ලොව වසඟ කළ සූර්ය කුණාටු

මැයි 24, 2024

මේ දිනවල සූර්යයා වටා රතු සහ කොළ පැහැති වළලු ද්විත්වයක් දැකීමට ඇතැම් අවස්ථාවල හැකියාව ඇත. එහෙත් එය ප්‍රමුඛව නොපෙනෙන්නේ සූර්යා දෙස ඍජුව බැලීමට නොහැකි නිසාය.

සූර්ය කුණාටු ලෙස ඇතිවන මෙය ඖරෝරා ලෙස ඉංග්‍රීසි බසින් හඳුන්වයි. තාපය සහ ආලෝකයට අමතරව සූර්යයා මඟින් පෘථිවිය දෙසට යොමු වන වෙනත් ශක්තීන් සහ කුඩා අංශු පොළොව වටා පිහිටි චුම්භක වළල්ල මඟින් පරාවර්තනය කළද ඇතැම් අවස්ථාවල සූර්යයා වෙතින් වේගවත්ව විදෙන ප්‍රබල විද්‍යුත් ක්ෂේත්‍ර සහ වායූන්ට එම ආරක්ෂක වළල්ල විනිවිද පෘථිවිය කරා ළඟා විය හැකි වනු ඇත. එය නිරන්තර සිදු වන්නේ උත්තර සහ දක්ෂිණ ධ්‍රැව ආසන්නයේය. උත්තර ධ්‍රැවයේ දක්නා විට ඖරෝරා බොරිලිස් ලෙස ද දක්ෂිණ ධ්‍රැවයේ දක්නට ලැබෙන විට ඖරෝරා ඔස්ට්‍රලිස් ලෙස ද මෙය හැඳීන්වේ. එසේ පැමිණෙන කුඩා අංශු පෘථිවි වායුගෝලය සමඟ අන්තර්ක්‍රියා කිරීමෙන් වර්ණවත් ආලෝක කදම්භ දැකිය හැකි වනු ඇත. ඔක්සිජන් මඟින් කොළ සහ රතු වර්ණයෙන් යුතු ආලෝකය ලබා දෙන අතර නයිට්‍රජන් මඟින් නිල් සහ දම් වර්ණයන් ලබා දෙයි.

මෙය පෘථිවියට පමණක් සීමා වූ සංසිද්ධියක් නොව වායුගෝලයක් සහ චුම්භක ක්ෂේත්‍රයක් සහිත ඕනෑම ග්‍රහලෝකයක සිදු වන්නකි. බොහෝ විට ගුරු ග්‍රහයාගේ සහ ශනි ග්‍රහයා මත මෙවැනි ඖරෝරාවන් දැකිය හැකිය.

ක්‍රිස්තු පූර්ව 30,000 පමණ ඈත යුගයේ උතුරු ස්පාඤ්ඤයේ ගුහා චිත්‍රවල පවා දැකිය හැකි ඉතිහාසයක් සහිත මේ විසිතුරු සූර්ය කුණාටුවලට විවිධ සංස්කෘතීන්වල විවිධ අර්ථකථන සපයා ඇත. චීන ජනශ්‍රැති අනුව දරුවකු නැති සොවින් සිටින කාන්තාවකට මේ ආලෝකය දැකීමත් සමඟ දරුවකු පිළිසිඳගත් බව කියැවේ. ජපානයේ එය පිළිගන්නේ ස්වර්ගයෙන් ලැබෙන පණිවිඩයක් ලෙසය. ඕස්ට්‍රේලියානු ආදිවාසීන්ගේ පිළිගැනීම වන්නේ භූතයන් විසින් මිනිසුන්ට ආමන්ත්‍රණය කිරීමට එවන ගිනි දලු විශේෂයක් ලෙසය.

කෙසේ වෙතත් මේ සූර්ය කුණාටු මඟින් පෘථිවි චුම්භක ක්ෂේත්‍රයට හා වායු ගෝලයට බලපෑමක් ඇති කරන බැවින් විශ්ව ශක්තියට සහ වාස්තු විද්‍යාත්මක කටයුතුවලට යම් බලපෑමක් ඇති වුව ද එයින් ලග්නවලට විශේෂ බලපෑමක් ඇති නොවන බව බොහෝ පර්යේෂකයන්ගේ මතයයි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
15 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.