සැමියා හෝ බිරිය ‘හිට්ලර්’ කෙනෙක්ද?

ජුනි 21, 2024

විවාහය සඳහා සහකරුවකු හෝ සහකාරියක තෝරා ගැනීමේදී දෙදෙනාට සමගියෙන් සාමයෙන් කටයුතු කළ හැකි වේද? දෙදෙනාගේ අදහස් ගතිපැවතුම් කෙසේ වේද? තම අදහස් අනුවම කටයුතු කරන ආත්මාර්ථකාමි ගති ඇති අයෙකු වේද? තමාට ආදරයෙන් ගෞරවයෙන් කටයුතු කරමින් තීරණ ගැනීමේදී සාමුහිකව කටයුතු කරන අයෙක් ද? යනුවෙන් දැන ගැනීමට බොහෝ දෙනා කැමැත්තක් දක්වති.

පෙම්වතුන් වශයෙන් කල් ගෙවනා කාලයේදී සුවච, කීකරු, නිහතමානී සත්පුරුෂභාවයෙන් යුතු අයකු මෙන් පෙන්නුම් කළත් විවාහ වූවාට පසුව හාත්පසින්ම වෙනස් තත්ත්වයකින් යුතුව කටයුතු කරන අය ඕනෑ තරම් ඇත.

මෙවැනි තත්ත්වයක් ඇතිවූ විට බොහෝ දෙනා පවසන්නේ විවාහ වූයේ පොරොන්දම් බලා හොඳින් ගැළපුණ නිසා බවය. එහි සත්‍යතාවයක් ඇත. පොරොන්දම් බලන්නේ දෙදෙනාගේ නැකත් දෙක මුල්කරගෙනය. සියල්ල හොඳින් ගැළපී තිබේ. එසේ පොරොන්දම් සියල්ල මනාව ගැළපී තිබියදීත් පවුලේ කටයුතු පිළිබඳව තීරණ ගැනීමට නොහැකිය.

එවැනි තත්ත්වයක් උදාවූයේ ඇයි? පොරොන්දම් බැලීම පමණක් මඟින් ඒ ඒ පුද්ගලයාගේ චෛතසික හා මානසිකකත්වය සම්බන්ධයෙන් නිගමනයකට එළඹීමට අපහසුය.

උපන් නැකතින් කෙනකුගේ චරිත ලක්ෂණ ගතිගුණ හෝ වෙනස් තොරතුරු අවබෝධ කර ගැනීමට නොහැකියි. එවැනි දෑ දැනගත හැක්කේ උපන් කේන්ද්‍ර සටහනෙහි සමස්ත ග්‍රහ මණ්ඩලය පරික්ෂා කිරීමෙන් අනතුරුවය.

කෙනෙකුගේ තීරණ ගැනීමේ ක්‍රියාවලියට ඍජුවම සම්බන්ධතාවයක් ඇත්තේ කේන්දරයේ ලග්නය හා 04 වැන්නෙයි. ලග්නාධිපතියා හා හතරවැන්න අධිපතියා සිටින ස්ථානය, ඔවුන් ලබන දෘෂ්ටිය, සංයෝගය, ස්ථානබලය උච්ච, ස්වක්ෂේත්‍ර, නීච හා සතුරු බලය යමක් පිළිබඳ තීරණ ගැනීමේදි අනුගමනය කරනු ලබන ක්‍රියා පිළවෙතටසම්බන්ධතාවයක් ඇත.

ලග්නයේ හෝ සතරවැන්නේ රවි උච්ච භාවයට පත්වූ අය ගන්නා වූ තීරණ හරි හෝ වැරැදි වූවත් වෙනස් කිරීමට කැමැති නොවේ. එම තීරණයම ක්‍රියාත්මක කරනු ලබයි. මේ රවි අඟහරුගේ දෘෂ්ටියට හෝ සංයෝගයට ලක්වුවහොත් දැඩි බව තවදුරටත් වැඩිවේ. මේ සංයෝගයට රාහු සම්බන්ධ වුවහොත් රවිගේ ක්‍රියාත්මක වේගය වැඩිදියුණු වී පවුලේ ඒකාධිපතියකු බවට පත්වේ.

ලග්නය හා හතරවැන්න හැර වෙනත් ස්ථානයක රවි උච්ච තත්ත්වයට පත්වුවහොත් ඔහු හෝ ඇය ඍජු අදහස් දරණ අයෙකු වනු ඇත.

රවි ස්වක්ෂේත්‍ර වන්නේ සිංහ රාශියෙහි දී ය. එවැනි අයද තීරණ ගැනීමේදී අන් අයගේ අදහස් විමසා කටයුතු කරන්නේ කලාතුරකිනි.

රවි උච්ච වූ අය සිතන්නේ යමක් ඍජුව කිරීමටය. මේ නිසා සහකරුගේ හෝ සහකාරියගේ අදහස් විමසීමෙන් හෝ ඔවුන්ගේ මතයට ගරු කිරීමෙන් හෝ තමන්ට යම් මදි පුංචිකමක් වේ යැයි සිතන බැවින් තම මතයට ක්‍රියාත්මක කිරීමට පෙලඹේ.

රවි ස්වක්ෂේත්‍ර අය එතරම් ඍජු බවක් නොපෙන්වුවත් තරමක ආඩම්බර ගතියක් පෙන්වයි.

අඟහරු ලග්නයේ හෝ හතරවැන්නේ නම් ඔවුන් පහසුවෙන් අවනත කර ගැනීම අපහසුය. එනිසා තීරණ ගැනීමේදී තමාගේ තීරණය නිවැරැදියි යන ආකල්පයේ සිට කටයුතු කරයි.

රවි, කුජ යන දෙදෙනා මේෂ රාශියේ සිටි නම් ඔහු හෝ ඇය දැඩි මතයේම සිට කටයුතු කරයි.

කේන්ද්‍ර සටහන්වල සහකරු හා සහකාරිය යන දෙදෙනාගේම රවි උච්ච තත්ත්වයෙන් සිටීම විවාහ ජීවිතය සාමයෙන් පවත්වාගෙන යාමට බාධාවකි.

රවි උච්ච තත්ත්වයට පත්වූ දෙදෙනෙකු විවාහ වීම යෝග්‍යය නොවේ. දෙදෙනාම ඍජු තීරණ ගැනීම නිසා යුගදිවිය සාමයෙන් ගෙනයෑමට අපහසුය.

මේෂ, සිංහ, ධනු යන ලග්න හිමියන්ගේ රවි උච්චභාවයට පත්වූ විට ඔවුන් දැඩි තීරණවලට එළඹීමේ ප්‍රවණතාවය වැඩි කෙරේ.

විවාහ ජීවිතයේදි තීරණ ගැනීම පිරිමියා සතු කරුණක් යැයි බොහෝදෙනා සිතති. එහෙත් විවාහ ජීවිතයේදී අඹුසැමියන් තීරණ ගත යුත්තේ තීරණ ක්‍රියාත්මක කළ යුත්තේ දෙදෙනා සාකච්ඡා කොට සාමුහික වශයෙනි.

දැඩි මතධාරි අදහස් දරන සහකාරියක හෝ සහකරුවකු සමඟ යුගදිවියට එළැඹියහොත් යුගදිවිය ගත කිරීමට සිදුවන්නේ නොයෙකුත් හැලහැප්පීම් මැද වන නිසා පොරොන්දම් බැලීමේදී නැකත් දෙක අනුව බලන විසි පොරොන්දම්වලට වඩා දෙදෙනාගේ කේන්ද්‍ර සටහන්වල ඇති ග්‍රහ පිහිටීම්වලට මුල්තැන දිය යුතුය.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.