ගැටවරයන්ට සුරඟනකි ගැටිස්සියන්ට සුර කුමරෙකි රතිකාමිණී

ජනවාරි 19, 2024

විවාහක නව යොවුන් තරුණ තරුණියන්ගේ නිදි යහනට බැල්මලා රිංගන රතිකාමිණිය ඔවුන් වසඟ කරවා ඇති පමණට කාමාශ්වාදය ලබාගෙන පිටව යනතෙක්ම සිදු වූ කිසිවක්ම ඔවුන්ට දැනගන්නට ලැබෙන්නේ නැත.

මේ කාමෝද්දණිය අන්‍ය ස්ත්‍රී පුරුෂයන් ඔවුන්ට රිසි පරිදි කම්සැප විඳින විට රහසේම ඒ දෙසට බැල්මලා ඔවුනොවුන්ගේ කම්සැප බලා සැනසෙන අතර ඔවුන් නින්දට වැටුණු පසු යහනට රිංගන රතිකාමිණිය නින්දේ දීම අවශ්‍ය පමණට කම්සැප විඳ ඔවුන් මුසපත්කොට පිටව යයි. මේ නිසා සමහරුන්ට අධික වෙහෙසක් තෙහෙට්ටු ගතියක් අධික සේ කාමාශාවේ යෙදී සිටීම නිසා නිදියහනෙන් නැඟී සිටීමට පවා නොහැකිවන අතර දිනෙන් දින ඇඟ වැහැරීමෙන් ශක්තිය හීන වී රෝගීන් බවට ද පත් වේ.

උමතුකරවයි

රතිකාමිණී යක්ෂණිය වඩාත්ම ආශාවෙන් බැල්ම හෙළන්නේ අවිවාහක නාඹරවියේ පසුවන තරුණයන්ට මායම් පාමින් අඟර දගර දක්වමින් තැන තැන ඇවිදින ඇය පාළු ගෙවල්වල සහ ජනයා නොගැවෙසෙන ස්ථානවල සිට තරුණයන් වසඟ කර ගැනීමට දනී. යක්ෂ ලොවේ සිටින අනෙකුත් යක්ෂයින්ට වඩා මනමාල කාමාධික ගති පැවතුම්වලින් යුත් මැය ස්ත්‍රීන් හමුවේ දේහධාරී පෙනුමැති පිරිමියකු ලෙසත් පිරිමින් හමුවේ සුන්දර සුකුමාල ලලනාවියකු ලෙසත් වෙස් මාරුකරගනිමින් කාම තෘප්තිය ලබාගැනීමට වෙහෙසේ. යොවුන් වියේ පසුවන විවාහක කාන්තාවක් සොයා ගොස් නිදියහනට රිංගන රතිකාමිණී සැමියාගේ ඉරියවු මවාපාමින් ඇය කාමයෙන් උමතු කරවමින් නොයෙකුත් අන්දමින් කාමාසාවන් ඉටු කර ගනී. සැමියන් තම බිරිඳ සමඟ එකතුවූවාසේ සිහිනෙන් පෙන්වා අධික ලෙස රති ක්‍රීඩාවේ යෙදෙමින් ඔහුද දැඩි ලෙස වෙහෙසට පත්කරයි.

නිදියහනට එයි

තද නින්දේ පසුවන සැමියන්ට බැල්මලා නින්දේදීම බිරිය හා එක්වීමෙන් සිටින සේ පෙන්වා එක්වන ඇය නිසා දැඩි ලෙස දුර්වල වන සැමියන් අත්පා වාරු නැති තරමටම දුර්වල තත්ත්වයට පත්වීමෙන් රෝගාතුර වේ. කෙළි ලොල් බවෙන් නිතර විනෝදවන තරුණ විවාහක ජෝඩු ගැන තද ඊර්ෂ්‍යාවෙන් පසුවන රතිකාමණිය ඔවුනොවුන් එක්ව හා වෙන් වෙන්ව නිදාගන්නා අවස්ථාවන් බලා තම ආශාවන් ඉටුකර ගැනීමට පසුබට නොවන්නීය. ස්ත්‍රී පුරුෂ නග්නයට දැඩිව ආශා කරන යක්ෂණිය එදෙස මහත් ගිජුව බලා සිටිමින් තම ආශාවන් උපරිමයෙන්ම ඉටුකර ගනියි. එසේ වෙනකකු තමාගේ පහස ලබමින් අධික සේ තෘප්තිය ලබාගෙන ඇති බව ඔවුන්ට වැටහෙන්නේ නින්දෙන් අවදි වූ පසුවය. මේ නිසා සමහරුන්ට ශරීර අප්‍රාණිකත්වය මෙන්ම නින්දෙන් පිබිදී ඇවිදයාමේ අපහසුතාවයන්ට පවා පත්වේ.

කාමාශාව

රතිකාමිණී යක්ෂණියගේ බැල්මට අසු වූ කාන්තාවන් මෙන්ම පුරුෂයින්ද නිතරම ආශා කරන්නේ අනේකවිධ කාමාශාවන්ගෙන් තෘප්තිමත් වීමටය. ඊර්ෂ්‍යාව හා වෛරය නිසා ඔවුනොවුන් අතර බොහෝ වාද, භේද, කලහ ඇතිකොට කාමයේ හැසිරවීමට රතිකාමිණී බොහෝවිට උත්සාහ දරයි. තම තමන්ට රිසිසේ හැසිරීමට අවස්ථාව නොලත් විට අඬ දබර ඇති කොට අඹු සැමි නුරුස්සම්ගති මවාපාන යක්ෂණිය දූ දරුවන්, වැඩිහිටියන් ඉදිරියේ පවා වසඟයට ගෙන අධික කාමාශාව සංසිඳුවා ගැනීමට ක්‍රියා කරති.

කාමෝද්දණියක් වූ විවාහක රූමත් කාන්තාවක් විය. කලකින් ඇගේ සැමියා මිය ගියේය. ඉන් වැන්දඹු බවට පත් වූ ඇයට පුරුෂයකුගේ අඩුව තදින්ම දැනෙන්නට විය. මේ නිසා බොහෝවිට උත්සාහගත්තේ තමාට ගැළපෙන හැඩිදැඩි පුරුෂයකු සොයාගැනීමටයි. එහෙත් ඒ කිසිවක් ඉටු කර ගැනීමට නොහැකි වූ තැන ඇය තීරණය කර ගත්තේ බලෙන් හෝ පුරුෂයකු සොයා ගැනීමටයි. එයින්ද පලක් නොවූවිට ස්ත්‍රී පුරුෂයින් එක්ව ලබන සතුටට ඊර්ෂ්‍යා කළ ඇය ඔවුනොවුන්ගේ සැපතට බාධාකරමින් ඔවුන් වෙන්කරලීමට කේලාම් කියමින් එකිනෙකා රහසේ වෙන් වෙන්ව එක්වෙන බව පවසමින් සමඟිය බිඳලන්නට කටයුතු කළාය.

තම සිතැඟි ඉටුකරගැනීමට නොහැකි වූ තැන කාමෝද්දණිය තව තවත් දරුණුවන්නට වූවාය. කතුන් ඉදිරියේ පිරිමි වෙස්ගෙනද පිරිමි ඉදිරියේ රූබර ලලනාවන් ලෙසද විවිධ මායම් පෑවාය. ඒ කිසිවකටත් කිසිවකු මුළාවූයේ නැත. මායම්වලට කිසිවකුත් අසු නොවූ තැන ඇය ඊළඟට කළේ විවාහක අඹු සැමියන්ගේ විවිධ හැසිරීම් හා එක්වීම් හොර රහසේ බලමින් සතුටුවීමටය. මේ අතර එක්තරා ස්ත්‍රියක් සිය සැමියාට හොරෙන් වෙනත් සැමියකු ඇසුරු කරන්නේ යැයි කියන පුවතක් විය. එය දැනගත් රජු ඇයට රාජ දණ්ඩනය පමුණුවා මරවා සිරුර දෙපලුකර ගසක එල්ලා තැබීමට නියෝග කළේය. මෙය අසත්‍ය චෝදනාවක් මත සිදුකරන ලද්දක් බව ඇගේ සැමියා රජුට සැලකර සිටියේ ය. ඉන් කිපුණු රජු චෝදනාව ගැන සොයා බලා බොරු ආරංචිය පතුරුවාලූ වැන්දඹු කාමෝද්දණිය වූ කාන්තාව ද මරා දෙපලුකර ගසක එල්ලා තැබීමට නියෝග කළේ ය.

යක්ෂණියගේ උපත

එසේ දඬුවම ලබාදුන් කෙනෙහිම මරා කකුල් දෙක ගසෙහි එල්ලා තිබූ කලින් කාන්තාවගේ සිරුර ප්‍රාණවත් වී පෙර මෙන් පණ ඇති කාන්තාවක බවට පත්වූවා ය. එකෙනෙහිම එදෙසට ගිය ඇගේ සිය සැමියා ඇය සිප වැලඳගෙන සනසමින් රැගෙන ගොස් එදින රැය දෙදෙනා එක්ව ගත කළේය. පසුව ඔවුන් පෙරමෙන් යහතින් ජීවත් වූ අතර බොරු චෝදනා පතුරුවාහැර මරණයට පත් වූ කාමෝද්දණිය පෙර ස්ත්‍රියගේ කුස පිළිසිඳගත්තාය. කුස තුළදී නොයෙක් වද හිංසා පමුණුවමින් දස වද දුන් ඇය මව්කුසින් බිහිවූයේ යක්ෂණියක වේශවෙනි. හැදී වැඩෙත්ම මේ යක්ෂණිය විසින් මව හා පියාද මරා දැමීය. අනතුරුව වෙසමුණි රජු වෙත ගොස් යක්ෂ ලෝකයේ ප්‍රතිපත්තිවලට අනුකූලව වරම් ලබාගෙන පැමිණ විවාහක ස්ත්‍රී පුරුෂයන් ලෙඩ කරවමින් විපත් සිදුකරමින් යන්නට විය.

විරුද්ධත්වය නොතකයි

රතිකාමිණී යක්ෂණිය නමින් පතළ ඇගේ ළැම පෙදෙස පුරා ගෝමරය, රණහංසයකු මෙන් ඉදිරියට ආ පිරුණු පියයුරුය. නා දලුවන් විකසිත වූ දෙතොල්ය. උඩුයකය සළුපටකින් වසාගෙන ඇත්තේ ළැම පෙනෙන පරිදිය. නාභියද පෙනෙන සේ සළුපටක් ඇඳ ඇත. දික් වූ කෙස් කළඹ පිටදිගට විහිදුවා ඇත. උඩුතොල දෙකෙළවරින් ඉදිරියට නෙරා ඇත. නළලත් දෙකකි. යම් හෙයකින් රතිකාම යක්ෂණියගේ ඇල්මට බැල්මට අසුවුව හොත් කාන්තාවන් වගේම පුරුෂයින් ද නිතර නිතර කාමාශාවෙන් පෙළෙමින් ඔවුනොවුන්ට මනාසේ කම් සැප විඳිමින් හැසිරීමට සූදානම් වේ. රතිකාමණිගේ බැල්ම පුරුෂයකුට වැදේද තම දූ දරුවන් වැඩිහිටියන් කිසිවෙක් ගැන නොතකා තම අභිප්‍රාය ඉටුකර ගැනීමට බිරිඳගේ විරුද්ධත්වය මත පවා සූදානම් වේ. කාන්තාවකට වුවද එසේමය.

රතිකාමිණියේ බැල්ම කාන්තාවකට ඇති වුණේ නම් කාමාෂාවෙන් පුබුදුවාලන ඇය පුරුෂයාගේ කැමැත්ත අකමැත්ත නොබලා වැඩිහිටි දූ දරුවන් සිටියදීම කොතනකදී වෙත් ඇගේ ආශාව ඉටුකර ගැනීමට පෙළෙඹේ. මෙවන් විපත් ගෙනදුන් රති කාමණී යක්ෂණිය පිළිබඳව යම් යම් කථාන්තර ජනප්‍රවාදයේ මෙන්ම පැරණි ගුරුන්නාන්සේලාගෙන් මෙන්ම පොතපතින්ද දැන ගන්නට හැකිය.

 

පාරම්පරික ඡ්‍යොතිෂ ශාස්ත්‍රඥ

ඡ්‍යොතිෂවේදී ඡ්‍යොතිෂ විද්‍යාවේදී

ඡ්‍යොතිෂ් ප්‍රභාෂ්වර  මොරටුවේ තිස්ස මහානාමසටහන - බී.ඇල්. ප්‍රේමරත්න 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.