භාෂාව රැකුණොත් අවුරුද්දත් රැකෙයි

අප්‍රේල් 12, 2024

 

- ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී කරුණාරත්න අමරසිංහ

කොවුලාගේ හඬත් සමඟ බක් මාසයේ අවුරුදු සිරිය දොරට වඩී. සතුට, සෞභාග්‍යය, එකමුතුව කැන්දන බක්මහේ එදා වසන්ත දූතයා වූයේ, කොවුලා ය. අද ජන මාධ්‍යය, සමාජ මාධ්‍ය ඒ වගකීම භාර ගෙන ඇත. එදා සහ අද අවුරුදු සැමරීම් පිළිබඳව ගුවන්විදුලි කේෂේත්‍රයේ හරඹ කරන්නෙකු ලෙස ශ්‍රාවක හදවත්වල අමරණීය නමක් හිමිකර ගත් කරුණාරත්න අමරසිංහ මහතා මතක අවදි කළේ මෙසේ ය.

බාලඅවදියේ ඔබතුමාගේ ගම් පළාත්වල අවුරුදු සැමරු ආකාරය ටිකක් මතක් කරමු?

අපේ පාසල් කාලේ ගම්මුන් සිංහල අවුරුද්ද සැමරු ආකාරය මට තාමත් මතකයි. ඒ කාලේ කොහාගේ හඬ මම මීට කලින් අහල නැති කුරුල්ලෙකුගේ හඬක්. මගේ නංගි කොහාගේ නදට වින්ටර් හෝ කියලා කෑගහනවා මට මතකයි. මමත් කොහා එක්කම කෑගහනවා. ඒ කොහාගේ හඩේ පණිවිඩයත් එක්ක තමයි අවුරුද්ද කියන හැඟීම් මාත්‍රය මුලින්ම දැනුණේ. අපේ අම්මලා අවුරුද්දට හදන කැවුම් කොකිස්වල සුවඳ මට හොඳට මතකයි. මුං කැවුම් මිශ්‍රණයක් හදලා පොඩි කෑලිවලට කපා ඒවා තෙලට දාලා බදිනවා. ඒ බඳීන මුං කැවුම් සුවඳට අපි හරි ආසයි. සිංහල අවුරුද්ද හා බැදුණු පැරණි මතක හරිම සුන්දරයි. ඒ වගේම අපේ ආතා අපිට සිංහල අවුරුද්දට සෙල්ලම් බඩු, රතිඤ්ඤ ගේනවා. ඔවුන් හරි සෙවිල්ලෙන් හිටියා රතිඤ්ඤා පත්තු කරද්දි. වර්තමානයේ පුංචි ළමයි රතිඤ්ඤා නිසා අනතුරු කරගන්නවා කියලා ආරංචි වෙනවා. ඒත් මට මතක නෑ අපි පුංචි කාලේ එවැනි සිදුවීම් ගැන. ඒකට එක හේතුවක් වෙන්න ඇත්තේ අපි දෙමාපියන් කියන විදිහට පරෙස්සම් වීම. අනික ඒ කාලේ නිෂ්පාදනත් මිනිස්සුන්ට හානියක් නොවන විදිහට නිෂ්පාදනය කරන්න ඇති. ඒ කාලේ වෙළෙඳ බඩුවක් නිපදවන්නේත් මනුෂ්‍ය ජීවිත ගැන විශාල බැති සිතක් එක්ක . ඒ වගේම අපි ගස්වල අතුවල කඹවලින් ඔන්චිලි බැඳ පැද්දා සිංහල අවුරුද්දට.

අදත් කොහා හඬනවා, කැවුම් බදින සුවඳ එනවා, රතිඤ්ඤා හඬ ඇහෙනවා, එරබදුමල් පිපෙනවා. අද ඒ අත්දැකීම ඔබතුමා කොහොමද විදින්නේ?

ඔව් ඇත්ත. කොහා තවම අඬනවා. ඒවගේම කැවුම් කොකිස් බැදෙනවා. නමුත් එරබදු මල් පිපෙනවා නම් දැකලා නැහැ. මීට අවුරුදු විසිපහකට තිහකට එහා නම් අපේ වත්තේ වැටවල්වල එරබදු ගස් තිබුණා. ඒත් මම හිතන්නේ අද එරබදු ගස් වඳ වෙලා ගිහිල්ලද මන්දා. එරබදු මල් පිපෙනවා මගේ ඇහැ ගැහිලා නෑ. ඒ කාලේ මේ වගේ දින වෙද්දි කුකුල් කරමලේ වගේ එරබදු බල් පිපෙනවා. පහන් සිළු දැල්වෙනවා වගේ රතට රතේ දිලෙනවා. ඒක හරි සුන්දර මතකයක්. කොහා නම් තාම අඬනවා. එදා වගේම අදත් එයා තමයි වසන්ත දූතයා. ඒත් අර කැවිලි පෙවිලිවල නම් වෙනසක් වෙලා තියෙනවා. අපි පොඩි කාලේ අපේ දෙමව්පියෝ උත්සවාකාරයෙන් සෑදී පැහැදී ඒ කාර්යයේ නිරත වුණේ. ඒ වගේම ඒ කාලේ පැණි, සීනි, පොල්තෙල් ලාබයි. සුලභයි. ගුණයි. කැවිලි පෙවිලි අදත් බොහෝ දුරට අපේ ගෙවල්වල හදනවා. ඒත් අපි අර පුංචි කාලේ දැක්ක උද්යෝගය, ප්‍රබෝධය ඇතුව කරන බවක් මට පෙනෙන්නේ නැහැ. එයට වර්තමානයේ පවතින ආර්ථික ප්‍රශ්නත් බලපානවා ඇති. අවශ්‍ය අමුද්‍රව්‍ය විශාල වශයෙන් ගණන් ගිහින්. කැවුම්, මුං කැවුම්, ආස්මි සැම තැනම විකුණන්න තියෙනවා. අපි වියදම් කරලා අමුද්‍රව්‍ය අරගෙන කැවිලි හදනවට වඩා කඩෙන් ගන්න එක ලාබයි කියලා මිනිස්සු හිතනවා. ඒ නිසා හුඟක් අය පෙලඹිලා තියෙනවා අවුරුද්දේ කෑම බීම මිලදී ගන්න. වෙසක් මංගල්‍යයට වෙසක් කූඩු මිලදී ගන්නවා වගේ තමයි. ඒත් තාමත් සුළු පිරිසක් හරි කැවිලි පෙවිලි හදාගෙන ඒවා රස විඳීම සතුටක්.

ඔබ වසන්ත දූතයා කීවේ කොවුලට. අද වසන්ත දූතයා බවට පත්වෙලා තියෙන්නේ ජනමාධ්‍ය හා සමාජ මාධ්‍ය?

ඕනෑම ජාතියක සංස්කෘතියක් දියුණු වෙන්නේ තමන්ගේ පාරම්පරික සිරිත් විරිත් එක්ක. අපේ පුංචි කාලේ මාධ්‍ය ලෙස තිබුණේ පුවත්පත සහ එක ගුවන් විදුලියක් පමණයි. අද මාධ්‍ය ඕනෑතරම්. තව අන්තර්ජාලය තියෙනවා. ඒ කාලේ මේ මොනවත් නැහැ. පසු කාලයේ මමත් ගුවන් විදුලි ශිල්පියෙක් ලෙස කටයුතු කළා. හුඟ දෙනෙක් හිතන්නේ මගේ රස්සාව ගුවන්විදුලිය කියලා. වෘත්තියෙන් මම අධ්‍යාපන සේවයේ හිටියේ. නමුත් මගේ මාධ්‍යාගමනය ආරම්භ වන්නේ ළමාපිටියෙන්. අවුරුදු සිරිත් විරිත් ගැන පුවත්පත්වල පළ වුණා. ගුවන් විදුලියේත් එහෙම නොකීවා නොවේ. ඒත් අද අවුරුදු සැමරීම මාධ්‍යවලින් භාරගෙන තියෙනවා. ඒ කාලේ එහෙම තිබුණේ නැහැ.

මම කිව්වනේ කොවුලා අපේ වසන්ත දූතයා කියලා. ඇත්ත වශයෙන්ම අපිට වසන්තයේ උදාවෙන්නේ ඔය අප්‍රේල් මැයි කාලය වෙනකොට තමයි. හොඳ ශ්ලෝකයක් තියෙනවා කොවුලා ගැන

කාකඞ කෘෂ්ණඞ

පිකඞ කෘෂ්ණඞ

කෝ භේදෝ පිකකාකයෝඞ

වසන්ත කාලේ සම්ප්‍රාප්තේ

කාකඞ කාකඞ පිකඞ පිකඞ

මෙහි තේරුම තමයි කපුටාත් කොවුලාත් පාටින් කළු වුණාට වසන්ත කාලය එළැඹෙද්දී කපුටා කාක් කීමෙනුක් කොවුලා ගී ගැයීමෙනුත් ඒ දෙන්නගෙ වෙනස තේරුම් ගන්න පුළුවන් කියන එක. අපේ මිනිස්සුන්ගේ ඇතැම් ගතිගුණ ගැනත් පාඩම් කියල දෙන ශ්ලෝකයක් තමයි ඒක.

අද අලු‍ත් අවුරුද්ද උදා වෙනවාත් සමගම ප්‍රචාරය පටන් ගන්නවා. ඒ ප්‍රචාරයත් සමඟ තවත් දෙයක් ප්‍රචාරය වෙනවා. ඒ වෙළෙඳ භාණ්ඩයි. සමාජ ආර්ථික ක්‍රමවල විකාශනයත් සමඟ අලු‍ත් අවුරුද්දත් අද වාණිජකරණයට පත්වෙලා. අර වගේ අත්දැකීම් ලබපු අපිට දැන් සාංකාවක් දැනෙනවා. මොකද අර කොහාගේ හඬ, කැවිලි සුවඳ, එරබදු මල, රතිඤ්ඤා හඬ ගබඩා වෙලා තියෙනවා මතක ගබඩාවේ. ඒ නිසා අතීත අත්දැකීම් එක්ක සාංකාවක් දැනෙනවා ඒවා සිහිපත් වෙද්දි.

අලුත් අවරුද්ද සමඟ බැඳුණු ප්‍රධාන දෙයක් තමයි සිරිත් විරිත්?

සිරිත් විරිත් සිංහල වචන දෙකක්. සිරිත් කියන සිංහල වචනය බිඳෙන්නේ සංස්කෘත චාරිත්‍ර කියන වචනයෙන්. චාරිත්‍ර කියන්නේ යම්කිසි හැසිරීමක යෙදීමට. විරිත් කියන්නේ යමකින් වැළකී සිටීම කියන අදහසයි. අපි අනුගමනය කරන්න ඕනෑ යහපත් සිරිත්. නරක සිරිතක් නම් ඒකෙන් අපි වැළකෙන්න ඕන. ඒක තමයි වාරිත්‍රය. ඉතින් ඒක අවුරුදු සිරිත්වලටත් එහෙමයි. පාරම්පරිකව එන දේවල් එක වරම කඩා බිඳ දමා ඉවක් බවක් නැතිව අපි හැසිරෙන්නේ නැහැ. ලෝකයේ සංස්කෘතිය වෙනස් වෙනවා. අපිට එය එක විදිහකට තියාගන්න බැහැ. ඒත් ඒ වෙනසත් එක්ක ගලාගෙන යන පාරම්පරික උරුමයක් හැම ජාතියකටම තියෙනවා.

සිංහල අලු‍ත් අවුරුද්දත් සංස්කෘතික උරුමයක්. ඒ සංස්කෘතික උරුම එක්ක බැඳුණු සිරිත් විරිත් නිසා තමයි අපිට අපේ සිංහල මිනිස්සු කියන හැඟීමක් හිතට දැනෙන්නේ. ඒ නිසා මොන විපර්යාසයන් වුණත් තාම මෙය අඛණ්ඩව පරපුරෙන් පරපුරට හදින් හදට ගලාගෙන යනවා.

හදින් හදට බැඳීම ඇති කරන අවුරුදු සිරිත් විරිත්වලට නැකැත් වැදගත් වන්නේ ඇයි?

නැකැත් කියන සිංහල වචනය තද්භාවයෙන් බිඳෙන්නේ නක්ෂත්‍ර කියන සංස්කෘත වචනයෙන්. නක්ෂත්‍ර කියන්නේ සංස්කෘත භාෂාවෙන් තාරකාවට. ඒ වගේම සංස්කෘතයෙන් ඡ්‍යොතිෂය කියන්නේත් තාරකාවට. අදත් අපි සිංහල අලු‍ත් අවුරුද්දේ නැකත් අනුව වැඩ කරන්නේ. ජාතික වශයෙන් බද්ධ කරන විදිහට තමයි කෑම පිසීම, අනුභව කිරීම, වැඩ ඇල්ලීම, රැකියා බලා පිටත් වීම සිංහල අවුරුදු නැකැතට සිදු කරනවා. නැකත් හදාගන්නවා එකට රැඳීලා වැඩ කරන්න. එයින් පිළිබිඹු වෙන්නේ ජාතියක් වශයෙන් අපි එකට බැදී සිටින බවයි. ලෝකයම සාමූහික වශයෙන් පැවැත්මට මේ පාරම්පරික සිරිත් විරිත් අත්‍යවශ්‍යයි. නවීන චින්තනය අනුව මේවා වැඩක් නෑ කීවත්, නැකැත් ශාස්ත්‍රය සංස්කෘතික වශයෙන් සිංහල මිනිසුන්ට තිබිලා තියෙනවා. සිංහල අකුරුවලට පවා ඉෂ්ට අනිෂ්ට ගුණ ආරෝපණය වෙලා තියෙනවා. අපේ ව්‍යාකරණ පිළිබඳ සිද්ධාන්ත දැක්වෙන පැරැණිම දැනට සොයාගෙන තිබෙන එකම පොත සිදත් සඟරාවයි. එහි එන අලංකාර අධිකාරියේ සඳහන් වෙන්නේ මේ නක්ෂත්‍ර සම්බන් අකුරුවල ගනවල ඉෂ්ට අනිෂ්ට බවයි.

අද අවුරුදු සුබපැතුම් පවා ජංගම දුරකථන කෙටි පණිවිඩකට සීමා වෙලා තියෙනවා. ?

අපි බටහිර ජාතීන් තුනකට යටත් වෙලා හිටියා. පෘතුගීසින්, ලන්දේසීන්, ඉංග්‍රීසීන්. ඊට පෙර රාජාණ්ඩු ක්‍රමයට තිබුණේ. ඒ වගේ අතීතයේ ඉඳලම මේ සංස්කෘතියට අපේ සාමූහික වාර්ගික බන්ධනයට සම්බන්ධ සංස්කෘතික චාරිත්‍ර වාරිත්‍ර අඛණ්ඩව ගලාගෙන ආවා. යටත් විජිතවාදීන් පැමිණි පසු ඔවුන්ගේ ප්‍රධානම ඉලක්කය වුණේ අපේ භාෂාව නැති කිරීම. ඔවුන්ගේ භාෂාව ඒ වෙනුවට එකතු කිරීම. ඇවතුම් පැවතුම් සිරිත් මේ සෑම දෙයක්ම භාෂාව නැත්නම් ගලාගෙන එන්නේ නැහැ. ඒ කාලේ භාෂාව මව් උරුමයක් ලෙස සැලකුවා. වර්තමානයේ අවුරුදු චාරිත්‍ර කෙටි පණිවවලට සීමා වෙලා තියෙනවා. ඒ නිසා අවුරුදු උලෙළේ උණුසුම, ජීවි භාවය මේ තුළ නැතිවෙලා තියෙනවා. වට්ස්ඇප්, වයිබර්, මුහුණු පොත ආදියෙන් තමයි වර්තමානයේ සුබ පතන්න පුරුදු වෙලා තියෙන්නෙ. මේ නිසා දෙදෙනෙක් හමුවීමේදී දැනෙන සමීප බව කෙහෙත්ම ලබා ගත නොහැකියි. නෑදෑ හිතමිතුරන්ගේ පවා දුරස්ථ භාවයක් තමයි දකින්නනට ලැබෙන්නේ. දිගටම මෙසේ පැවතුණොත් එකිනෙකා හමුවීමේදී දැනෙන අන්‍යොන්‍ය සුහදතාව අනාගතයේ සිංහල අවුරුදු දිනයකදී අපට දකින්න නොලැබෙන්නත් පුළුවන්.

සම්පූර්ණ කතාව සුබසෙත යූටියුබ් නාළිකාව ඔස්සේ නැරඹිය හැකිය.

ඉෂාරා විජේරත්න

 

සේයා රූ - සුලෝචන ගමගේ

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
9 + 8 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.