ඉතිරිවන බත්වලින් රසවත් කිරියා

අප්‍රේල් 26, 2024

අවුරුදු කාලයේ පැණිරස කෑම බීම බහුල නිසා බත් අනුභවය තරමක් අඩුයි. එනිසා මේ දිනවල පිසින ලද බත් බොහෝ ගෙවල්වල ඉතිරි වෙනවා. අද අපි ඉදිරිපත් කරන්නේ මෙලෙස ඉතිරි වන පිසගත් බත් අපතේ යා නොදී එම බත්වලින් කිරියා සකසා ගන්නේ කොහොමද කියල.

මේ සඳහා ඕනෑම හාලකින් පිසගත් බතක් ගන්න පුළුවන් බව මතක තබා ගත යුතුයි. ඒ වගේම කැකුළු හාල්, සුදු හාල්, බාස්මතී, සම්බාහාල්, තම්බපු හාල් වැනි ඕනම හාලකින් ඉතුරු වුණ කලවම් බත් මෙයට පාවිච්චි කරන්න පුළුවන්.

අවශ්‍ය ද්‍රව්‍ය-

පිසගත් බත් ග්‍රෑම් පන්සීයක්

කිරි මිලි ලීටර් නමසීයක් පමණ

ඔබේ රස අනුව සීනි ග්‍රෑම් 350ක් හෝ කැමැති නම් හකුරු බෑයක් හෝ පැණි මේ සඳහා අවශ්‍ය වෙයි.

අවශ්‍ය නම් කජු

මාදුරු ස්වල්පයක් සහ කරදමුංගු ස්වල්පයක්

සකසන ක්‍රමය-

බත් ටික බ්ලෙන්ඩර් එකට දමා කිරිත් සමඟ හොඳීන් බ්ලෙන්ඩ් කරගන්න. බත්වල ඇට ගතිය නැතිව යන තුරු ක්‍රීම් ගතියට එනකල් හොඳීන් බ්ලෙන්ඩර් කරගන්න. අවශ්‍ය වන්නේ ක්‍රීම් මිශ්‍රණයක්.

පසුව මෙයට කුඩු කරගත් මාදුරු කරදමුංගූ, පැණි හොඳීන් දමා හොඳට මිශ්‍ර කර ළිප තබා මඳගින්නේ හැදි ගාන්න. මිශ්‍රණයේ අඩිය ඇලෙන්නට බලන නිසා ළිප ළඟ ඉඳගෙන මිශ්‍රණය හොඳින් හැඳි ගාන්න. බොහෝ දුරට ගින්දර අඩු අඩු වැඩි කරමින් ගින්දර සකසා ගත යුතුයි. සමහරුන් මේ ඇලීම වැළැක්වීමට පොල් තෙල් ස්වල්පයක් යොදනු ලබයි. එහෙත් පොල්තෙල් දැමීම අවශ්‍යම නැහැ. මේ මිශ්‍රණය ගුළියක් වනතුරු හොඳීන් හැඳී ගා පදම ආ පසු තැටියකට දමා කැබලි කපා ගන්න.

සහල්වල ගුණ

ආයුර්වේදයේ ආහාර ඖෂධ ලෙස සැලකේ. මේ නිසා ආහාර තෝරා ගැනීමේදී ආහාරවල පෝෂණ ගුණයන් සහ ආයුර්වේද ගුණයන් පිළිබඳව අවබෝධ කර ගැනීම වැදගත් වේ. සියවස් ගණනාවක සිට සහල් ලාංකික ආහාර වේලෙහි අත්‍යවශ්‍ය අංගයකි. එය ලංකාවේ ප්‍රධාන ආහාරය වෙයි. ලංකා චාරිත්‍රානුකූලව සහල් මඟින් විවිධ ආකාරයේ බත් වර්ග, රසකැවිලි පිළියෙළ කරනු ලබයි.

සියලුම ප්‍රභේද අතර කුරුට්ට සහිත රතු සහල් ඔබේ සෞඛ්‍යයට සහ පෝෂණයට වඩාත්ම ප්‍රතිලාභ ලබා දෙයි. රතු සහල් සෞඛ්‍ය සම්පන්න යැයි සැලකේ. එය සකස් නොකළ (ඔප දැමූ) සහල් වන අතර එමඟින් අනෙකුත් ඔප දැමූ සහල්වලට වඩා වැඩි පෝෂණයක් සහ විටමින් ප්‍රමාණයක් සිරුරට ලැබෙයි. එය දියවැඩියාවෙන් පෙළෙන අයට වඩාත් සුදුසු වේ.

ආයුර්වේදයට අනුව කුරුට්ට සහිත සහල් විශිෂ්ට සුවදායක ආහාරයක් බව ඔප්පු වී ඇති අතර එබැවින් සෑම පුද්ගලයකුටම එය නිර්දේශ කෙරේ. එය ආයුර්වේදයට අනුව මිහිරි රසයට දායක වේ. එය සැහැල්ලු, මෘදු, සිනිඳු සහ පෝෂ්‍යදායී ආහාරයකි. එය ස්වභාවයෙන්ම සිසිල් වේ. වාත සහ පිත්ත සමතුලිත කිරීමට එය යෝග්‍යය. ආයුර්වේද ග්‍රන්ථයක් වන චරක සංහිතාවට අනුව, සහල්වල ඖෂධීය වටිනාකම නම්කර ඇත. මනස, ශරීරය සමතුලිත කිරීමට හෝ සන්සුන් කිරීමට, ශරීරය ශක්තිමත් කිරීමට, ප්‍රබෝධමත් කිරීමට සහ ශක්තිය ලබා දීමට, රුධිර පීඩනය නියාමනය කිරීමට, සහ සමේ රෝග සහ වයසට යෑම වැළැක්වීම සඳහා සහල් ප්‍රයෝජනවත් වෙයි. ආයුර්වේද ග්‍රන්ථවල සහල්වල විවිධ ගුණ ලේඛන ගත කර ඇත.

සහල් පිසීමට පෙර එය පොඟවා ගැනීමෙන් ආහාර දිරවීමේ පහසුව ඇති වෙයි. ඒවා පිසීමට පෙර අවම වශයෙන් පැය 1 ක් පොඟවා ගැනීමෙන් ආහාර දිරවීම සඳහා ප්‍රයෝජනවත් වෙයි.

සහල් සකස් කිරීම සම්බන්ධයෙන්, ආයුර්වේද ග්‍රන්ථවල සඳහන් ප්‍රතිලාභ කිහිපයක් මෙසේය.

*  ආයුර්වේද දෘෂ්ටි කෝණයෙන්, එය කැඳ ලෙස සකසා විවිධ රෝග සඳහා ප්‍රතිකාර කිරීම සඳහා විශේෂිත කුළුබඩු සහිතව තුනී ඉස්ටුවක් ලෙස සහල් සකස් කරන ලදී.

*  පරණ බත් සහ මුං වලින් සාදන ලද කෑම උණ හෝ ආමාශ ආබාධයකින් පෙළෙන පුද්ගලයෙකුට ප්‍රයෝජනවත් වේ.

* ගිතෙල් හෝ බටර් සමඟ මිශ්‍ර කළ සහල් කැඳ ගර්භිණී කාලය පුරාම නිර්දේශ කෙරේ. බත්, ගිතෙල් සහ බටර් සිසිල් වන බැවින්, ඒවා මව පෝෂණය කරයි. කලල රූපය නිසි ලෙස වර්ධනය වීමට උපකාරී වෙයි.

* සහල් දියවැඩියා සහ තරබාරුකමට ගුණදායකයි.

*  ලේ ගැලීමේ ආබාධ, වැනි බොහෝ ආබාධවලට සහල් සේදුම් ජලය ආයුර්වේදයේ ප්‍රයෝජනයට ගනු ලබයි.

 

උපදෙස්

යුරෝපයේ පුහුණුව ලද ආයුර්වේද සූපවේදිනී

ඉනෝකා වේලාරත්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
7 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.