වෙද කවි පබාව හෙළිකරන හෙළ වෙද සාහිත රස

ජනවාරි 12, 2024

 

ශ්‍රී ලාංකේය ඉතිහාසයේ ඉපැරැණි යුගයේ පටන් දේශීය වෛද්‍ය කර්මයන් පැවැති බවට පුරා විද්‍යාත්මක සහ සාහිත්‍යමය වශයෙන් ප්‍රබල සාධක රැසක් හමුවේ. අද්‍යතනය වන විට ද දේශීය වෛද්‍ය ක්‍රමයත් ආයුර්වේද වෛද්‍ය ක්‍රමයත් යන උභයාංශයම ලාංකේය ජනතාවගේ සෞඛ්‍ය සංරක්ෂණය විෂයයෙහි, උපයෝගී වෙයි.

ඈත අතීතයේද සමීපාතිතයේ ද සිංහල භාෂාව උපයෝගී කොටගෙන වෛද්‍ය ග්‍රන්ථ රචනා වී ඇත. ඒ අනුව සමීපාතිතයට අයත් වෛද්‍ය ග්‍රන්ථයක් ලෙස වෙද කවි පබාව හඳුන්වා දිය හැකිය. ක්‍රි.ව. 1933 වර්ෂයේ මලවැන්නේ කවිධජ හිමියන් විසින් විරචිත කව්සඳකැල්ම නම් වූ කාව්‍ය ග්‍රන්ථයේ අවසානයට, ස්වස්ථතා සංරක්ෂණයට අත්‍යවශ්‍ය උපදේශ රාශියකින් යුත් වෙද කවි පබාව සහ ඡ්‍යොතිෂ ඵල කියන්නන්ට අවශ්‍යෝපදේශ පිඬුකොට ලියන ලද ඡ්‍යොතිර් වර්ණනා එක් කොට මුද්‍රණය කොට ඇත. වෙද කවි පබාව, ග්‍රන්ථ නාමයෙන් ම පැහැදිලි වන පරිදි සිංහල කාව්‍යමය වෛද්‍ය ග්‍රන්ථයකි. වෙද කවි පබාව ප්‍රබන්ධ කරන ලද්දේ මලවැන්නේ කවිධජ හිමියන් බව එහි එන සත් වන පද්‍යයෙන් සනාථ වේ.

 

බඹුගෙ වෙද වදනි න

කවිදජ නමැති මවිසි න

නානරුත උදුරමි න

ගොතන මේ කව උගණු නිසිව න

 

සංස්කෘත, පාලි ආදී මාතෘ භාෂාවන්ගෙන් පවතින වෛද්‍ය ශාස්ත්‍රය හෙළ බස දත්ත වූවන්ට සරලව කියා දීම මේ ග්‍රන්ථය කිරීමට හේතු වූ බව කතුවරයා පෙන්වා දී ඇත. සංස්කෘත භාෂාගත ආයුර්වේද, වෛද්‍ය ශාස්ත්‍රයේ ප්‍රභවය මහාබ්‍රහ්මයා දක්වා දිව යයි. කවියා විසින් “බඹගෙ වෙද වදනින් ලෙස දක්වා ඇත්තේ එම පුරාණෝක්තිය යි. සංස්කෘත භාෂාවෙන් පවතින වෛද්‍ය ශාස්ත්‍රය පිළිබඳ දැනුම සිංහල පාඨකයා වෙත ප්‍රදානය මේ ග්‍රන්ථයේ ප්‍රධාන අරමුණයි. වෛද්‍ය ශාස්ත්‍රය ඉතා ගැඹුරු විෂයයක් බව ඈත අතීතයේ පටන්ම පවත්නා විශ්වාසයකි. ඒ අනුව අති ගම්භීර වූ වෛද්‍ය ශාස්ත්‍රය ලිහිල්ව ඉදිරිපත් කිරීමට කතු හිමියන් දැඩි පරිශ්‍රමයක් ගෙන ඇත. ඒ සඳහා සරල සුගම බස් වහරක් භාවිත කොට ඇත.

සෙසª රුසිවරණ් ම ත

උදව්වට පිහිටා ස ත

අති ගැඹුරු වෙද ස ත

ලිහිල් කරනට මඩමි මේ තැ ත

වෙද කවි පබාව මඟින් රෝග සඳහා ඖෂධ නිර්දේශ කිරීමට වඩා රෝග ලක්ෂණ හඳුන්වා දීමට කතු හිමියන්ගේ ප්‍රධාන අරමුණ වූ බව හඳුනාගත හැකිය. මේ පද්‍ය කාව්‍යයේ වැඩි පද්‍ය ප්‍රමාණයක් වෙන් කොට ඇත්තේද මෙම අරමුණ සඳහා ය.

රෝ ලකුණු දැනුම ට

වෙහෙස දරනා සතහ ට

මඳක් ගෙන කවිය ට

මෙයි නි සලසම් පහසු මොනව ට

 

පෙර අපර දෙදිගම රෝග හේතු ලෙස මූලික වශයෙන් වා, පිත්, සෙම් කිපීම දක්වා ඇත. චරක සංහිතාවේ වාතය, පිත, සෙම, කිපීම නිසා හට ගන්නා රෝග සමුදායක් සඳහන් කරයි. වෙද කවි පබාව තුළද පළමුව වාතය කිපීමට හේතු ඉදිරිපත් කරයි.

වාතය කිපීම ට

සැලසෙන හේතු එසත ට

නිති පුරුදු පදය ට

නඟා පවසම් මෙහි පළමු කො ට

 

වාතය කිපීමට ප්‍රධාන හේතුවක් ලෙස බිය වීම දක්වා ඇත. එමෙන්ම කාර්යය බහුල වීම නිසා නිදි වර්ජනය හේතුවෙන් ද වාතය කිපීමට හේතු සාධනය වන බව කතුහිමියෝ දක්වති.

වාජීකරණ තන්ත්‍රය ආයුර්වේද වෛද්‍ය ශාස්ත්‍රයේ ප්‍රධාන අංගයකි. සමාජය පවත්වා ගෙන යාමට ප්‍රජනන ක්‍රියාවලිය සෞඛ්‍යවත්ව සිදු කිරීමට අවශ්‍ය උපදෙස් හා ප්‍රතිකාර ක්‍රම වාජීකරණ තන්ත්‍රයෙන් ඉදිරිත් කරයි. එය ආයුර්වේද ශාස්ත්‍රයේ අගය කරනු ලබයි. කවිධජ හිමියන් වාතය කිපීමට හේතුවක් ලෙස අධික ලෙස මෛථූන සේවනය දක්වා ඇත.

 

අදික වන අන්දම

හැසුරුණ හොත මෙවු න්දම

වා කිපෙන අන්දම

දනිව් හොවෙමින අන්දම

 

රාග සිතිවිලි නිසා පංච රසයන් සෙවීම සත්ත්ව ස්වභාවය යි. දැඩිව පංච රස සේවනයෙන් පිත කිපෙන බව කවිධජ හිමියෝ දක්වති. බෞද්ධ දෘෂ්ටිය අනුව රාගාදිය චෛතසික රෝග ලෙස හඳුනාගත හැකිය. මේ ග්‍රන්ථයේ කතු හිමියන් බෞද්ධ භික්ෂුවක් වන හෙයින් බෞද්ධ දෘෂ්ටියට අනුකූල වන පරිදි මෛථූන සේවනයේ ආදීනව දැඩි ලෙස අවධාරණය කොට ඇත.

රා සිතිවිලි ඇතා

නවතාග නු බැරි ස තා

පසරස සිත සි තා

ඉතා විදු මෙන කිපුණේ පි තා

 

තෙවනුව සෙම කිපීමට හේතු වන සාධක කතු හිමියෝ පෙන්වා දෙති. සිනිඳු ආහාර මෙන්ම ඇඹුල් ලුණු ආහාරවලින්ද සෙම කෝපවීමට හේතු වන බව දක්වා ඇත.

 

සිනිඳු අහරින සෙ ම

කිපෙන බව දනිමි ම ම

ඇඹුල් ලුණුූ දෙවගෙ ම

එසේම කිපුමට ඇත හේතුව ම

 

දිවා කාලයේ සැතපීම ද සෙම කිපීමට හේතු වන සාධකයක් ලෙස කතු හිමියන් දක්වා ඇත.

නිදිනම් දිවා ව ර

සෙම් කිපුමෙහි ලෙඩ ක ර

තව හේතු මේ යු ර

සෙමය කිපුමට කිහැකි බෝ ක ර

 

බෞද්ධ දෘෂ්ටිය අවධාරණය කිරීමට කතුහිමියන් විවිධ අවස්ථාවල දී උත්සුක වී ඇත. බෞද්ධ දර්ශනයට අනුව සිත හා කය අතර, ඇත්තේ අවියෝජනීය සම්බන්ධයති. කායික රෝග සඳහා මානසික ස්වස්ථතාව ප්‍රධාන වශයෙන් බලපාන බව බෞද්ධ විග්‍රහයයි. කවිධජ හිමියන්ද එම බෞද්ධ දෘෂ්ටිය අවධාරණය කරයි.

කෙලෙසුන් සහය වී

මෙනර සිරුරය ඇති වී

සිත එ සිරුරෙහි වී

මෙ සිතිවිලි එම සිතෙහි පළ වී

 

භික්ෂු විනයට අනුව භික්ෂුවකට වෛද්‍ය කර්මය ඇවැත් සිදු වන ක්‍රියාවකි. එහෙත් අට්ඨකතා යුගය වන විට මේ සීමා ලිහිල් වූ බව හඳුනාගත හැකිය. නිර්වාණාධිගමයට සෞඛ්‍ය සම්පන්න කායික හා මානසික පැවැත්මක අත්‍යවශ්‍ය බව බුදුසමය ද අවධාරණය කොට ඇත. ඒ අනුව සෞඛ්‍ය සම්පන්න ජීවන පැවැත්මක සඳහා අවශ්‍ය උපදෙස් ලබාදීම බෞද්ධ දෘෂ්ටියට අනුව නිර්වාණාධීගමයට හේතු වන බව කවිධජ හිමියන් ද දක්වා ඇත.

දහම් හිමි විසි නේ

දෙසූ පිළිවෙත නොයෙදු නේ

රසය එම නිව නේ

කෙසේ විඳිමු දා මතු සුදන නේ

 

එපිළි වෙත ලෙඩෙකු ට

දුකරය පුරා ගැනුම ට

එහෙයිනි මෙය සෙත ට

මහති දක්වන උවාරණ කොට

 

 

 

කොළඹ 07 ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානවාසී, රාජකීය පණ්ඩිත ශාසන කීර්ති ශ්‍රී

රත්මලානේ රතනසිරි හිමි

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.