තෙවරප්පෙරුමගේ කේන්දරයෙන් පෙනුණු මාරකය

මැයි 3, 2024

 

පාලිත කුමාර තෙවරප්පෙරුම මහතා එක්සත් ජාතික පක්ෂය නියෝජනය කළ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකි. ජනතාව අතර ජනප්‍රිය මානව හිතවාදී මන්ත්‍රීවරයකු වූ ඔහු පසුගිය අප්‍රේල් මස 16 වෙනිදා අභාවප්‍රාප්ත වුයේ රටේ ජනතාවගේ නෙතට කඳුළක් එක්කරමිනි. මේ විග්‍රහ වන්නේ ඔහුට මරණය කැඳවූ ග්‍රහ බලය පිළිබඳවය.

1960 මැයි 03 වැනිදා රාත්‍රියේ කළුතර දිස්ත්‍රීක්කයේ උපන් පාලිත තෙවරප්පෙරුම මහතා 2024-04-16 වැනි දින සවස 4.00ත් 5.00ත් අතර කාලයේ මිය යන විට ඔහුට වයස අවුරුදු 64 ක් විය.

මිය යන විට ගත වූයේ කුජමහ දසාවේ ශනිගේ අන්තර් දසාවේ බුධ විදසාවයි. එය 2024-03-23 දින පටන්ගෙන ඇති අතර අවසන් වන්නේ 2024.05.19 දිනය. මරණය සිදු වන විට බුධ විදසාවේ සඳු ශූක්ෂම දසාව ගෙවෙමින් පැවැතිණි.

උත්පත්ති ග්‍රහ බලය

ලග්න කේන්දරයට අනුව, මොහුගේ ලග්නය ධනුය. ලග්නාධිපති ගුරු ලග්නයේම සිටියි.

ලග්නය යනු පුද්ගලයාගේ මුළු මහත් ජීවිතයත්, විඥ්ඥානයත් නියෝජනය කරන ස්ථානයයි. එහි ගුරු සිටීමෙන් ගුරු ජීව කාරකයා, වර්ධකකාරකයා ලෙස ඔහුට යහපත් හිතක්ද පිරිපුන් ශරීරයක්ද ලබා දී තිබේ. ඔහු වික්‍රමාන්විතය. එසේම කුඩා දේටත් හිත සැලේ. ගුරු ලග්නයේ සිටිමින් ත්‍රිකෝණ දෘෂ්ටියෙන් පූර්ව පුණ්‍යස්ථානයේ සිටින ආත්ම කාරක රවි දකියි. මේ තුළින් ඔහු නායකත්වයට උප්පත්තියෙන්ම යොමු කර ඇත. ගුරු සිටින්නේ පරිශ්‍රමයන්ට කාරක සාමාන්‍ය ජනතාව නියෝජනය කරන දුකට අධිපති, මිනිසා අධ්‍යාත්මයට යොමු කරන ග්‍රහයකු වූ සෙනසුරු සමගය. එබැවින් නිරන්තරයෙන් ඔහුගේ සිත ඇදී යන්නේ පීඩිත ජනතාවගේ සුබ සිද්ධිය වෙනුවෙනි. ඔහු උත්පත්තිය ලබන්නේ ශනිට අයත් පුෂ නැකැතින් වෙයි. පුෂ යනු එළදෙනගේ කිරි බුරුල්ල නිරූපණය කරන නැකැතකි. එය පිරිපුන් බවේ සංකේතයයි. ඔහුගේ දේහය ද ක්‍රමයෙන් දියුණු වූ චරිතයද අල්පේච්ඡ යැපීමද සෙනසුරුගේම නැකතක් වූ පුෂ නැකැතට හිමි ලක්ෂණ වේ.

ස්වභාවයෙන්ම ඔහුට යම් කාර්යයක් පැවරුණහොත් ඉමහත් පරිශ්‍රමයකින් එය ඉටු කරයි.

මනස හා සිතුවිලි

ඔහුගේ ලග්නය වූ ධනුවේ ස්වභාවය අනුව තෙවරප්පෙරුම මහතාගේ මානසික සිතුවිලි සහ ඉලක්කයට ගමන් කිරීම, මනුෂ්‍යයකු තුළ වූ හැකියාව එලෙසම අශ්වයෙකුගේ වේගයට සමාන වූ හැසිරීමේ ස්වභාවය විද්‍යමාන වෙයි. මෙසේ වැඩ කිරීමේ හා වේගයෙන් වැඩ කිරීමේ හැකියාව තව තවත් තීව්‍ර වූයේ මොහුගේ කේන්දරයේ 1,5,9 යන ත්‍රිකෝණස්ථාන වන තේජෝ රාශිවල පිහිටි ගුරු, රවි සහ රාහුගේ සංයෝගය තුළිනි. ජන්ම කේන්දරයේ මේ පිහිටීම දේශපාලන නායකත්වය දක්වාම මොහු ඔසවා තැබීමටද හේතු වී ඇති බව පැවැසිය හැකිය.

නායකත්වය

තවද මොහුගේ පස්වැන්න නියෝජනය කරන්නේ මේෂ රාශියයි. එහිම සිකුරුද සිටියි. සිකුරු යනු යම් පුද්ගලයකුට ලැබෙන ආකර්ෂණයට කාරක වන ග්‍රහයා වේ. එහි අධිපති සුඛස්ථානය වන හතරවැන්නේ සිටියි. එය මීන රාශියයි. එම මීන රාශියට උච්ච වන සිකුරු ඔහුගේ පූර්ව පුණ්‍යස්ථානය වූ පස්වැන්නේ සිටියි. එයින් ඔහුට මහජන ආකර්ෂණය වඩ වඩාත් ලබා ගැනීමේ පුණ්‍ය වාසනාව පෙන්නුම් කරයි. එහිම බුධද සිටියි. බුධ ඔහුගේ හත් වැන්නාධිපතියා වන අතර දහවැන්නාධිපතියාද වෙයි. හත්වැන්නෙන් නියෝජනය වන්නේ විවාහය මෙන්ම මහජන සම්බන්ධතාය. දහවැන්න රාජ්‍යත්වය, ගෞරවය, අභිමානය නියෝජනය කරයි.

බුධගේ පූර්ව පුණ්‍යස්ථානයේ පිහිටීම ඔහුට රජයේ උසස් නිලතල ලැබීමටද ඉතා ළෙන්ගතු මහජන සම්බන්ධතා ගොඩනගා ගැනීමට ද අවශ්‍ය පුණ්‍ය ශක්තිය ලබා දී ඇත.

මෙතුමා උත්පත්තියෙන්ම ප්‍රබල කේන්දරයක් සතු වූවෙකි. ඔහුගේ කඩවසම්භාවයට, තීක්ෂණ නුවණට, ඥානවන්තභාවයට, නිර්මල මනසට, සාධාරණත්වයට හා ඥානයට ගුරු ලග්නයේ සිටිමින් උදා කළ හංසයෝගය හේතු වී ඇත. මොහුගේ නව වැන්නාධිපතියා රවි බලවත්ව පස්වැන්න වූ පූර්ව පුණ්‍යස්ථානයේ එනම් මේෂ රාශියේ සිටියි. මෙම පිහිටීමෙන් ලක්ෂ්මී නම් යෝගය උදාකර ඇති අතර මිනිස් සිත් ගන්නා සුළු බවටද අවංකත්වයට ද රජයේ තනතුරු ලැබීමටද එය හේතු වී ඇත. මොහුගේ නව වැන්න අධිපති රවි සිටින්නේ දහවැන්නාධිපති බුධ සමග පූර්ව පුණ්‍යස්ථානයේමය. ඒ තුළින් ධර්මකර්මාධිපති යෝගය උදාකර ඇත. එබැවින් මොහුගේ ක්‍රියාව නිතරම දැහැමි ස්වභාවයක් ගෙන ඇත. ඔහුගේ සිතට එකඟව ඔහුම වැඩ කරයි. ඔහු නියෝජනය කරන පිරිසට ප්‍රදේශයට නායකත්වය ලබාදෙයි. එලෙස උත්පත්තියේ සිටම ඔහුගේ කේන්දරය තුළින් ද ඔහුගේ ක්‍රමික දියුණුව පෙන්වා ඇත. ප්‍රසිද්ධිය, කීර්තිය, ජන්ම කේන්දරයේ උරුමව ඇත. ඒ ධර්මකර්මාධිපති යෝගයේ බලපෑමෙනි.

පසු නොබසින ශක්තිය

මොහුගේ අටවැන්නාධිපති චන්ද්‍රයා අටවැන්නේමය. ඒ තුළින් කොතරම් විරුද්ධවාදීකම් විරුද්ධවාදින් සිදුකළත් පසු නොබසින ශක්තිය ඔහුට ලැබී ඇත.

මෙසේ බලන කල ඡ්‍යොතිෂයේ පාලිත තෙවරප්්පෙරුම මහතාගේ චරිත ස්වභාවය හා ක්‍රියාකාරිත්වය ඔහුගේම කේන්ද්‍රය අනුව මනාව පිළිබිඹු කොට ඇද්ද? යන්න පැහැදිළි වෙයි. මොහුට හිමිව ඇත්තේ ධනුවේ දෙවැනි නවාංශකය වන වෘෂභයයි. එය මුල නැකත තුළ පිහිටා ඇත.

ඒ තුළින් ඔහුට යම්කිසි දෙයක මූලය එනම් හේතු කාරණාව සාධාරණත්වය ක්ෂණික වටහා ගැනීමට ඇති ශක්තිය උදාකර ඇති අතර ඔහුගේ සිතුවිලි අන් අය කෙරෙහි යොමුව කැපවී සේවය කිරීම, ඔහු උපතින් ලද වෘෂභ නවාංශකයෙන්ම පෙන්නුම් කරයි. මේ මුල නැකත වූ ධනු ලග්න නැකත අයත් වන්නේද කේතුටමය. කේතු මෝක්ෂ කාරක ග්‍රහයකු මෙන්ම ඔහුගේ වික්‍රම ස්ථානයේ පතිතව ඇත. එබැවින් ඔහුගේ ක්‍රියාව නිතරම මහජන සේවය සාධාරණත්වය සහ අධ්‍යාත්මික දියුණුවට බලපානු ලැබ ඇත. එනිසා ඔහුගේ ක්‍රියා නිතරම අධ්‍යාත්මිකත්වයට සම්බන්ධව පවතී.

සමස්තයක් ලෙස තෙවරප්පෙරුම මහතාට බොහෝ යෝග පැවතියද ඉහත දැක්වූ ප්‍රධාන යෝග ඔහුගේ ගමන් මඟට ඉවහල් වී ඇත. මොහුගේ කේන්දරයේ පස්වන්නාධිපතියා හා දොළොස් වැන්නාධිපතියා වූ කුජ තැන්පත් වී ඇත්තේ හතරවැන්න වූ මීන රාශියේය. හතරවැන්න ජනතාව නියෝජනය කරන රාශියයි. කුජ භූමි කාරකය. ක්‍රියාවට කාරකය. වික්‍රමයට කාරකය. එබැවින් ජනතාව නියෝජනය කරන හතරවැන්නේ කුජ පතිතවීම තමා උපන් භූමියම නියෝජනය කරන කළුතර ආශ්‍රිත ප්‍රදේශයම මුල් කොටගෙන ජීවත්වීම එහිම ජනතාවට සේවය කිරීමට මහත් වූ පරිශ්‍රමයක් ඔහු දැරුවේය. ඒ බව සියලු දෙනාම හොඳීන් දන්නා කරුණකි. කේන්ද්‍රයේ ද එය මනාව පෙන්වා දී තිබේ.

අමාත්‍යධුර දැරීම

තෙවරප්පෙරුම මහතා දැරූ වන ජීවී නියෝජ්‍ය අමාත්‍ය ධූරයද සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍යාංශ ධුරය ද තිරසර සංවර්ධන සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශ ධුරය ද ඔහුගේ චරිතයට හා ක්‍රියාවට මුල් වුණු ගුරු, ශනි, කුජ යන ප්‍රබලම ග්‍රහයන්ට අයත් ඒවා වෙයි. එබැවින් ඔහුගේ නායකත්වය කුජ ග්‍රහයා තුළින් ඉස්මතු වූයේ ශනි නියෝජනය කරන වන ජීවී වැනි අමාත්‍යංශවල සේවය කරන ජනතාවට වන සතුනට පිහිට වෙමිනි. එලෙසම ජනතාව සමඟ කටයුතු කරන මේ අමාත්‍යාංශවල සේවය කිරීම තව දුරටත් ඔහුගේ කේන්ද්‍රයේ ග්‍රහ බලපෑම්වල සත්‍යතාවය මනාව පැහැදිලි කරන්නකි.

ඕනෑම කේන්ද්‍රය කොතරම් ප්‍රබල වුවත් භාග්‍ය මෙන්ම අභාග්‍යය ද සටහන්ව ඇත. එක් අතකින් සුබ ග්‍රහයා තවත් අතකින් බැලූ විට යම් යම් කාරණා අසුබ ලෙසද නියෝජනය කරයි. පාලිත තෙවරප්පෙරුම මහතාගේ කේන්දරය ද එසේමය. ඔහුගේ දේශපාලන ජීවිතයේ ඉහළ යාමට බලපෑ පිහිටීම් මෙන්ම හදිසි කඩා වැටීමට බලපෑ පිහිටීම් ද තිබේ.

සකට යෝගයේ බලපෑම

ලග්නයේ සිටින ගුරුගෙන් අටවැන්නේ සිටින්නේ ස්වක්‍ෂේත්‍ර චන්ද්‍රයාය. මේ තුළින් ඔහුට සකට යෝගය උදාකර ඇත. එබැවින් නොසිතූ අන්දමින් ලබාගත් ජයග්‍රහණ නැවත නැති වී යනු දැකිය හැකිය. එය පාලිත තෙවරප්පෙරුම මහතාගේ පූර්ව කර්මවලම ප්‍රතිඵලයකි. චන්ද්‍රයා අටවැන්නේ සිට සකට යෝගය උදාකරමින් දහවැනි භාවය වන රාජ්‍යභාවය දකියි. එසේ වීම ඔහුගේ රාජ්‍ය නිලතල බිඳ වැටීමට හේතු විය. එසේම එම චන්ද්‍රයා සප්තම දෘෂ්ටියෙන් දෙවැනි භාවය වන ධන ස්ථානය දකියි. එබැවින් ඔහුම ප්‍රකාශ කරන අන්දමට ඔහුගේ ඉතුරුම් ද පරිහානියට ගොස් ඇත. එම චන්ද්‍රයාම දස වැනි දෘෂ්ටියෙන් පූර්ව පුණ්‍යස්ථානය දකියි. එබැවින් ඔහුගේ පිනද අතරමගදී අවසන් කිරීමට එම චන්ද්‍රයාම හේතු වී ඇත. එකී චන්ද්‍රයා ඔහුගේ විසිදෙවැනි දෙර්කානාධිපතියාද වී ඇත. එය තවත් මේ තත්ත්වය ප්‍රබල කිරීමට හේතු වී ඇත.

ඉහතින් සඳහන් කළ ආකාරයටම කේන්ද්‍රයක පිහිටන සුබ දෘෂ්ටීන් එක් දෘෂ්ටිකෝණයකින් සුබ වීමටත් තවත් දෘෂ්ටිකෝණයකින් හා නියෝජනයන්ගෙන් අසුබ වීමටත් ඉඩ ඇත. මෙය කර්මයේම කැඩපතකි.

 

අසුබ පිහිටීම්

දැන් අපි මේ කේන්ද්‍රයේම අසුබ පිහිටීම මත මොහුගේ මරණයට හේතු පාදක වූ කරුණු විමසා බලමු. ප්‍රථමයෙන් උප්පත්ති කේන්ද්‍රයේ මාරක ඇතිදැයි වටහා ගත යුතුය. දෙවැනුව එම මාරක ග්‍රහ පිහිටීම් තුළින් තව තවත්උද්දීපනය කර ඇත්දැයි වටහා ගත යුතුය. තෙවැනුව ග්‍රහ ගෝචරයෙන් එම මාරක සක්‍රීය කර ඇත්දැයි වටහාගත යුතුය. සිව්වැනිව ගත වන දශාව ද මේ මාරකය සක්‍රීය කිරීමට දායකත්වයක් හා සම්බන්ධතාවයක් ලබා දී ඇත්දැයි යන්න සොයා බැලිය යුතුය. ඒ අනුව ගත් කල මේ ධනු ලග්න හිමි පාලිත තෙවරප්පෙරුම මහතාගේ ගුරු ලග්නයේම සිටියි. ගුරු සිටින්නේ දෙවැනි මාරකස්ථානය වන දෙවැනි භාවයට හිමි රාශිය වන මකරයේ අධිපති ශනි සමඟය. එය මේ කේන්දර හිමියාට බලපෑ එක් මාරකයකි. එය ඔහු උපතින්ම ගෙන ආ මාරකයකි. ඔහුගේ පළමු මාරකස්ථානය හතය. එය නියෝජනය කරන්නේ මිථුන රාශියයි. එහි අධිපති 5 හි තැන්පත් වී ඇත. එබැවින් පූර්ව පුණ්‍යස්ථානය පාප පීඩිත වී ඇත. එම මාරක බුධ ත්‍රිකෝණ දෘෂ්ටියෙන් ලග්නාධිපති ගුරු දකියි. එවිටම දෙවැනි මාරකස්ථානාධිපති ශනිද දකියි.

රාහුගේ බලපෑම

විදුලි සැරට විදුලියට අයිති ග්‍රහයා වන්නේ රාහුය. රාහු නව වැනි භාවයේ තැන්පත් වී ඇත. පළමුවැනි මාරකස්ථානාධිපති වන බුධ ද දෙවැනි මාරකස්ථානාධිපති වන ශනි ද ලග්නයේම ලග්නාධිපති සමඟ සිටිමින්ම ත්‍රිකෝණ දෘෂ්ටියෙන් එක විටම රාහු දකියි. එයද ඔහුගේ මාරකය සනාථ කිරීමකි.

ඔහුට විදුලිසැර වැදීමේ අනතුර සිදු වන්නේ ඔහුට අයත් භූමියකදීය. තම දේපළ තම ඉඩකඩම් නියෝජනය කරන්නේ හතරවෙනි භාවයයි. එහිම භූමිකාරක ද වන කුජ තැන්පත් වී ඇත. කුජ ග්‍රහයා හදිසි අනතුරුද ඇති කරන ග්‍රහයා බැවින් පාලිත තෙවරප්පෙරුම මහතාගේ මරණයට එය බලපා ඇති බව පැවැසිය හැකිය. මොහු තම ඉඩකඩම්වල ගැවසීම එම ඉඩකඩම් හා වෙහෙසීම සිදු කරන බව ඔහුගේ කේන්දරයෙන් පෙනේ. එම කුජ දෙවැනි මාරක ග්‍රහයා වන ශනි චතුරස්‍ර දෘෂ්ටියෙන් දකියි. එය අශුභ දෘෂ්ටියකි. එයද තම මරණය තම ඉඩමේම සිදුවීම පෙන්නුම් කරයි.

 

මධ්‍යම ආයුෂ

මොහු ගත කළේ අවුරුදු හැට හතරක් වැනි ජීවිත කාලයකි. මෙය මධ්‍යම ආයුෂ තත්ත්වයට අයත් වේ. කේන්ද්‍රයෙන්ද එය පෙන්නුම් කරනවා දැයි බලමු. කේන්ද්‍රයක ආයුෂ නියෝජනය කරන්නේ අට, දොළහ හා තුන්වැන්නයි. ලග්නය හා ලග්නාධිපතිගේ බලය ආයුෂ කෙරෙහි දැඩි බලපෑමක් සිදු කරයි.

පූර්ව පුණ්‍යස්ථානය සහ භාග්‍යස්ථානය ද ආයුෂ ප්‍රකාශ කිරීමේ ලා අතිශයින් වැදගත් වෙයි. අපි ඒ පිළිබඳව විමසා බලමු. මොහුගේ ලග්නය ධනු වෙමින් ලග්නාධිපති ලග්නයේම සිටියි. එය බලවත් පිහිටීමකි. ලග්නභාවයේ කාරකයා රවි ද පූර්ව පුණ්‍යස්ථානයේ උච්චව සිටියි. එයින්ද ලග්නය බලවත් කර ඇත. එසේ වුවද දෙවැනි මාරකස්ථානාධිපති ශනිද ලග්නයේ පතිත වීම නිසා ලග්නය පාප පීඩිත වී ඇත. ඉන් ලග්නයේ බලය අඩු කර ඇත. පළමු භාවයේ කාරක වූ රවි පූර්ව පුණ්‍යස්ථානයේ උච්චව සිටීම ඉතා බලවත් පිහිටීමකි. එහෙත් රවි සිටින්නේ පළමු මාරකස්ථානය අධිපති බුධ සමගය. එයින්ද පූර්ව පුණ්‍යස්ථානයද ලග්න භාව කාරකයාද පීඩිත වී ඇත. භාග්‍යස්ථානය වූ නවවැනි භාවයේම රාහුය. ඉන් භාග්‍යස්ථානයද දැඩි සේ පීඩා වී ඇත. පළමු ආයුෂස්ථානය වූ අටවැන්නේ සකට යෝගය උදාකළ විසිදෙවැනි දෙර්කානාධිපතිද වූ චන්ද්‍රයාය. චන්ද්‍රයාට අට බෙහෙවින් අයහපත්ය. කටක රාශියේ වෙමින් යම් බලයක් හිමිකර ගත්තද භාව බලයෙන් චන්ද්‍රයා ද පිරිහී ඇත. එබැවින් ප්‍රථම ආයුෂස්ථානය වූ අට වැන්න ද පීඩිතය. අටවැන්නෙන් අටවැන්න වූ දෙවැනි ආයුෂ ස්ථානයේ කේතුය. ඉන් ද ආයුෂය අඩු බව පෙන්වයි. සමස්ත ලග්නයෙන් උප්පත්තිය පෙන්වන අතර ලග්නයෙන් දොළොස්වැන්න වූ වෘශ්චිකයට අධිපති කුජ හතර වැන්නේ සිටිමින් තුන්වැන්න වූ කේතු හා පස් වැන්නේ වූ රවි යන පාපග්‍රහයින්ට මැදි වී පාප කර්තරී වී ඇත. මේ සමස්ත පිහිටීම් තුළින් ඔහු පූර්ණ ආයුෂ නොවිදින බව පෙන්වයි. මේ පිළිබඳව ග්‍රහ ගෝචරයෙන් විමසා බලමු.

මරණයට පසුබිම් වූ ග්‍රහගෝචරය

කේන්දරයක වර්තමාන තත්ත්වයට දැඩි සේ බලපාන්නේ ග්‍රහගෝචරයයි. එම ගෝචරයෙන් ජන්ම කේන්ද්‍රයේ පිහිටීම් සක්‍රීය වෙයි. ජන්ම කේන්ද්‍ර විග්‍රහයේ දී අප දුටු මාරක රැස ගෝචරයෙන් සක්‍රීය වෙනවාදැයි බලමු. පාලිත තෙවරප්පෙරුම මහතා මිය යන අවස්ථාවේදී ඔහුගේ ලග්නයට අනුව ග්‍රහ ගෝචරය මෙසේය. තත්කාලීන නැකත පුෂ වන අතර එහි අධිපති ශනි වෙයි. තෙවරප්පෙරුම මහතාගේ මරණය සිදුවන දිනයේ ඔහුගේ කේන්දරයේ ධනු ලග්න කේන්දරයට අදාළව ඉහත ග්‍රහ පිහිටීම් විග්‍රහ කර බලමු.

ඔහුගේ ලග්නාධිපති පූර්ව පුණ්‍යස්ථානයේ රැඳී සිටින්නේ ඔහුගේ හැටහතරවැනි නවාංශකාධිපති වන රවි සමගය. උත්පත්තියේ මෙන්ම රවි තත්කාලීනව පිහිටන්නේ මේෂ රාශියේය. උත්පත්තියේ රවි පිහිටියේ කේතුගේ නැකතකය. තත්කාලීනව ද එසේමය. කේතුට අයත් නැකතක ඇත. මේ පිහිටීමෙන් ගුරු පාප පීඩිත වී ඇත. චන්ද්‍රයා පිහිටන්නේ උප්පත්තියේ මෙන්ම කටක රාශියේමය. එනම් ධනු ලග්නයට සාපේක්ෂව අටවැනි භාවයේය. එය මෘත්‍යු ස්ථානයයි. චන්ද්‍රයා 22 වැනි දෙර්කානාධිපතියාද වෙයි. චන්ද්‍රයා මාරකපල උදා කිරීමට දායක වෙයි. දෙවැනි ආයුෂස්ථානය වන තුන්වැන්නේ දෙවැනි මාරකස්ථානාධිපති ශනි වෙයි. එම ශනී තැන්පත්ව සිටින්නේ දොළොස් වැන්නාධිපති වූ කුජ සමඟය.

දොළොස් වැන්නාධිපති සමස්ත කේන්දරයේම විනාශය නියෝජනය කරයි. මේ මාරක ශනි සහ කුජගේ සංයෝගය ආයුෂ ස්ථානය දැඩි සේ පීඩනයට ලක් කර ඇත. හතරවැන්නේ රාහුය. හතරවැන්න ජන්මියාගේ ඉඩකඩම් නියෝජනය කරයි. එහි පළමු මාරකස්ථානාධිපතියා වන බුධ රාහු සමඟ යෙදී ඇත. පළමු මාරකයා බුධ සිටින්නේ මේෂයේය. එහි අධිපති කුජය. දෙවැනි මාරකය ග්‍රහයා වන ශනි සිටින්නේ ධනු රාශියේය. එහි අධිපති ගුරුය. ඡ්‍යොතිෂ නියමය අනුව එම රාශි අධිපතීන් නවාංශකයේ සංයෝගවී ඇත්නම් එය සුබ ලෙසත් අසුබ ලෙසත් බලපෑ හැකිය. මොහුගේ නවාංශකයේ කුජ ගුරු තුන්වැන්නේ සංයෝග වී සිටියි.එයින් ද මේ මාරකය වඩාත් තහවුරු වෙයි. එනම් ඔහුගේ මාරකය ඔහුගේම ඉඩම තුළ විදුලිය නියෝජනය කරන රාහුගේ බලපෑමෙන් සිදුවන බව මනාව පෙන්වා දෙන පිහිටීමකි. මේ සමස්ත ග්‍රහ පිහිටීම් ඔහුට මාරකය කැඳවා එන බවට ඉතා ප්‍රබලව පෙන්නුම් කරයි.

මාරකය ගෙන ආ දසාව

ඉහත පිහිටීම් ඔහු ගත කරමින් සිටි දසාවෙන්ද සක්‍රීය වනවාදැයි බලමු.

මරණය සිදුවන අවස්ථාවේ පාලිත තෙවරප්පෙරුම මහතාට ගතවන්නේ කුජ මහ දසාවේ සෙනසුරු අන්තරයෙහි බුධ විදසාවයි. බුධ විදිසාවේ රාහු සූක්ෂ්ම දසාවයි. මේ දසා විග්‍රහයේදී මොහුගේ මරණයට මේ දසා අධිපති ග්‍රහයින් හා සම්බන්ධතාවයක් පැවතිය යුතුය. මොහු මුහුණ දෙන්නේ හදිසි අනතුරකටය. එය සිදුවන්නේ තම භූමිය තුළය. භූමියත් හදිසි අනතුරුත් නියෝජනය කරන කුජ ගේ මහ දසාව ඔහු ගත කරමින් සිටියේය. ඔහුගේ දෙවැනි මාරක ග්‍රහයා වන්නේ ශනිය. මරණය සිදු වන අවස්ථාවේ දී ඔහුට ගතවන්නේ ශනිගේ අන්තර් දශාවයි. එයදඔහුට මාරකයක් ගෙන ඒමට හේතු වී තිබේ. ඔහුට ගතවන විදසාව වූයේ බුධගේ විදසාවයි. බුධ ඔහුගේ පළමු මාරකස්ථානාධිපතියාය. එලෙස ඔහුට මාරකයක් ගෙන ඒමට බුධගේ එකී සම්බන්ධය ද ගැළපී ඇති බව පෙනේ. මරණය වන දිනයේදී ඔහුගේම විසිදෙවැනි දෙර්කානාධිපතියා වූ චන්ද්‍රයාගේ සූක්ෂම දසාව ගතවෙමින් තිබේ. එය ආරම්භ වන්නේ අප්‍රේල්16 වැනිදා පාන්දර පහට පමණය. චන්ද්‍රයා සිටින්නේ උප්පත්ති කේන්දරයේ ද තත්කාල කේන්දරේද කටක රාශියේ වෙමින් අටවැනි භාවයේය. එනම් මෘත්‍යු ස්ථානයේය. උත්පත්තියේදී සේම මරණය සිදු වූ දිනයේදී ද චන්ද්‍රයා සිටින්නේ පුෂ නැකතේමය. මෙයද ඔහුගේ මරණයට බලපෑ සුවිශේෂී හේතුවකි. මේ සියල්ල තෙවරප්පෙරුම මහතාගේ මරණය නියත වශයෙන්ම පෙන්නුම් කරනු ලබයි.

මතු භවය

තත් කාලීන කේන්දරයට අනුව මෙකී රවි - සඳුගේ විශේෂ පිහිටීමෙන් ඔහුගේ මතුභවයද සැපවත් සුගතිගාමී භවයක් වන බව ඡ්‍යොතිෂ විද්‍යාත්මකව විග්‍රහ කළ හැකිය. කල්තියා මනා ලෙස ඔහුගේ කේන්දරය පරීක්ෂාවට ලක් කළේ නම් ඔහුගේ ජන්ම කේන්දරයේ යෙදුණු මාරකය මනාව හඳුනා ගැනීමටත් තත්කාලය හා දසාව තුළින් ඒවා සක්‍රීය වන අවස්ථා කෙබඳු දැයි දැන ගැනීමටත් එයට පිළියම් කිරීමටත් හැකියාව තිබුණි. මේ කේන්දර පිහිටීම විග්‍රහ කිරීම තුළින් ඡ්‍යොතිෂයේ ප්‍රායෝගිකත්වයත් විද්‍යාත්මකභාවයත් ශාස්ත්‍රානුකූලභාවයත් මනාව ප්‍රකට වෙයි. පාලිත තෙවරප්පෙරුම මහතාගේ උප්පත්ති කේන්දරය විග්‍රහ කිරීමට ඔහුගේ උපන් වේලාව අපවෙත ලබාදීම පිළිබඳව තෙවරප්පෙරුම මහත්මියට ස්තුතිවන්ත වන අතර ඡ්‍යොතිෂයේ උන්නතියට මෙයින් සිදුවන පින පාලිත තෙවරප්පෙරුම මහතාට අනුමෝදන් වේවායි අපි ප්‍රාර්ථනා කරමු.

කේන්ද්‍ර ඡ්‍යොතිෂ විග්‍රහය

ඡ්‍යොතිර්වේදී සම්පත් බමුණුආරච්චි

 

 

තුෂාරි නේරංජා වික්‍රමසිංහ

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 13 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.