පනස්පස්වැනි වසරට පා නඟන ‘සුබසෙත’

මැයි 31, 2024

ශ්‍රී ලංකාවේ කොළඹ නගරයේ කාන් ඔරලෝසු කණුව සමීපයෙන් බටහිර දෙසට ගලා යන මහා දිය දහරකි. අගනුවර සැරිසරන ජනතාවගේ ගී‍්‍රස්මය මකන මේ ජලපහරින් බෙදා හරින මද සිසිල නැතුවම බැරිය. හුදෙක් කොළඹ නගරයටම මහත් පහසක් ඇතිකර දෙවැනුව මහා ජලාශයක් වී කොළඹින් පිටත තුරුලතා සුවපත් කරනවා මේ ජලදහර.

මේ පුංචි දිවයිනේ වසන මිනිසාගේම ප්‍රයෝජනයටම උපන් මහා දාර්ශනිකයෙක් මේ මව්බිමේ කොහේ හරි තැනක ඉපදී ඇති බව බොහෝ දෙනා නොදන්නා කරුණක් වුණා. පින්වත් මවුපියන් දෙදෙනකුගේ කුලවත් දරුවකු වූ ඔහු විජයවර්ධන පවුලටම ඇතුළත් සාමාජිකයකු වුණා. දිනෙන් දින මෝරා මුදුන් වන පූර්ණ චන්ද්‍රයා මෙන් මේ පින්වත් කුමාරයා ද වැඩිවියට පත් වුණා. උගත් මවුපියන්ගේ හා තුන්කල් දත් ගුරුවර ගුරුවරියන්ගේ පූර්ණ උපදෙස් කිසිදු ප්‍රමාදයකින් තොරව ග්‍රහණය කරගත් මොහු තමා ඉපදුණු රටට කිසියම් වටිනා දෙයක් කිරීමටම අධිෂ්ඨාන කර ගත්තා. සෑම දෙයක් ගැනම කල්පනාකාරීව කාලය ගත කළ මොහු හදිසියේම එක් කරුණක් ගැන විශේෂ අවධානයක් යොමු කළා. එනම් ලංකාව නම් පුංචි දිවයින ඇතුළු ලෝකයේ සියලුම ජනතාව ගැන ඔවුන්ගේ රස්සා, දෛනික සිදුවීම් මෙවැනි දේවල් එකිනෙකා දැනගත යුතු බවට හා ඒ ගැන කිසියම් හෝ සම්බන්ධතාවක් ඇතිකර ගත යුතු බවට. එනම් ලෝකයේ උතුරින් නැඟෙනහිරින්, බටහිරින් හා දකුණින් යන දිශාවන්වලින් කිසියම් විස්තරයක් ලැබේද ඒවා ව්ඥඹඵ විය යුතුමය. මේ සියලුම කරුණු ඒක රාශි කර ගැනීමට බෙදාහැරීමට බේරේ ළඟින්ම පුංචි කන්තෝරුවක් ආරම්භ වුණා. ඉතාම සුළු කාලයක් ඇතුළත මේ ස්ථානය බේරේ ගෙදර පත්තර කන්තෝරුව නමින් සාමාන්‍ය ප්‍රසිද්ධියක් ඉසිළුවා. කාර්යාලයත් සමඟ පුංචි අංශ දෙක තුනකින් ආරම්භ වූ මෙය ඉතාම ටික කාලයකින් මහා වෘක්ෂයක් ලෙසට පරිවර්තනය වී ඉතා විශාල සේවක පිරිසක් වැඩ කරන මහා ලොකු ස්ථානයක් වුණා. භාෂා තුනෙන්ම පත්තර මේ ස්ථානයෙන් මුද්‍රණය වුණා. පෙරදිග මනුෂ්‍යයාගේ ප්‍රයෝජනය සඳහා මුද්‍රණය වන පුවත්පත් පසුවදා පහන්වන්ටත් කලින් ගෙමිදුලටම ලැබෙන ක්‍රියාවලියකින් පුවත්පත් බෙදා හැරීම සිදු වුණා. එවක එම පුවත්පත් ජාත්‍යන්තරයට ද යවා හමාරය. එවැනි පුවත්පත් මුද්‍රණය හා බෙදාහැරීමේ ප්‍රමුඛ ජාලයක් මෙහි පැවතුණා.

මෙහි ඇති යන්ත්‍ර සූත්‍ර ක්‍රියාකරන්නේ මහා යෝධයන් මෙනි. ඊටම නොදෙවැනි පරිපාලනයකි. ලංකාවේ ඕනෑම වර්ෂයක වෙසක්, පොසොන් යන දෙමාසවල කිසියම් හෝ නව නිෂ්පාදනයක්, අලුත් දෙයක් රටට ඇතිවීමේ ප්‍රවණතාවක් පවතින බව පැරැණි සිංහලයා දනී. ඒ බුදුරැස් විහිදෙන මාස නිසා යැයි බුද්ධාලම්භන පී‍්‍රතිය ඇත්තෝ පවසනවා. එමෙන්ම ජුනි මාසයේදී අපට බුද්ධාගම ලැබුණු බවත් පෙර කී දේ ස්ථිර කරනවා. සාමාන්‍ය මේ මාස දෙක තුළ ගස් අතුවල ද මල් පිපී කාලගුණය ද ඉතා සෞම්‍යවත් වෙනවා.

සුපුරුදු පරිදි 1969 මැයි මාසය උදා වුණා. මාධ්‍යවේදීන් කිහිපදෙනෙකු කිසියම් හෝ දෙයක් ගැන සාකච්ඡාවේ නියැළී සිටියා. ඒ මෙම ආයතනයෙන් මෙතෙක් පළ නොවී ඇති විෂයයක් ගැනයි. සෑම විෂයය කරුණක් ඇතුළත් පුවත්පත් මුද්‍රණය කළ ද ඡ්‍යොතිෂය සම්බන්ධව කිසිදු පුවත්පතක් සංසරණය නොවන බව ඔවුනට සිත්වුණා. එනිසා “ඡ්‍යොතිෂය” සම්බන්ධව කිසියම් හෝ පුවත්පතක් මේ ආයතනය තුළින් එළිදැක්විය යුතු බවට මතයක් පළ වුණා. කරුණු එකින් එක සලකා බැලූ ප්‍රාඥයන් හැම දෙනටම සුබසෙතක් වන සේ පුවත්පතක් ඇරඹිය යුතු බවත් එය ලඝු අක්ෂර 02කින් යුත් ලඝු මාත්‍රා එකකින් යුත් ‘සුබසෙත’ නාමයෙන් සමන්විත යුතු බවත් අවසානයේ තීරණය වුණා. ඒ අනුව මේ ආයතනයෙන් 1969 මැයි මස ප්‍රථම සුබසෙත බෙදා හැරුණා පියසේන නිශ්ශංක මැතිඳුන්ගේ ප්‍රධාන කර්තෘත්වයෙන් පූර්ණ අවබෝධයෙන් සේවකයන් සුළු පිරිසකින් මෙහි ආරම්භය ගත්තා.

වෙනත් එක එක ආයතනවල ඡ්‍යොතිෂ පුවත්පත් තිබුණ ද ලේක්හවුස් සුබසෙත කෙරෙහි විශාල ගණනක් පාඨකයන් එක් රැස්වූයේ සුබසෙතහි පළවන සටහන්වල නිවැරැදිතාව නිසා විය හැකියි. ගතවූයේ ඉතාම කෙටිකාලයයි. මවුබිමේ වෙසෙන ප්‍රවීණ ඡ්‍යෝතිර්වේදීන්, සම්මානලත් ඡ්‍යෝතිෂවේදීන්, පාරම්පරික ගුප්තවේදීන් ස්වකීය දැනුම තුළින් ගත් සටහන් සුබසෙත වෙත ගලා එන්ට වුණා. මෙතෙක් ඡ්‍යොතිෂය කෙරෙහි විශ්වාසයක් නොතැබූ අය පවා ඡ්‍යොතිෂ හා ආයුර්වේද පුවත්පතක් වන සුබසෙත වටා රොක් වුණා. “ඡ්‍යොතිෂය නම් සුබසෙත” බවට ලක්දෙරණේ රැව් පිළිරැව් දුන්නා.

සුබසෙත (ඡ්‍යොතිෂ) වැඩසටහන් දිවයින පුරාම සති අන්තයේ ආරම්භ වුණා. එය නොමිලේ සිදුකළ ක්‍රියාකාරකම්වලින් එකක්. ඡ්‍යොතිෂය සම්බන්ධව මහජනයාගේ පූර්ණ විශ්වාසය මේ සුබසෙත වැඩසටහන් තුළින් ලැබීම, මීට ප්‍රධාන කරුණයි. නිවැරැදි කරුණු සැපයීම ගැන ප්‍රසාදය හිමි වුණා. එතෙක් මෙතෙක් මෙහි රැඳී කටයුතු කළ කර්තෘතුමන්ලට ඉමහත් ප්‍රශංසාව හිමිවෙනවා. නිසි උපදෙස් නොඅඩුව දුන් අධ්‍යක්ෂ මණ්ඩලවලට මෙන් කාර්යමණ්ඩලයටම ස්තුතිය හිමි වෙනවා.

සුබසෙතට ද, ලේක්හවුසියට ද, ලංකාවටද පමණක් නොව සියලු ලෝකවාසීන්ට මහා නපුරු කාලයක් උදාවුණා. ඒ කොවිඩ් වසංගත මාරයාගේ රුදුරු පැමිණීමත් සමඟයි. තම තමන් කැමැති අකැමැති වුණත් නැතත් කොවිඩ් මාරයාට අවශ්‍ය වූ අය ජාති භේද, උස්මිටි, උගත් නූගත් භේද නොසලකා ඔහු වෙත කැඳවා ගත්තා. සියලුම ආයතන අඩපණ වී වසා දැමීමට එතරම් කලක් ගියේ නැහැ. සුබසෙතට ද ලේක්හවුසියට ද වුණේත් එයමයි. අනෙකුත් ආයතන මෙන් සුබසෙතට ද යතුරු සොයිබ වැටුණා.

දිගුකලක් ගතවුණත් වැසූ දොරවල් යළි විවෘතවන්ට ඊට වඩා කලක් ගතවුණා. සුබසෙත හුදකලාවේ පාවුණා. ශූන්‍ය අවකාශයක් තුළ සුබසෙත එහෙ මෙහෙ පා වුණා. නැවත සුබසෙත බාරගැනීමට කිසිවකු සමත් වුණේ නැහැ. කෙසේ වුණත් නව අධ්‍යක්ෂ මණ්ඩලය අයාලයේ යන “සුබසෙත” එක් අයකුට බාර දුන්නා. වයසින් අඩු දැනුමින් වැඩි මේ උපාධිධාරිනියගේ දැනුමෙන් සුබසෙතට යළි පණ දුන්නා. ස්වකීය අංශයේ සහෘද මාධ්‍යවේදීන්ගේ හා අසල්වැසි අංශවල සැමදෙනාගේ පූර්ණ සහයෝගය ද ලැබුණා. සුබසෙත අද දින අන්තර්ජාලය සමඟ සැරිසැරීමටත් ලංකාවාසීන්ට සතිපතා පුවත්පත බෙදාහැරීමටත් තරම් දියුණු තත්ත්වයකට පැමිණ සිටිනවා. රටේ ආර්ථිකය ඉතාම පහළ තත්ත්වයකට වැටී ඇති අවස්ථාවක සුබසෙත ඉතාම සාධාරණ මිලකට බෙදාහැරීම ප්‍රශංසනීයයි. සුබසෙත යළි දිනෙන් දින දියුණුවෙමින් ඉදිරියට යද්දී රටේ ජනතාවගේ සුබපැතුම් පිරිනැමෙනවා. 2024 මැයි මස 28 වැනිදා සුබසෙත කොමලිය වසර 55ක් සපුරනවා.

අනාගතයේ වාසනාවන්ත ගමනකට අපි සුබසෙතට සුබපතනවා!

පාරම්පරික ගුප්තවේදී, ඡ්‍යොතිෂවේදී, මීපේ ගණිතගේ

රංජිත් විද්‍යාරත්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.