පෙබරවාරි 1,2,3,4,5 උපන් ඔබත් මෙහෙමද?

පෙබරවාරි 9, 2024

ජනවාරි මාසයේ 28 සහ පෙබරවාරි මාසයේ 01, 10, 19 දිනයන්හි උපත ලද අයගේ පෞද්ගලික අංකය අංක 1 වන අතර මොවුන් රවි යුරේනස් සහ මාසයේ බලයෙන් ශනි යන ග්‍රහයන්ගේ කම්පනයන්ට යටත් වේ. ශනි ඍණබලයෙන් යුතු මාසයක් බැවින් ජනවාරි මාසයේ තරම් ගැටලුවලට මුහුණ දෙන්නේ නැත. තනිව නැඟිටීමට පුළුවන. ඔවුනට දෙයක් කිරීමට දෙමාපියන්ගේ මැදිහත් වීමක් අවශ්‍ය නොවේ.

දැඩි අධිෂ්ඨාන ශක්තියක් සහ ආත්ම විශ්වාසයක් ඇති නිසා සාර්ථකත්වයේ මාවත් කිහිපයක ගමන් කිරීමට වාසනාව හිමි වේ. එහෙත් මේ මාසයේ අය අසුරු කරන පුද්ගලයන්ගේ ස්වභාවයට අනුගත වන බැවින් ඒ කෙරෙහි අවබෝධයෙන් කටයුතු කළ යුතුය. එසේ නොවුණහොත් වැරදි මඟක ගමන් කිරීම සිදුවිය හැකිය.

මුදල් ඉක්මනින් ඉපයීමේ අවශ්‍යතාවය මත සූදුව ඔට්ටු ඇල්ලීම ආදිය නොකළ යුතුය. එවැනි මුදල් ඉපයීම් මොවුනට සාර්ථක වන්නේ නැත. එම නිසා ඒ ගැන අවබෝධයෙන් කටයුතු කළයුතු වේ. විශේෂයෙන් වෛද්‍යවරුන් නිතිඥයන් වැනි වෘත්තිමය තත්ත්වවලින් මුදල් ඒකරාශි කිරීම දුෂ්කර වේ. මේ දිනවල උපන් අය ශාරීරිකව දුර්වල වුවද මානසික ශක්තිය ඉහළ අය වේ. ආහාර ජීර්ණ පද්ධතියේ රෝග තත්ත්වයන්වලට මොවුන් භාජනය වේ. නින්ද මොවුනට ඉතා අවශ්‍යය. මේ දිනවල උපන් අයවලුන් සෑම කටයුත්තක් සඳහාම අංක 1ට යෙදෙන දින එනම් 1,10, 19, 28 යන දිනයන් යොදා ගැනීම කටයුතු සාර්ථක කරගැනීමට උපකාරි වේ. රන්වන්, කහ, තඹ සහ රන් දුඹුරු පැහැයේ වර්ණයන් සුබ වර්ණ වේ.

***

පෙබරවාරි මාසයේ 2, 11, 20, දිනයන් හි උපත ලද අයගේ පෞද්ගලික අංකය අංක 2 වන අතර එය සඳු ග්‍රහයාට අයිති අංකයකි. එසේම උපත සිදු වූයේ පෙබරවාරි මාසයේ නිසා පුද්ගලයා සඳු නෙප්චූන් ග්‍රහයන්ගේ මෙන්ම ශනි ග්‍රහයාගේ බලපෑමට යටත් වේ. හෘදයාංගම භාවය ඉතා අධික පුද්ගලයෝ මේ දිනවල උත්පත්තිය ලබති. ආත්ම විශ්වාසය තරමක් අඩුය. එම නිසා ආත්ම විශ්වාසය වැඩි කර ගැනීමට කටයුතු කළ යුතුය. ප්‍රේම සම්බන්ධතා කිහිපයක් පවත්වාගෙන යන අතර ඒවා තමාට නොගැළපෙන සම්බන්ධතා වේ. ජීවිත කාලය තුළ මුදල් ඉපයීමේ මාර්ග කිහිපවතාවක්ම වෙනස් කරනු ඇත. ස්ථාවර මුදල් ඉපයීමේ ක්‍රම වේදයක් ඇතිකර ගැනීම සාර්ථකත්වය සඳහා සුදුසුය. විදෙස් සංචාරයන් සඳහා ඔබ තුළ බලවත් ආශාවක් ඇති අතර එසේම කලාව, සාහිත්‍යය, සංගීතය, නාට්‍යය නිර්මාණය ආදියට හැකියාවන් ඔබ තුළ ගැබ් වි ඇති දක්ෂතා බැවින් එම දක්ෂතා දියුණු කර ගැනීම ඔබේ සාර්ථකත්වයට හේතුවේ. ජීවිතයේ මුල් භාගයේ ගෘහ ජීවිතය වෙනස්කම්වලට භාජනය වන අතර ජීවිතයේ දෙවැනි භාගය සාර්ථක වේ. ධනවත්වේ. ගරු නාම ත්‍යාග ලැබීමට මේ දිනවල උත්පත්තිලාභීන් වාසනාවන්ත වේ. යහපත් සෞඛ්‍ය තත්ත්වයකට උරුමකම් කියන බැවින් බොහෝ අසනීප මඟ හැරේ.

මේ දිනවල උපන් අයවලුන් සෑම කටයුත්තක් සඳහාම අංක 2 ට යෙදෙන දින එනම් 2,11, 20, 29 යන දිනයන් යොදා ගැනීම කටයුතු සාර්ථක කරගැනීමට උපකාරි වේ. කොබෙයියාගේ අළු පැහැය, ළා පැහැයේ සිට තද පැහැය තෙක් සුබ වර්ණ වේ.

***

ජනවාරි 30, පෙබරවාරි 3, 12, 21, දිනයන්හි උපත ලද අයගේ පෞද්ගලික අංකය අංක 3 වන අතර එය ගුරු ග්‍රහයාට අයිති අංකයකි. එසේම උපත සිදුවූයේ පෙබරවාරි මාසයේ නිසා පුද්ගලයා ගුරු ග්‍රහයාගේ මෙන්ම ශනි ග්‍රහයාගේ බලපෑමට යටත් වේ.

මේ දිනවල උපන් අයවලුන්ට සාර්ථක විය නොහැකි කිසිම ක්ෂේත්‍රයක් නොමැත. ඒ සඳහා ස්වකීය උනන්දුව ඇති කර ගත යුතුය. ජනතා සංවිධාන ගොඩනැඟිම කළ හැකිය. ඒ සඳහා අවශ්‍ය දැඩි අධිෂ්ඨානය ආත්ම විශ්වාසය කථිකත්වය ඔවුන් සතුය. ශනි ඍණබලැති මාසයක ගුරුගේ බලයත් සම්බන්ධ වන බැවින් එම දිනවල පුද්ගලයන්ට ඉතා හොඳ තත්ත්වයක් නිර්මාණය කර දෙන්නේය. මොවුනට දෙපාර්තමේන්තු ප්‍රධාන තනතුරු සහ දේශපාලනය වැනි ක්ෂේත්‍රවල ඉහළ තනතුරුවලට උපතින්ම හිමිකමක් ඇත. වඩාත්ම ක්‍රියාකාරී වන්නේ මානසික හා බුද්ධිමය සැලසුම්වලදිය. හැඟීම් විග්‍රහ කිරීමට ප්‍රියකරන බැවින් ලේඛන, දේශක හා රඟපෑම් ආදියෙහිද කැපී පෙනේ. මොවුන් ඉතාම අවංකය. සතුටින් කල්ගෙවන අතර ඉතා පහසුවෙන් මිතුරන් ඇති කර ගනී. එයට අමතරව බුද්ධිමය කියවීම්වලට බොහෝ ප්‍රිය කරයි.

අධික ලෙස වැඩකිරීම නිසා මේ දිනවල උපන් අයට ස්නායු පද්ධතිය සම්බන්ධ රෝගාබාධයන් ඇතිවිය හැකිය. එමෙන්ම අධි රුධිර පීඩනය අක්මා රෝග තත්ත්වයන් ඇතිවිය හැකිය. එහෙයින් සරල ආහාර වේලක් ලබා ගැනීම ප්‍රමාණවත් තරම් නින්දක් ලබාගැනීමත් සිදු කළ යුතුය.

මේ දිනවල උපන් අයවලුන් සෑම කටයුත්තක් සඳහාම අංක 3 ට යෙදෙන දින එනම් 3,12, 21, යන දිනයන් යොදා ගැනීම කටයුතු සාර්ථක කරගැනීමට උපකාරි වේ. සුබ වර්ණයන් වන්නේ නිල්, රතු ,වයලට් දම් යන වර්ණයන්ය.

***

ජනවාරි 31, පෙබරවාරි 4, 13, 22 දිනයන්හි උපත ලද අයගේ පෞද්ගලික අංකය අංක 4 වන අතර මොවුන් යුරේනස් රවි සහ මාසයේ බලයෙන් ශනි යන ග්‍රහයන්ගේ කම්පනයන්ට යටත් වේ. එම නිසා දිනවල උපන් පුද්ගලයන් ආකර්ෂණීය පෙනුමක් ඇති අධි සංවේදී භාවයෙන් යුක්ත පුද්ගලයන් වේ. ඔවුන්ට බොහෝ විට තමන්ගේ ක්‍රියාකාරකම් හා අදහස් අනිත් පුද්ගලයන්ගේ අදහස් හා ක්‍රියාකාරකම් හා ගැටෙන විට හෝ පරස්පර වන අවස්ථාවලදී සිත් රිදීම්වලට මුහුණ දීමට සිදුවනු ඇත. එම නිසා මොවුන් කුඩා කාලයේ දෙමාපියන් ඉතා ප්‍රවේශමෙන් කටයුතු කළ යුතුවේ. ඔවුන්ට තදින් ක්‍රියාකිරීම හෝ අකාරුණිකවන්ත වීම දරුවන්ගේ මානසික වර්ධනයට අහිතකර ලෙස බලපෑ හැකිය. මොවුන් සමාජයේ බොහෝ පිරිසක් ඇසුරු කළ ද ජීවිතයේ තනිකම පාළුව තුරුළු කරගෙන ජීවත් වන පුද්ගලයන් වේ. විශේෂයෙන් වරදවා වටහා ගැනීම්වලට ලක්වන අතර රහසින් වැඩකිරීමේ ස්වභාවය ඔවුන් සතුවේ.

කෙසේ වෙතක් වයස අවුරුදු 4, 8, 13, 17, 22, 26, 31, 35 යන වර්ෂ අතිශය දුෂ්කරතාවලට මුහුණපෑමට සිදුවේ. එම නිසා මේ වයස් සිමාවන් එන වර්ෂයන්හි විවාහය, ව්‍යාපාර ආදි සුබ කටයුතු ආරම්භ කිරීමෙන් වැළකි සිටීම නුවනට හුරුය. ආර්ථිකය වශයෙන් දියුණුවක් ලබා ගැනීමට කැප විය යුතුය.

මේ දිනවල උපන් පුද්ගලයන් හොඳ කායික සෞඛ්‍යයකින් උපදින අතර, මනසේ ස්වභාවය මත සෞඛ්‍ය තත්ත්වයන් වෙනස්වීමට පුළුවන. එසේම මොවුන්ට ඇති වන ස්නායු ආබාධ සහ ජීර්ණ පද්ධතියේ ආබාධ සුව කිරීම දුෂ්කර වේ. මොවුන් සෑම කටයුත්තක් සඳහාම 1, 2, 7, 10, 11, 16, 19, 20, 25, 29 යන දිනයන් හෙවත් අංක 1, 2, 7 යන දිනයන් යොදා ගැනීම කටයුතු සාර්ථක කරගැනීමට උපකාරි වේ.

***

පෙබරවාරි මාසයේ 5, 14, 23 දිනයන්හි උපත ලද අයගේ පෞද්ගලික අංකය අංක 5 වන අතර එය බුධට අයිති වේ. එසේම මොවුන්ගේ උපත සිදු වූයේ පෙබරවාරි මාසයේ නිසා බුධ ග්‍රහයාට අමතරව ශනි ග්‍රහයාගේ බලපෑමට යටත්වේ. ප්‍රබල මානසික පාලනයක් සහිත පුද්ගලයන් මේ දිනවල උත්පත්තිය ලබන අතර සෑම දෙයක්ම විවේචනය කරන මානසික රාමුවක් ඇතිවේ. ඉක්මනින් දෙයක් තේරුම් ගැනීමට හැකියාව ඇති අතර ප්‍රබල ධාරණ ශක්තිය නිසා මතක ශක්තිය ප්‍රබලව දකින්න ලැබේ. සියලුම කරුණු විද්‍යාත්මක ස්වරූපයෙන් පිළිගැනීමේ ස්වභාවයක් මොවුන් තුළින් විද්‍යමාන වේ. අන් පුද්ගලයන්ගෙන් දිරිගැන්වීම් බලාපොරොත්තු වුවද ඒ බව නොපෙන්වා ස්වාධීනව සිටීමට මොවුන් වගබලා ගනී. බලාපොරොත්තු ඉටුනොවුණහොත් ඉක්මනින් කලකිරෙන ස්වභාවයක් ඔවුන් තුළින් දැකිය හැකිය.

පෙබරවාරි මාසයේ පෞද්ගලික අංක 5 පුද්ගලයන් මුදල් කටයුතුවලදි අන් අයට උපදෙස් ලබා දීමට පෙලඹෙන අතර ඔවුන් ඒ අනුව ක්‍රියාත්මක නොවේ. තමන්ගෙ බුද්ධි බලය යොදා මුදල් උපයන නමුත් මුදල් ආරක්ෂා කිරීම ඔවුන් අතින් මඟහැරෙන ස්වභාවයක් දැකිය හැකිය. හොඳ ශාරිරික ශක්තියක් සහජයෙන්ම මොවුන්ට උරුමය. එහෙත් ස්වභාවයෙන්ම වරින් වර ඇතිවන අක්මාව, ප්ලීහාව, වකුගඩු හා මුත්‍රාශයේ ආබාධ තත්ත්වවලින් පීඩා විඳී. මත්පැන් මත් ද්‍රව්‍යවලින් ජීවිතය විනාශ කරගන්නා කණ්ඩායමක්ද මේ පුද්ගලයන් අතර සිටී. මේ දිනවල උපන් අයවලුන් සෑම කටයුත්තක් සඳහාම අංක 5 දින එනම් 5, 14, 23 යන දිනයන් යොදා ගැනීම කටයුතු සාර්ථක කරගැනීමට උපකාරි වේ. සියලුම ළා වර්ණ සුබ වර්ණ වේ.

 

සැලසුම්ශිල්පී, වාස්තු විද්‍යා සහ මමෝවිද්‍යා උපදේශක,

හස්ත රේඛා පරික්‍ෂක,

මාතලේ, නාඋල

බී. ඒ. ජයවර්ධන

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
8 + 8 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.