින් පසුවෙන්නට නැතැයි මම සිතමි”
“සිටු දේවිය මන්දිරයට පැමිණ සිටියේ බිරිඳගේ අවසන් කටයුතු නිමකොට මා ආපසු පැමිණෙනවාත් සමඟය”
“මගේ බිරිඳගේ හදිසි මරණය පිළිබඳව වූ තැති ගැන්ම නිසා ඇය ඒ වන විටත් සිටියේ සිහිසුන් වන තරම් අප්‍රාණික ස්වභාවයකිනි”
“ඒ හැරුණු කල සිය හොඳම මිතුරියගේ වියෝගයට ඔබ්බෙන් වූ යම් හේතුවක් මත සිටුවරිය දැඩි ලෙස කැලඹී සිටින බවද, මා හට පෙනී ගිය කරුණක් වූයේය. ඇය මගේ බිරිඳගේ අභාවය ගැන තම හෘදයාංගම කණගාටුව පල කළ අතර මාගේ සැනසීම උදෙසාද, බොහෝ දේ පැවසුවාය. සත්‍ය වශයෙන්ම ඒ පිළිබඳව කණගාටුවක් මා තුළ නොවූ අතර ඇය පැවසූ දේවල් අවබෝධකර ගැනීමේ වුවමනාවක්ද මා තුළ නොවීය. එනිසා මා ඇයට සවන් යොමු කළේ කිසිදු වුවමනාවකින් නොවේ. ඉන් අනතුරුව එක් වරම ඉතා හිතෛෂිවන්ත මිතුරියකගේ ලීලාවෙන් මගේ දෙඅත් අල්ලා ගත් ඇය මා හට බරපතළ රහසක් පැවසීමට තිබෙන බව පැවසුවාය. එය මා හට පවසනු ලබන්නේ තමන්ගේ හොඳම මිතුරිය වන මගේ බිරිඳගේ ගෞරවයේ නාමයෙන් යයිද, එය දැන ගැනීමෙන් පසුව මා එයින් අනිසි ප්‍රයෝජනයක් නොගන්නා බවට දැඩි විශ්වාසයක් ඇති බව දන්නා නිසා යයිද කීවේ පෙර ඇතිව තිබූ කැලඹුණු මුහුණින් යුතුවමය.”
“ඇය පැවසූ රහස වූයේ තමාගේ ඉතාමත් පෞද්ගලික ලියුම් මිටියක් මගේ බිරිඳ ළඟ ප්‍රවේශම් කිරීමට දී ඇති බවය. ඒ ලිපිවල ඇතුළත් තමන්ගේ පෞද්ගලික ජීවිතය අනතුරට පත්විය හැකි කාරණා හේතුකොට ගෙන සිටු මැදුරේ තබා ගැනීම අනතුරුදායක වූයේ යයිද ඇය කියා සිටියාය.’‘
“ඇයගේ ඉතා යටහත් පහත් ඉල්ලීම වූයේ ඒවා තමා වෙත ආපසු දෙන ලෙසය. ශීතල රුධිර ධාරාවකින් සියොළඟම හිරි වැටී යද්දී ඒ දෛවෝපගත නිමේෂය තුළ මා ඇගෙන් ඇසුවේ, ඒ ලියුම්වල තිබෙන්නේ මොනවා දැයි යනුවෙනි. එයට කෙලින්ම පිළිතුරක් නොදුන් සිටුවරිය බියෙන් තැතිගත් සිය මනස හැකිතාක් සන්සුන් කර ගනිමින් මෙසේ පැවසුවාය”
“මගේ මුළු ජීවිතයටම හමුවුණු ඉතාම විශ්වාසවන්ත, සහ ගෞරවණීය කාන්තාව ඔබේ බිරිය බව කියන්නට ඕනෑ. ඇය එම ලිපි කිසි දිනක නොබලන බවටත්, ප්‍රවේශම් කර තබන බවටත් මට පොරොන්දු වුණා. ඒවායේ තිබෙන්නේ මොනවාද කියා ඇය දන්නේ නැහැ”
“මගේ භාර්යාව ඔබේ ලියුම් තබා ගත්තේ කොතනදැයි ඔබට කියා තිබෙනවාද ?”
“මම ඇසුවේ ඇතුළතින් පැන නැගුණු දරා ගත නොහැකි කැලඹීම දැඩි ආයාසයකින් මැඬ පවත්වා ගනිමිනි”
“ඇත්තෙන්ම ඔව් ඇය ඒවා තමාගේ මැහුම් මේස ලාච්චුවේ තබා යතුරු දමා ප්‍රවේශම් කරන බව මට පැවසුවා. ඔක්කෝම ලියුම් තිහක් ඇති. රෝස පැහැති පටියකින් ගැට ගසා ඇති බැවින් ඔබට ඒවා සොයා ගැනීම අපහසු වෙන්නේ නැහැ”
“ශීතල වූ හදවතින් යුතුව සිරුරේ වේව්ලීම අමාරුවෙන් නවත්වා ගන්නට උත්සාහ ගනිමින් මම ඇයව බිරියගේ මැහුම් මේසය කරා කැඳවාගෙන ගියෙමි. ඉක්බිති ලාච්චුව තුළ වූ ලියුම් මිටිය ඇය අතට පත් කළෙමි”
“මේ ඔබ ඇයට තබා ගන්නට දුන් ලියුම්ද?” මම ඇසීමි.
“එයට හිස වනා පිළිතුරු දුන් ඇය සැණෙන් එය මා අතින් අර ගත්තාය. ඒ අවස්ථාවේ මා ඇයගේ මුහුණ දෙස නොබලන්නට ප්‍රවේශම් වූයේ හදවත අභ්‍යන්තරයේ ඇවිළෙන මහා අග්නි ජාලාව සිටුවරියට දැනේ යැයි දැඩි ලෙස බියපත් වූ හෙයිනි”
එය පටන් ගත්තේ බිරියගේ මළ සිරුර භුමදානයෙන් හරියටම සතියක් ගත වූ තැන් පටන්ය. මගේ අතෙහි ඇයගේ මුවින් ගැලූ රුධිර බිංදුව වැටුණු තැන එක්වරම ගිනි පුපුරක් වැටුණ කලෙක මෙන් දැඩි වේදනාවක් මතු වූයේය. මෙය සත්‍ය වශයෙන්ම ශාරීරිකව ඇති වූවක් නොව මාගේ මානසික රෝගී ස්වභාවයක් බව මම හොඳාකාරව දනිමි. නමුත් මා පෙළන දැඩි වේදනාව සමනය කිරීමට ඒ අවබෝධය කිසිසේත්ම ප්‍රමාණවත් නොවේ. කිසිදු වරදක් නොකළ මගේ අහිංසක බිරිය සාහසික ලෙස ඝාතනය කිරීම වෙනුවෙන් මා ලබන දඬුවම බවට පත්ව ඇත්තේ ඉවසාගත නොහෙන මේ වේදනාවය. එය මා අනිවාර්යයෙන්ම ලැබිය යුතු දඬුවමක් බව දනිමි. එනිසා මෙතැන් පටන් එම දරුණු වේදනාවෙන් ගැලවීමට මම උත්සාහ නොකරමි. මගේ එකම අභිප්‍රාය ඉතා ඉක්මනින් ඇය හමුවීමට යාමය. එහි ගොස් මා කළ බරපතළ පාප කර්මයට සමාව දෙන මෙන් මගේ අහිංසක ආදරණීය භාර්යාවගෙන් ඉල්ලා සිටින්නෙමි.
ඇයගේ උදාර ගුණාංගයක් ගැන දන්නා හෙයින් මා හට නොඅනුමානව ඇගෙන් සමාවක් ලැබේ යැයි මම විශ්වාස කරන්නෙමි. මා සමඟ ජීවත්ව සිටියදී මෙන්ම එහිදීත් ඇය මට ප්‍රේම කරනු ඇත. මා හිතවත් දොස්තර මහතාණෙනි, ඔබ මා වෙනුවෙන් කළ උපකාරය වෙනුවෙන් මගේ කෘතඥභාවය පිළිගන්නා මෙන් ඉල්ලා සිටිමි.”
නිමි.
(හංගේරියානු ජාතික කාරොල්යි කිෂ්ෆොලුඩීගේ කතාවක් ඇසුරිනි )
තිස්ස ප්‍රේමසිරි