නිර්මාණකරුගේ චිත්ත සමාධිය පිළිබිඹු වන ශිව නටරාජ පිළිමය

ජුනි 28, 2024

 

ශිවගේ සියලුම විලාශ අතර ඔහුගේ නෘත්‍යමය විලාසය දකුණු ඉන්දියාවේ අතිශයින් ප්‍රචලිතය. ශ්‍රී ලංකාවෙන් හමු වී ඇති රාශියක් නටරාජ ප්‍රතිමා අනුව එම ආකාරය මෙහි විසූ හින්දුන් අතර ප්‍රචලිත වූ බව පෙනේ. නෘත්‍යයේ රජු හා නෘත්‍යවේදීන්ගේ රජු වශයෙන් සැලකෙන ශිව මෙහිදී විශ්වයේ උත්පාදනයේ සහ සංහාරයේ ජගත් විෂයීය නෘත්‍ය නිරූපණය කරයි.

අත් සතර සහිතව සිටින ශිව ඔහුගේ දකුණු පාදයට සිරුරේ බර දරා සිටින්නේ එම පාදයෙන්ම අපස්මාර පුරුෂයා මඬිමින් ය. අපස්මාර පුරුෂයා යනු අවිද්‍යාව පුද්ගලත්වයට නැඟීමකි. ඔහු දකුණුපස ඉහළින් වූ අතින් ඩමරුවක් දරා සිටී. එයින් සංකේතවත් වන්නේ ජගත් විෂයීය නෘත්‍යයේ රිද්මයත් පොදු වශයෙන් විශ්වයේ හෘදස්පන්දනයත් ය.

වම්පස ඉහළ අතෙහි ගිනි දල්ලකි. එය අවසාන සංහාරයේ සංකේතයයි. මෙය මැනවින් සංකේත තුලනය කිරීමක් මෙන්ම දකුණුපස ඉහළ අතෙහි දැක්වෙන සංකේතයට ප්‍රතිවිරුද්ධව සකස් කළ විධිමත් වෙනසකි. පහළ දකුණතෙහි අභය මුද්‍රාව දැක්වේ. එය භක්තිමතාට අස්වැසිල්ලක් ගෙන දෙයි. වම්පස පහළ අත මඳක් ඔසවා ගෙන සිටින වම් පාදය දෙසට යොමුකරමින් ගාජහස්ත මුද්‍රාව දක්වයි. එමඟින් අධ්‍යාත්මික විමුක්ති දානය නිරූපිතය. ගොතන ලද කොණ්ඩවල සම්ප්‍රදායිකව පෙන්වා ඇත්තේ හිසින් දෙපසට විහිදී යන අයුරිනි. මෙම ප්‍රතිමාවේ කර්ණභාරණ අස්ථානගතවී තිබේ.

පාදමට වෙන් වශයෙන් සම්බන්ධ කළ ප්‍රභා මණ්ඩලයකින් (තිරුවාසි) ප්‍රතිමාව මැදිකොට තිබේ. මෙහි පාදම ඉතා සිත් ගන්නා සුලුය. එහි සංගීතකරුවන් පෙළක් මුර්තිමත් කර තිබෙන්නේ භක්තිවන්තියක් වන කෙරෙක්කාල් අම්බෙයියාර් එහි පළමුව නිරූපණය කිරීමෙනි. ඇය එහිදී කයිතාලමක් වයමින් සිටී. මේ ප්‍රතිමාවේ ශරීරයේ මූලික ව්‍යුහය සැකසීම, මුහුණේ අංග සහ මෙය ලාංකික සම්භවයක් ඇති එම නිෂ්පාදනාගාරයේම සකස් කළ එකක් සේ සැලකේ යනුවෙන් ජාතික කෞතුකාගාරයේ හිටපු අධ්‍යක්ෂ ආචාර්ය නිරිනිමල් ලක්දුසිංහ මහතා සඳහන් කරයි.

(ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුවේ ප්‍රකාශනයකි. 1995 ශ්‍රී ලංකාවේ ලෝකඩ මූර්තිකලා උරුමය - ප්‍රධාන සංස්කාරක මහාචාර්ය ලීලානන්ද ප්‍රේමතිලක)

පොලොන්නරුවේ ශිව දේවාල අංක 5 ලෙසින් අනුරාධපුර පුරාවිද්‍යා කෞතුකාගාරයෙහි මෙය දක්නට ලැබේ. 12 වැනි සියවසේ නිර්මාණය කරන ලද මේ නටරාජ පිළිමය ලෝකඩ ඝන වාත්තු ක්‍රමය යටතේ නිර්මාණය කර ඇත.

හින්දු ආගම පොලොන්නරු යුගයේ දී ඉතා දියුණුවට පත් වූයේ ය. චෝල ජනතාවගේ ආගම වූයේ හින්දු ආගමය. එම නිසා ඒ ආගම අදහන ජනතාවට ඒ සඳහා ඉඩකඩ සැලසීමට එකල සිටි සිංහල රජවරුන් විශේෂයෙන් මහ විජයබාහු රජතුමා කටයුතු කළේ ය. ඊට පෙර තිබුණු පොලොන්නරුවේ චෝල පාලක සමයේ ඉදි කළ ශිව දේවාල සහ විෂ්ණු දේවාල කඩා බිඳ දැමීමට සිංහල රජවරුන් වූ (පොලොන්නරු සමයේ) මහවිජයබාහු, මහපරාක්‍රමබාහු හා නිශ්ශංකමල්ල යන රජවරු ක්‍රියා කළේ නැත. හින්දු පුදබිම් විනාශ කිරීමට ඒ රජවරුන්ට ඕනෑතරම් අවස්ථාව තිබුණි. එමෙන්ම මෙකල පොලොන්නරුවේ මධ්‍යම සංස්කෘතික අරමුදලට අයත් වන පුරාවිද්‍යා කෞතුකාගාරයෙහි හින්දු ප්‍රතිමා පිළිබඳ විශේෂිත අංශයක්ද නිර්මාණය කර එහි ශිව, පාර්වති, විෂ්ණු හා ගණදෙවි ආදී ලෝකඩ ප්‍රතිමා සහ ශිලා ප්‍රතිමා ද දැකිය හැකිය. මෙය ආගමික සහනශීලිභාවය මෙන්ම සමාජයේ යහපත් සාමකාමී පැවැත්මට කවදත් අවශ්‍යවන්නේය.

අප මෙහිදී විශේෂ අවධානය යොමු කරන්නේ නටරාජ ලෝහ ප්‍රතිමාව පිළිබඳව ය. මෙය ඉතා ප්‍රකට හින්දු ප්‍රතිමාවකි.

හිටපු පුරාවිද්‍යා කොමසාරිස්වරයෙකු වූ (ක්‍රි.ව. 1960 - 1967) ආචාර්ය චාල්ස් ගොඩකුඹුර මහතා විසින් ලියන ලද පොලොන්නරුවේ ලෝකඩ රූප නම් ග්‍රන්ථයෙහි නටරාජ හින්දු ප්‍රතිමාව පිළිබඳ මෙසේ සඳහන් කර ඇත.

“ඉතා අලංකාර භාව විලාස දක්වන ප්‍රතිමාවකි. එහෙත් මේ රූපයේ හිසකෙස් කුණ්ඩලාභරණ හමුවී නැත. දැනට ලැබී ඇති නටරාජ ලෝකඩ රූප අතුරෙන් විශාලම රූපය මෙයැයි අදහස් කරනු ලැබේ. ආචාර්ය ආනන්ද කුමාරස්වාමි මහතාගේ ‘ඩාන්ස් ඔෆ් ශිව‘ (1948 බොම්බාය) නමැති පොතේ මේ රූපය අඩි 4 හා අඟල් 6 පමණ උස වේ. පොලොන්නරුවෙන් ලැබී ඇති මේ ප්‍රතිමාවේ විශේෂ ලක්ෂණයක් නම් වෙන ප්‍රතිමාවල මෙන් කවාකාර ප්‍රභා මණ්ඩලයක් නැතිව ආරුක්කුවක හැඩය ඇති ප්‍රභා මණ්ඩලයක් තිබීමයි. මෙවැනි සමානකම් ඇති වෙනත් ප්‍රතිමා සොයා ගැනීම දුර්ලභය. අනෙක් ලක්ෂණය නම් පද්මාසනයේ ඉදිරිපස පෙළට ඇති සංගීත කණ්ඩායමයි. ප්‍රථමයෙන් මෙහි සංගීත කණ්ඩායම වෙනුවට කුලුනු සහ සිංහයන් යොදා තිබුණු බව පෙනේ. මේ සංගීත කණ්ඩායමේ දකුණේ සිට වමට ඇත්තේ තාලං ගසන ස්ත්‍රියක්, සක පිඹින්නෙක්, බටනළා පිඹින්නෙක්, බෙරයක් ගසන ස්ත්‍රියක් සහ තවත් නළඟනකි. මෙවැනි ලක්ෂණ ඇති ‘ශිවනටරාජ’ මූර්තියක් මෙතෙක් ලැබී නැත. දකුණු ඉන්දියාවේ සංගීත වාදකයන් සමග නටන ශිව නටරාජ මූර්ති ඇත. නටන ශිව දෙවියන් විසින් මඬිනු ලැබ සිටින අපස්මාර පුරුෂයාගේ මුහුණද පොලොන්නරුවේ වටදාගෙයි ගණ රූපයන්ට බොහෝ සෙයින් සමානය.

(පොලොන්නරුවේ ලෝකඩ රූප ආචාර්ය චාල්ස් ගොඩකුඹුර පි. 3 පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රකාශනයකි.) මේ ශිව නටරාජ ලෝකඩ පිළිමය එකළොස්වන ශත වර්ෂයට අයත්වේ. පොලොන්නරුවෙන් හමුවී ඇති මේප්‍රතිමාව චෝලයින් විසින් ගෙන එන ලද්දකි. (රජරට ශිෂ්ටාචාරය සහ නිරිතදිග රාජධානි - මහාචාර්ය ඉන්ද්‍රකීර්ති සිරිවීර - පි. 392 - 2001)

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කරන ලද මූර්ති කලාව නම් වූ ග්‍රන්ථයෙහි නටරාජ මූර්තිය ගැන මෙසේ සඳහන් වේ. පොලොන්නරුවේ හින්දු දේව ප්‍රතිමා අතුරෙන් තදින් සිත් ගන්නා සුළු මූර්තිය නටරාජ මූර්තියයි. මෙයින් නිරූපණය කර ඇත්තේ විශ්වය නියෝජනය කරන නැට්ටුක්කාරයෙකුගේ විලාසයෙනි. ආචාර්ය ආනන්ද කුමාරස්වාමි මහතා එය විස්තර කරන්නේ මෙසේ ය. මේ රූපය අත් හතරකින් යුත් මාලාදාමයක අන්දමට ගොතා බඳින ලද තදින් බොකුටු වී ගිය කේශ කලාපයක් ඇති භ්‍රමණය වන නැට්ටුක්කරුවෙකුගේ විලාශයෙන් නිමවා ඇත. හිසෙහි දකුණුපසෙහි සුළඟට ලෙළදෙන කෙස් රොදක ගංගා දේවියගේ රූපය ද (නාගිනි රූපයක් සේ පෙන්වා ඇත) වම් පසෙහි නාගයෙකුගේත් අඩ සඳේත් රූප ඇත. නළල් තලයේ මුතුමාලයෙකි. අත් හතරෙන් දකුණු අතෙහි පොඩි බෙරයකි (උඩැක්කි) පසුපස වම් අතෙහි ගිනි සළුවක් සහිත තැටියකි. ඉදිරිපස දකුණත අභය මුද්‍රාවෙනි. ඉදිරි වමත ඔසවාගත් පාදය දෙසට දිගුකර ඇත. පාදයෙහි වටා කුඩා මිණිගෙඩි බැඳ ඇත. සමස්ත රූපයම ගිණිදැල් විහිදෙන ආරුක්කුවක් (තිරුවාසි) ඇතුළත පිහිටුවා තිබේ. මේ ආරුක්කුව නැඟී එන්නේ පද්මාසනයක් මත පිහිටුවා ඇති බද්ධ කරනු ලැබූ මකර යුගලකගේ මුඛවලිනි.

(Dr. Ananda kumaswamy - Brons Ceylon pg -1978)

සමස්තයක් වශයෙන් මේ නටරාජ ප්‍රතිමාවේ නිර්මාණය කෙතරම් දර්ශනීය අන්දමට නිර්මාණය කර කෙතරම් ශෝභන ලෙස සමතුලිතකොට රිද්මයානුකූල ලෙස හා මනහර අයුරින් නිමවා තිබේදැයි කිවහොත් එය නරඹන්නා වශීකරන සුලුය. මෙය සමානුපාතිකව ආගමත්, විද්‍යාවත්, කලාවත් නියෝජනය කරන බැවින් වෙනත් කිසිදු මූර්තියකට වඩා මෙයින් මානව බුද්ධියේ ඒකීයකරණය ප්‍රකාශ කරනු ඇත.

පුරාවිද්‍යා උපදේශක සභාවේ සාමාජික, හිටපු සහකාර පුරාවිද්‍යා අධ්‍යක්ෂ සහ මහාචාර්ය සෙනරත් පරණවිතාන පදනමේ ලේකම්

සිරිසමන් විජේතුංග

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
18 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.