වර්ෂ 2024 ක්වූ December 13 වැනිදා Friday
38 වසරක් සපුරන ජාතික පුෂ්පය හා ජාතික වෘක්ෂය
ශ්‍රී ලංකාවේ ජාතික සංකේත අතර ජාතික පුෂ්පය වූ නිල් මානෙල් මලටත් ජාතික වෘක්ෂය වූ නාගසටත් ලැබෙන්නේ විශේෂත්වයකි.
නිල් මානෙල් මල හා නාගස පූජනීයත්වයට පත් පුෂ්පයක් හා වෘක්ෂයකි. දේශීය මෙන්ම ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේදී ඖෂධ සඳහා උපයෝගී කරගන්නා ප්‍රබල ශාක වන නිල් මානෙල් මල හා නාගස ඖෂධ රැසක් සඳහා යොදා ගනියි.
ජාතික පුෂ්පය ලෙස නිල් මානෙල් මලත් ජාතික වෘක්ෂය ලෙස නා වෘක්ෂයත් එකදාස් නමසිය අසූහය වසරේ පෙබරවාරි මස විසිහය වනදා පැවැති කබිනට් රැස්වීමේදී සම්මත කර ගන්නා ලදි. ලංකාව පුරා පිහිටි වැව් පොකුණුවල බහු වාර්ෂික පැළෑටියක් ලෙස වැවෙන මානෙල් මලෙහි භූගත කඳ මඩ යට ගිලී පවතී. ළා දම් හෝ නිල් හෝ රෝස පැහැති ළා පෙතිවලින් මතුවෙන නිල් මානෙල් මලෙහි රේණු කහ පැහැයෙන් යුක්ත වේ.
නිල් මානෙල් මල බුදු දහමට අනුව මංගල ලකුණු එකසිය අටට අයත් පූජනීය වූ පුෂ්පයකි. සීගිරි සිතුවම්වල නිල් මානෙල් මල් අත දරා සිටින අප්සරාවියන් දැකගත හැකිය. හංස සංදේශය, සැලළිහිණි සංදේශය හා පරෙවි සංදේශය වැනි කාව්‍යවල නිල් මානෙල් මල ලලනාවන්ගේ දෑසට උපමා කර ඇත. නිල් මානෙල් මල සත්‍යයේත් සංකේතයක් ලෙස සැලකේ. විශේෂයෙන් නිල් මානෙල් සුබ කටයුතුවලට යොදාගනු ලබන මලකි. ඉංගී‍්‍රසි භාෂාවෙන් වෝටර් ලිලී යනුවෙන් හඳුන්වනු ලබන නිල් මානෙල් මලෙහි උද්භිද විද්‍යාත්මක නාමය වන්නේ නිම්පෙයා ස්ටෙලාටා යන්නයි.(ව්රථනඩචඥපඥච ඉබඥතතචබච) නිල් මානෙල් මලෙහි ඇති ඖෂධීය ගුණය ද ඉමහත් ය.
නිලුපුල් ගුණ
නිලෝත්පලම තිසවාදු ශිතං සුරහි සෞඛ්‍යකමත්
පාකෙතු තික්තම ත්‍යාත්තං රක්ත පිත්තා පාහාරකම්
මානෙල් අල ඉතා යහපත් වෙයි. ශිතලයි සුවඳයි, සැප ගෙන දෙයි. පැසීමෙහි තිත්තයි. රත්පිත නැති කරයි. නිල්මානෙල් කඳ දලු, මල් බීජ හා නටු ද ව්‍යාංජන සඳහා යොදා ගනී. නටු මල් රේණු හා බීජ යන සියලු කොටස් දේශීය වෙදකමට මෙන්ම ආයුර්වේද වෙදකමටද යොදා ගනී. මුත්‍ර රෝග, ශරීරයේ උෂ්ණාධික රෝග, අධිසාර ඉදිමුම් ආදී රෝග සඳහාද උපයෝගී කර ගනී. උගිරාදී තෛලය, කුමාරි තෛලය, උක්පුරුක් කෂාය, චන්දනාදී චූර්ණය, ආදී ඖෂධ රැසකටම නිල් මානෙල් අල, මල් රේණු, ඖෂධ හා සමව එක්කර ගනී. දවස පුරා පිපී පවතින නිල් මානෙල් මලෙහි මණි පත්‍ර හතරක්ම පිහිටා ඇත. මේ මල සායම් වර්ග සඳහාත් භාවිත කෙරේ. ඉතාම පූජනීය තත්ත්වයේ පවතින නිල්මානෙල් මලට බෞද්ධ සාහිත්‍යයෙන් ද විශේෂ තැනක් ලැබී ඇත. සිදුහත් කුමරු උපත ලද අවස්ථාවේ දී රජ මාලිගාවට පැමිණි කාලදේවල තවුසාණන් බෝසතාණන්ගේ සිරිපතුල් දැක දෑතින් අල්ලාගෙන මඟුල් ලකුණු පරීක්ෂා කිරීමේ දී දෙපතුල්හි මඟුල් ලකුණු එකසිය අටක් දුටු බවද සඳහන් වේ.
ඒ මඟුල් ලකුණු අතර නිල් මානෙල් මල් දෙකක ලකුණු ද වූ බව සඳහන් වේ.
ජාතික වෘක්ෂය
අපේ ජාතික වෘක්ෂය වන නා ගස දිවයින පුරා වැඳුම් පිදුම් ලබමින් පවතින පූජනීය වෘක්ෂයකි. එය බොහෝ පූජනීය ස්ථානවල දක්නට ලැබෙන වෘක්ෂයකි. බෞද්ධ සාහිත්‍යයේ සඳහන් පරිදි අටවිසි බුදුරදුන්ගෙන් මංගල සුමන රේවත හා සෝභිත යන බුදුවරුන් නා ගස යටදී බුද්ධත්වයට පත්වීම නිසා නා ගස පූජනීයත්වයට පත් වී ඇත. නා ගහේ කොළ දික්ව වැවේ. රෝස පැහැති සුදු පැහැති පෙති සතරකින් යුත් සුවඳැති මල් ප්‍රසන්නතාවයකින් යුක්තවේ. මෙසුවා නාගසාරියුම් (ර්ඥඵභච දචඨචඵඵචපඪභථ) යන උද්භිද විද්‍යාත්මක නාමයෙන් හඳුන්වනු ලබන නා ගස ඉතා ප්‍රසන්න වෘක්ෂයකි. අප්‍රේල් ජූනි යන මාසවලදී මල් හටගන්නා නාමලෙහි සුවඳ කාලයක් පුරා පවතී. නා ගසේ දලු රත් පැහැගැන්වී ඉතා සුන්දරත්වයක් ගෙන දෙමින් කොළ පැහැයට හැරී පවතී. නාමල් රේණු බොහෝ විට ඖෂධ සඳහා යොදාගනු ලබන අතර නා දලු පිරිත් මණ්ඩප උඩුවියන්වල එල්ලීමටත් දේවාල කෝවිල්වල සැරසිලිවලටත් ලබාගනී.
ආයුර්වේද ඖෂධ
ආයුර්වේද ඖෂධ සඳහා ගනු ලබන නා වෘක්ෂයේ කොටස්වලින් වැඩියෙන්ම ගනු ලබන්නේ නාමල් රේණුය. එම රේණු අමුවෙන් හා වියළා යොදා ගන්නා අතර නා පොතු හා නා කොළ ආයුර්වේද ඖෂධ සඳහා යොදාගනී. විශේෂයෙන් නාමල් රේණු කර්පුරාදී චූර්ණය මහා සරස්වතී චූර්ණය චන්දනාදී චූර්ණය කාමේශ්වරී මෝදකය අමෘතාරිෂ්ටය අශ්වගන්ධාරිෂ්ටය ඉරිමේදාදී තෛලය, චන්ද්‍රක්‍රාන්ති තෛලය ආදී තෙල් රැසකම යොදාගන්නා අතර නාගසේ හටගත් නා දුම්මල ඖෂධීය තත්ත්වයෙන් යුක්ත වන නිසා එය සර්ප විෂ ප්‍රතිකාර සඳහා යොදා ගනියි. නාදලු සිංහල සාහිත්‍යයේ කාන්තාවන්ගේ දෙතොලට උපමාකොට ඇත. අපේ ජාතික වෘක්ෂය වන නාගසත් ජාතික පුෂ්පය වන නිල් මානෙල් මලත් ඉතා වටිනා ඖෂධයන්ය.
මොනරාගල සිරිගල
ආයුර්වේද වෛද්‍ය
මැණික් නේරංජනා හෙට්ටිආරච්චි